කිසිදු නව යොවුන් දැරියක් හෝ කාන්තාවක, වළක්වා ගත හැකි රක්තහීනතාවයෙන් නොපෙළෙන දකුණු ආසියාවක් නිර්මාණය කර ගැනීම සහ ඒ වෙනුවෙන් කැපවීම අපගේ අරමුණ යැයි අග්‍රාමාත්‍ය හරිණි අමරසූරිය පැවසුවා ය.
අග්‍රාමාත්‍යවරිය මෙම අදහස් පළ කළේ “පෝෂණීය දකුණු ආසියාව” යන මැයෙන් ජූලි 9 දින සිට 11 දින දක්වා කොළඹ සිනමන් ලේක්සයිඩ් හි පැවැත්වෙන දකුණු ආසියාවේ තරුණ කාන්තාවන් සහ ළමුන්ගේ රක්තහීනතාවය අවම කිරීම සඳහා වන ජාත්‍යන්තර සමුළුවෙහි සමාරම්භක දිනයේ එහි ප්‍රධාන ආරාධිතය ලෙස සහභාගි වෙමිනි.
එම සමාරම්භක උත්සවයේ දී වැඩි දුරටත් අදහස් දැක්වූ අග්‍රාමාත්‍යවරිය…
සෑම දැරියකට ම පෝෂ්‍යදායී ආහාර, සෞඛ්‍ය, අධ්‍යාපනය සහ ගුණාත්මක රැකවරණය
කලාපීය වශයෙන් අතිශය වැදගත් මෙවැනි සමුළුවකට මට ආරාධනා කිරීම ගැන පළමුකොට මෙහි සංවිධායක මණ්ඩලයට මාගේ ස්තූතිය පුදකරන්න කැමැතියි. මේ සමුළුවේ අපගේ අරමුණ “කිසිදු නව යොවුන් දැරියක් හෝ කාන්තාවක, වළක්වා ගත හැකි රක්තහීනතාවයෙන් පෙළෙන්නේ නැති දකුණු ආසියාවක් නිර්මාණය කර ගැනීම සහ ඒ වෙනුවෙන් කැපවීම” යි.
මෙම අරමුණ ඉටුකර ගන්න නම්, සෑම දැරියකටම පෝෂ්‍යදායී ආහාර, සෞඛ්‍ය අධ්‍යාපනය සහ ගුණාත්මක රැකවරණයකට අවස්ථාව සලසා දියයුතු වෙනවා. ඒ වගේම, කාන්තාවන්ට ඔවුන්ගේ පූර්ණ විභවය අවබෝධ කර ගැනීමට හැකිවෙන, ඒ සඳහා ඔවුන්ට දිරි දෙන පරිසරයක් නිර්මාණය කළ යුතු වෙනවා. ඒ අරමුණ රජයකට පමණක් තනිවම ඉටුකරගන්න පුළුවන්කමක් නැහැ. ඒ නිසාම තමයි අපගේ ඉහත අරමුණට ආශීර්වාද කරන, ශක්තියක් වන, සමාජයේ සෑම අංශයකින් ම අලුත් කැපවීමක් සහ ප්‍රායෝගික ක්‍රියාවක් සඳහා සූදානම් සන්ධිස්ථානයක් හැටියට මෙම සමුළුව නිර්මාණය වී තිබෙන්නේ.
මන්දපෝෂණ චක්‍රය බිඳ දැමූ සෞඛ්‍ය සම්පන්න සමාජයක්
නව යොවුන් දැරියන් සහ කාන්තාවන් අතර දක්නට ලැබෙන රක්තහීනතා ගැටලුව විසඳීමට දුෂ්කර නමුත් විසඳිය නොහැකි දෙයක් නොවේ. අලුත් කැපවීමකින්, කලාපීය සහයෝගීතාවයකින් සහ සාමූහික ක්‍රියාවකින්, අපට දකුණු ආසියාවේ අනාගත පරම්පරාවන් පෝෂණය කළ හැකි වන අතර ම, මන්දපෝෂණ චක්‍රය බිඳ දමා සෞඛ්‍ය සම්පන්න, වඩාත් සාධාරණ සමාජයක් ගොඩනැගිය හැකිය යන්න මගෙත්, අපගේ රජයෙත් අපේක්ෂාව සහ විශ්වාසයයි.
ඒ වෙනුවෙන් රජයක් හැටියට අපි උපරිමයෙන් කැපවෙන්න අදිටන් කරගෙන සිටින බව මම මෙහිදී මතක් කරන්න කැමැතියි. අපගේ පාසල් දරුවන් ඉලක්ක කරගත් පෝෂණ වැඩ සටහනෙත් එක් අපේක්ෂාවක් වෙන්නෙ ඒ දරුවන්ට නිසි පෝෂණය ලබා දීමෙන් ඔවුන් පෝෂණ ඌණතාවයට ගොදුරුවීම වළක්වා ගැනීමයි. මෙම සමුළුවෙන් මතුවන හරවත් සාකච්ඡා, වටිනා අදහස් හුවමාරුකරගැනීම් වගේම ප්‍රායෝගික කැපවීම් දෙස මම දැඩි වුවමනාවකින් සහ අපේක්ෂා සහගතව බලා සිටින බවත් කියන්න කැමැතියි.
රක්තහීනතාව අඩු කිරීමට සහ තුරන් කිරීමට කලාපීය ප්‍රමුඛතාව
කලාපයක් වශයෙන් එක්ව, මෙහි කාන්තාවන්ගෙන් සහ ගැහැනු ළමුන් අතර පවතින රක්තහීනතාවය අඩු කිරීමට සහ තුරන් කිරීමට කලාපීය ප්‍රමුඛතාවය සහ ඒ සඳහා වන මේ හවුල්කාරිත්වය සාර්ථක කරගන්න කැපවෙන බවට අපි ප්‍රතිඥා දෙමු. එක්සත්ව, අපගේ කාන්තාවන් සහ ගැහැණු දරුවන් හැකි අයුරින් පෝෂණය කරමින් එතනින් ඇතිකරගන්නා ආරම්භයෙන් මුළු දකුණු ආසියාව පෝෂණය කරමු යැයි මේ සමුළුවට යෝජනා කරන්න කැමැතියි.
අතිශය වැදගත් මෙම සමුළුව පැවැත්වෙන අපගේ සුන්දර දිවයිනේ උණුසුම් ආගන්තුක සත්කාරය සහ අද්විතීය චමත්කාරය අත් විඳිමින් ම, ඔබට වෘත්තීය වශයෙන් තෘප්තිමත් සහ පෞද්ගලිකව අමතක නොවන සුන්දර කාලයක් බවට ඔබ මෙහි රැඳී සටින කාලය පත්වේවායි, ප්‍රාර්ථනා කරන්නත් මෙය අවස්ථාවක් කරගන්න කැමැතියි.”
මෙම සමුළුවට සහභාගී වූ අග්‍රමාත්‍යවරිය සංවිධායක මඬුල්ල වෙනුවෙන් Rini Simon Khanna විසින් පිළිගත් අතර, Md. Golam Sarwar (සාර්ක් සංවිධානය), Sanjay Wijesekera (යුනිසෙෆ් සංවිධානය) ඇතුළු කලාපීය ආරාධිතයන්, ක්‍රියාකාරී සාමජිකයින් ද එක්ව සිටියහ.
