ව්‍යායාම කිරීම මුලින් ලොකුවට පටන් ගත්තත් මැදදි උනන්දුව අඩුවෙනවලු

    0
    12

    මහාචාර්ය නෝර්කෝරෝස් කරන අනාවරණය

    වසරක් ගෙවී තවත් අලුත් වසරක් උදා වනවිට අපි විවිධ ඉලක්ක ගොඩනගා ගන්නවා. මේ ඉලක්ක එකිනෙකාට වෙනස් වෙන්න පුළුවන්. ඒ ගැන කිසිම විවාදයක් නැහැ. මේ අතර පුද්ගලයන් විසින් වසරක් ආරම්භයේදී ගොඩනගා ගන්නා ඉලක්ක මොනවාදැයි වූ අධ්‍යනයක් සිදු කර තිබෙනවා. මනෝවිද්‍යාව පිළිබඳ මහාචාර්ය වෛද්‍ය ජෝන්නෝ ර්කෝරෝස් පෙන්වා දෙන අන්දමට පසුගිය වසර 40 ක කාලයේදී බොහෝ දෙනෙක් කායික සෞඛ්‍යය පවත්වා ගැනීම ඔවුන්ගේ ඉදිරි වසරේ ඉලක්කය ලෙස තෝරා ගෙන තිබෙනවා. මේ සඳහා සහභාගී වූ අයගේ අරමුණු ගැන විමසීමක් පර්යේෂකයන් විසින් සිදු කර තිබෙනවා. එහිදී සහභාගී වූ අයගෙන් 20% ක් තරබාරු බව අඩු කර ගැනීමත් තවත් 13% ක් දෙනා ආහාර පුරුදු වෙනස් කර ගැනීමත් ඔවුන්ගේ නව වසරේ ඉලක්කය බැව් සඳහන් කර තිබුණා.

    පටන් ගත් වේගය නැහැ…

    සමහර විට 2025 වසරේ ජනවාරි 1 වැනි දින තමන්ගේ ශරීර බර අඩු කර ගැනීම වෙනුවෙන් ව්‍යායාම කරන බවට වූ ඉලක්කයක් ගොඩ නගා ගත් පුද්ගලයෙකු මාස තුනක් පමණ ගත වනවිට ඒ පුද්ගලයාත් නොදැණුවත්වම මෙම අරමුණ ඔහුගෙන් ගිලිහෙන බැව් මහාචාර්ය නෝර්කෝරෝස් සඳහන් කරනවා. මෙම අධ්‍යනයට සමගාමීව සිදු කරන ලද තවත් සමීක්ෂණ වාර්තාවන්ට අනුව බොහෝ අය මාස හයක් වැනි කාලයකින් තමන්ගේ අරමුණු අත් හරිනවා.

    ජනවාරි මාසයේ පටන්ගත් ඉලක්ක අතරමඟදී අමතක වීම පිලිබඳව සෞඛ්‍ය හා ආාහර පාලනය පිළිබඳ විශේෂඥ වෛද්‍ය ඩුවේන් මෙලර් මේ අන්දමින් අදහස් දක්වා තිබෙනවා.ශිත කාලයේදී ව්‍යායාම කිරීම බොහෝ දෙනාට අපහසුයි. මේ කාලයේදී ජීවිතයේ ක්‍රියාශීලීත්වය අඩුයි. නත්තල සමග පරිභොජ්නයට ගන්නා ආහාර වැඩියි. ඒ වගේම මත්පැන් පානයටත් යොමු වෙනවා. තමන්ගේ ජීවන රටාව වැරදි සහගත බැව් බොහෝ දෙනා දන්නවා. ඒ නිසාම ජනවාරි මාසයේදී ව්‍යායාම කළ යුතු බවට වූ අධිෂ්ටානය ඔවුන් විසින්ම ගොඩ නගා ගන්නවා. ඔවුන්ට කිසිම බාහිර බලපෑමක් නැහැ.

    දෙසැම්බර් මාසයේ ආරම්භ කරන්න පුළුවන් නම් ශක්තිමත්…

    චර්යාත්මක ලෙසින් බලන විටත් අපේ ස්වභාවික වාසස්ථාන, ජීවන රටාව පරිසරය මේ කාලයේදී ඉතා මන්දගාමියි. ක්‍රියාශීලීවීම ගැන සිතට අදහසක් ඇති වෙන්නේම නැහැ. නමුත් මේ මන්දගාමී බව වෙනුවට මම ජනවාරි මාසයේ නොව දෙසැම්බර් මාසයේ ව්‍යායාම කිරීමට පටන් ගන්නවා යැයි හිතන්නට හැකියාවක් තිබෙනවා නම් ඒ පුද්ගලයා ඉතාම ශක්තිමත්. එපමණක් නොවෙයි, ධනාත්මකව ජීවිතය ගොඩනගා ගැනීමේ හැකියාවෙන් යුක්ත පුද්ගලයෙක් බවත් මෙම පර්යේෂකයන් සඳහන් කරනවා.

    එපමණක් නොවෙයි… සරත් කාලයේ අග සහ ශීත කාලයේදී ආහාර පිළිබඳව සහ සෞඛ්‍යාරක්ෂිත ජීවන රටාවක් පිලිබඳව දිනචර්යාවක් වෙත යොමු වෙන අයෙකුට නව වසර හෙවත් ජනවාරි මාසය උදා වෙන විට මෙම සෞඛ්‍ය පුරුදු ඉතා හොඳින් පවත්වා ගෙන යැමේ හැකියාව ලැබෙන බව වෛද්‍ය මෙලර් විසින් පෙන්වා දී තිබෙනවා. බොහෝ දෙනෙක් මේ සඳහා දිවීම, කායවර්ධන මධ්‍යස්ථාන හෝ කණ්ඩායම් ව්‍යායාම පංති තෝරා ගෙන තිබෙනවා. 2023 වසරේදී පුද්ගලයන් මිලියන 12. 5 ක් මෙවැනි ක්‍රියාකාරකම්වල සම්බන්ධ වූ බවට Sport England වාර්තා කරනවා

    එක්සත් රාජධානියේ Pure Gym ආයතනය සතුව ශාඛා 327 ක් ඇති අතර සාමාජික සංඛ්‍යාව මිලියනයකට අධිකයි. නොවැම්බර් සහ දෙසැම්බර් යන මාසයන්හි ව්‍යායාම සහ කායික ක්‍රියාකාරකම් වෙනුවෙන් සහභාගී වෙන පිරිස අඩු වුණත් ජනවාරි මාසය වනවිට මෙම කටයුතුවලට පැමිණෙන පිරිස සීඝ්‍රයෙන් ඉහළ යන බැව් Pure Gym ආයතනයේ වාර්තාවන් මගින් පෙන්වා දෙනවා. 2022 වසරේ නොවැම්බර් සහ දෙසැම්බර් මාසවලට සාපේක්ෂව 2023 ජනවාරි මාසය වනවිට සහභාගීත්වය 40% කින් පමණ කාර්ය බහුල වූ බව ඔවුන් සඳහන් කර තිබෙනවා.

    එළිමහනේ දිවීම වැඩියි…

    Parkrun යනු එක්සත් රාජධානියේ එළිමහන් දිවීමේ වැඩ සටහන් පවත්වන ආයතනයක්. ඔවුන්ගේ වාර්තාවන්ට අනුව එළිමහනේ දිවීම පිළිබඳව ඉතා සතුටුදායක තත්ත්වයක් ජනවාරි මාසයේ පළමු සෙනසුරාදා දකින්න ලැබෙනවා. එක්සත් රාජධානිය තුළ ලැබුන දත්ත අනුව 2022 දෙසැම්බර් මාසයේ පැවැති 26, 000 ක ලියාපදිංචි සංඛ්‍යාව 2023 ජනවාරි මාසය වනවිට 50, 000 ඉක්මවා තිබෙනවා.

    ඒ වගේම තමන්ගේ ඉලක්කය සපුරා ගත නොහැකිවීම නිසා බොහෝ දෙනෙක් මානසිකව පීඩාවට පත් වෙන බැව් ශාරිරික යෝග්‍යතා පුහුණුකරුවෙකු වන මෝර්ගන් බ්රාසියර් විසින් සඳහන් කරනවා. ජනවාරි මාසයේ පටන් ගත්තා වුණත් අතරමඟ නැවතුණොත් ඒ ගැන ඔවුන් තුළ වරදකාරී හැගිමක් ඇති වෙනවා. අවුරුද්ද දැනටමත් මට නරක විදිහට බලපානවා යැයි ඔවුන් සිතින් පසුතැවෙන්න පටන් ගන්නවා.

    ඒ වගේම අත්දැකීම් ඇති අය දෙසැම්බර නත්තල් කාලයේදී තමන්ගේ ව්‍යායාම සැසි අතපසු කරනවා. ඒ නිසා කායවර්ධන මධ්‍යස්ථානවලටත් එතරම් තදබදයක් නැහැ. ඒ නිසා නවකයන්ට මෙය ඉතා හොඳ කාලයක්. මධ්‍යස්ථානයේ පවතින ඉඩකඩ තුළ යන්ත්‍ර පාවිච්චි කරන ආකාරය, ශිල්ප ක්‍රම දියුණු කර ගන්නා ආාකරය ගැන දැනුවත් වීමේ පහසුව මේ නත්තල් කාලයේදී ඔවුන්ට පහසුවෙන් ලබා ගන්න පුළුවනි. අතරමග නතර නොවන්න.

    ව්‍යායාම වෙනුවෙන් ඔබ ආරම්භයක් තිබ්බොත් එය නැවත අකුලා ගන්න එපා. එසේ අතරමගදී ආපසු හැරෙන්න සිදු වන්නේත් ඔබේම වරදින්. ඒ නිසා මේ උපදෙස් අනුගමනය කිරීම ඉතා වැදගත් බැව් මෝර්ගන් බ්රාසියර් සඳහන් කරනවා. කායවර්ධන මධ්‍යස්ථානයකට සම්බන්ධ වනවිට ඊට අදාලව දැනුවත් වෙන්න. බොහෝ මධ්‍යස්ථාන මගින් ලබා දෙන දැනුවත් කිරීම ව්‍යායාම කිරීම සඳහා උපකාරී වෙනවා.

    සැලසුමක් සමග ව්‍යායාම කරන්න

    ව්‍යායම සඳහා ඔබේ හිතවත් අයෙකුත් සම්බන්ධ කර ගන්න පුහුණුකරුගෙන් අදහස් සහ උපදෙස් ලබා ගැනීමට නම් නියමිත වේලාවට කලින් කායවර්ධන මධ්‍යස්ථානයට පැමිණෙන්න.

    බී.බී.සී පුවත් ඇසුරිනි

    පුන්‍යා චාන්දනී ද සිල්වා

    උපුටා ගැනීම නවලිය

    LEAVE A REPLY

    Please enter your comment!
    Please enter your name here