නිවී ගිය රතු සඳ එළිය ; මහාචාර්ය පියසිලී විජේගුණසිංහ

    0
    28

    පසුගිය දිනෙක කොළඹ නගරයේ ප්‍රදර්ශනය කර තිබූ එක්තරා පෝස්ටරයකට මගේ ඇස ඇදී ගියේ නිරායාසයෙනි. පියසිලී විජේගුණසිංහ මහත්මියගේ රුව රැගත් එම පෝස්ටරයේ සටහන්ව ඇත්තේ කුමක්දැයි දැන ගැනීමට මා මොහොතක් ඒ අසල නැවතී කියවන්නට වීමි. එය ඇයගේ කිසියම් ශාස්ත්‍රීය කාර්යයක් අරභයා වන ප්‍රචාරක පෝස්ටරයක් යැයි මා මුලින් සිතුවද එහි සටහන්ව තිබූ පණිවිඩය මා සිත ඇති කළේ දොම්නසකි. එහි සටහන් වූයේ මෙරට සිටි අග්‍රගණ්‍ය මාක්ස්වාදී කලා විචාරිකාවගේ අභාවය පිළිබඳවය.

    විප්ලවවාදී ලෝක පක්ෂයේ හතරවැනි ජාත්‍යන්තරයේ ශ්‍රී ලංකා ශාඛාව වන සමාජවාදී සමානතා පක්ෂයේ සාමාජිකාවක වූ ඇය දැඩි ට්‍රොට්ස්කිවාදිනියක වූ අතර නිර්ධන පාන්තිකයන් උදෙසා කැපවූ සටන්කාමිනියකද වූවාය.

    1943 පෙබරවාරි 20 දින ගාල්ලේ හපුගලදී උපන් ඇය ගාල්ල සවුත්ලන්ඩ් විද්‍යාලයෙන් මූලික අධ්‍යාපනය ලබා පසුව පේරාදෙණිය විශ්වවිද්‍යාලයට ඇතුළත් වූවාය. විශ්වවිද්‍යාලය තුළ සටන්කාමිනියක ලෙස කැපී පෙනුණු ඇය සිසු අරගලවලට මූලිකත්වය ලබා දුන් අතර ඒ නිසා පන්ති තහනමටද ලක්වූවාය. තම හෘදය සාක්ෂියට අනුගතවෙමින් කම්කරු දේශපාලන පක්ෂයකට එක් වූ ඇය එම අරමුණ උදෙසා තම ජීවිතයම කැප කළාය.

    එම කෘතිය සම්බන්ධයෙන් එවක සිටි ප්‍රධාන ධාරාවේ විචාරකයන් ඇයට එරෙහි වෙද්දී ඒවාට පිළිතුරු ලෙස තම දෙවැනි කෘතිය වූ – නූතන සිංහල සාහිත්‍ය විචාරය – මාක්ස්වාදී අධ්‍යයනයක් නමින් පළ කළාය. පසුව මහාචාර්ය සුචරිත ගම්ලතුන් විසින් මෙම කෘති ද්වයම නිර්දය ලෙස විචාරයට ලක් කළ අතර ඇය සුචරිතගේ විචාරයට එරෙහිව -මාක්ස්වාදී කලා විචාරයෙහි මූලධර්ම නමින් තම තෙවැනි කෘතිය එළිදැක්වූවාය.

    මහාචාර්ය සුචරිත ගම්ලත්

    ඇයගේ සිව්වැනි කෘතිය වූයේ ගෝඩ් ඔෆ් ස්මෝල් තිංග්ස් විචාරයක් සහ පිළිතුරක් නමැති කෘතියයි. ඉන්දීය ලේඛිකා අරුන්දතී රෝයිගේ ගෝඩ් ඔෆ් ස්මෝල් තිංග්ස් කෘතිය සම්බන්ධයෙන් ඇය විසින් ලියන ලද විචාරයට එරෙහිව මහාචාර්ය සුචරිත ගම්ලත් විසින් නගන ලද චෝදනාවලට පිළිතුරු ලෙස ඇය එම කෘතිය රචනා කර තිබිණි.

    විජේ ඩයස්

    වරින් වර විවිධ රජයන් යටතේ තම පක්ෂයට එල්ල වූ තහංචිවලට මුහුණ දෙමින් 2022 ජුලි 28 දින අප අතරින් වියෝ වූ සමාජවාදී සමානතා පක්ෂයේ සභාපතිවරයාව සිටි විජේ ඩයස් නමැති තම සැමියා සමඟ එක්ව සිය දේශපාලන අරමුණු උදෙසා අය නොසැලී සිටියාය.

    බන්දුල ජයවර්ධන

    විචාරිකාවක, ලේඛිකාවක මෙන්ම ඇය දක්ෂ ගායිකාවක හා නිළියක බව දන්නේ ටික දෙනෙකි. බන්දුල ජයවර්ධනයන්ගේ ස්වර්ණ හංස නාටකය ඇයගේ රංගනයෙන් හා ගායනයෙන් ඔපවත්වූවකි. බටහිර සම්භාව්‍ය සංගීතයට දැඩි ඇල්මක් දැක්වූ ඇය බෙතෝවන්ගේ සංගීත ඛණ්ඩවලට දැඩි ඇල්මක් දැක්වූවාය.

    විශ්වවිද්‍යාලයෙන් විශ්‍රාම ගිය පසුද ඇය දිගටම ලේඛන කලාවේ නිරත වූවාය. ට්‍රොට්ස්කිවාදි ව්‍යායාපාරයේ සම්මන්ත්‍රණ ලිපි මාලා විශාල ප්‍රමාණයක් ඇය වෙතින් සිංහලට පරිවර්තනය විය. පසුකාලයේ ඇගේ ලිපි වැඩි වශයෙන් පළවූයේ ලෝක සමාජවාදී වෙබ් අඩවියේය. ඉංග්‍රීසි බසින් රචිත එම ලිපි ලොව බොහෝ පිරිසකගේ දැනුම් පරාසය පුළුල් කරන්නට සමත් විය.

    (සටහන | ප්‍රියන්ජන් සුරේෂ් ද සිල්වා)

    (උපුටා ගැනීම –LDM )

    LEAVE A REPLY

    Please enter your comment!
    Please enter your name here