විරහ වේදනාවක් අඩු කරගන්නෙ කොහොමද?

    0
    16

    ආදර සම්බන්ධතාවයක් ගොඩනගා ගත් විට සිතට දැනෙන අප්‍රමාණ සතුට, ප්‍රබෝධය ගැන කියන්න වචන නෑ. එය එපමණටම විශාල සහ සංකීර්ණයි. යම් විදියකින් එම සම්බන්ධතාවය බිඳී ගියහොත් සිතට දැනෙන විරහ වේදනාව අර සතුටටත් වඩා කීප ගුණයකින් වැඩියි. ඒකට හේතුව ආදරය කියන්නෙ ප්‍රබල චිත්ත වේගයක් නිසයි. වයසින් මෝරා ගිය ජීවිතයේ අත්දැකීම් අයට වගේම, වයසින් සහ අත්දැකීම්වලින් අඩු අයටත් මේ විරහ වේදනාව දැඩිව දැනෙන අතර අත්දැකීම් අඩු අයට එය ඉතා තදින් දැනෙන්නට පුළුවන්. කොහොම වුණත් එක් එක් අයගේ පෞරුෂය අනුවත් වේදනාව දැනීමේ අඩු වැඩිකමෙහි වෙනසක් ඇති විය හැකි මුත්, පොදුවේ කියන්නට තිබෙන්නේ ආදර සම්බන්ධතාවයක් දෙදරා යාම යනු අතිශය වේදනාකාරී අත්දැකීමක් බවයි.

    සම්බන්ධතාවයක් බිඳී යාම ප්‍රධාන වශයෙන් කරුණු දෙකක් මත සිදුවිය හැකියි.

    බාහිර බලපෑම්

    දෙමාපියන්ගේ විරුද්ධවීම, ආර්ථික හා සමාජීය බලපෑම් මත විවාහ වීමට හැකි පසුබිමක් නොතිබීම මෙලෙස ඇතිවන බාහිර බලපෑම් ලෙස දක්වන්නට පුළුවන්. මෙවැනි තත්ත්වයක් මත අන් කිසිදු විකල්පයක් නොමැති නිසා දෙදෙනාගේම එකඟතාවයෙන් වෙන් වුවත් මෙහිදී තදබල විරහ වේදනාවක් දෙදෙනාටම දැනෙනවා. එවැනි සිතක් සුවපත් කර ගන්නට ද බොහෝ කාලයක් ගත විය හැකියි.

    දෙදෙනාගෙන් එක් අයෙකු ඒකපාර්ශවීයව ගන්නා තීරණයක් මත සම්බන්ධය නතර කිරීම

    මෙහිදී සමුගන්නේ පෙම්වතා යැයි සිතමු. එවිට පෙම්වතියට දැනෙන තදබල විරහ වේදනාව ඉහත දැක්වූ අවස්ථාවේදී ඇතිවන වේදනාවට වඩා අතිශයින්ම වැඩියි. “එයා මේ විදිහට මාව දාලා ගියේ ඇත්තටම එයා මට ආදරය කළේ නැද්ද?” කියලා හැඟීමක් ඒ සමඟම ඇතිවී විශාල කනගාටුවක් හට ගන්නවා. එපමණක් නොවෙයි, මේ ආකාරයට තමාව ඔහු හැර ගිය නිසා සිතට ලොකු මදිපුංචිකමක් ඇතිවී ඒ නිසාම විශාල ලජ්ජාවක් වැනි හැඟීමක්, මේ සම්බන්ධය පිළිබඳව දැන සිටි අනෙක් අයට මුහුණ දෙන්නට බැරිකමක් දැනෙන්න පුළුවන්.


    ඒ වගේම මෙහි තවත් පැත්තකුත් තිබෙනවා. පෙම්වතා තමාව හැර ගියේ තමාගේ අඩුපාඩුවක් වරදක් නිසා කියලා ඒත්තු ගියහොත් විශාල පසුතැවිල්ලක් සමග ලොකු මානසික කඩාවැටීමක්ද ඇතිවිය හැකියි. අප මෙහිදී නිදසුනක් ලෙස පෙම්වතියක් සම්බන්ධව දැක්වූවත්, මේ අත්දැකීමට මුහුණ දුන්නේ පෙම්වතෙක් නම් එවිටත් මේ තත්ත්වයෙහි වෙනසක් නෑ.
    ප්‍රේම සම්බන්ධයක් කුමන ආකාරයෙන් කුමන හේතුවක් නිසා බිඳ වැටුණත් සිත හදා ගැනීම පහසුවෙන් කළ හැකි දෙයක් නොවෙයි.

    ඒකපාර්ශවීය තීරණයක් මත පෙම්වතා විසින් පෙම්වතියව අමතක කර දැමූ විටෙක ඔහු කෙරෙහි ඊර්ෂ්‍යාවක් සහ කෝපයක් ඇති කරගන්නා පෙම්වතිය ඔහුගෙන් පළිගැනීමේ චේතනාව මත වෙනත් තරුණයන්ගේ ඇසුරට පත්වන්න පුළුවන්. සැබවින්ම මේ හේතුව මත පෙම්වතියට යහපතක් සිදුවීමට ඇති අවකාශය ඉතා අඩු වන අතර ඊට වඩා නොසිතූ විරූ කරදරවලට මුහුණ දෙන්නට සිදුවිය හැකියි.

    විරහ වේදනාව අඩු කරගන්නේ කොහොමද?

    අපි දැන් ඒ ගැන සොයා බලමු.

    සම්බන්ධතාවය බිඳවැටීමට හේතුව සොයා බැලීම මෙහි මූලික පියවරයි.

    නිදසුන් ලෙස දැක්වුවහොත් තමාගේ පෙම්වතා/ පෙම්වතිය හරි හැටි තේරුම් ගැනීමට අපහසු වීම මත සමහරු එම සම්බන්ධතාව නතර කර දැමීමට පෙළඹෙනවා. එසේම තවත් සමහරුන් විශේෂ හේතුවක් නොමැතිව වුණත් කලක් ගතවන විට සම්බන්ධතාවය නතර කර මගහැර යනවා. මෙහිදී කුමක්ද සිදුවුණේ යන්න හරි හැටි විස්තර කර ගැනීමට නොහැකිව අනෙක් පාර්ශවය, එනම් අතහැර යාමට භාජනය වූ පෙම්වතා හෝ පෙම්වතිය දැඩිව වේදනාවට පත්වෙනවා.

    කුමන හේතුවක් මත කොයි ආකාරයෙන් වෙන් වුණත් ආදරය කළ කාලයේ මතකයන් නැවත නැවත සිහිපත් වන විට වේදනාව අලුත් වෙමින් දැනෙන්නට පටන් ගන්නවා. විශේෂයෙන් එකවර නොසිතූ ලෙස වෙන්වී ගිය විට මේ කම්පනය වඩාත් දැඩිව දැනෙනවා. ආදරය කළ කාලයට සම්බන්ධ සිදුවීම් මැවි මැවී පෙනෙන විට, දෙදෙනා හමුවූ තැන් සහ ද්‍රව්‍යමය වශයෙන් හුවමාරු වූ තෑගි බෝග ආදිය දකින විට සිත පුපුරු ගසන තරමේ වේදනාවක් දැනිය හැකියි. මේ නිසා එවැනි ද්‍රව්‍යමය දේවල් නොපෙනෙන තැනක සඟවා තැබීම, දුරකථනයට ලැබුණු පණිවිඩ ඉවත් කිරීම ආදිය කළ යුතුයි.

    විරහ වේදනාවක් සම්බන්ධයෙන් තවත් කෙනෙකුට කියන විට එය අසා හිඳින පුද්ගලයාටත් ලොකු වගකීමක් තිබෙනවා. එවැනි අවස්ථාවල මුලින්ම කළ යුත්තේ එම වේදනාවට පත් වී සිටින තැනැත්තාට හෝ තැනැත්තියට කියන්නට තිබෙන සියලු දේවල් කියන්නට ඉඩ හැරීමයි. එය එක දිගට කියාගෙන යන්නට ඉඩ හැරීමෙන් එම පුද්ගලයාගේ වේදනාව අඩු වීමට රුකුලක් වෙනවා.

    සාමාන්‍යයෙන් ආදර සම්බන්ධතාවයක් බිඳී ගිය විට එය විශාල වේදනාවක් වන්නට එක හේතුවක් වන්නේ එය පිළිගැනීමට අප ගේ සිත සූදානම් නොවීම යි. එවිට සිතිවිලි සහ සැබෑව අතර සිත මංමුලා වෙනවා. බොහෝ විට මෙවැනි පරාජිත පෙම්වතුන් පෙම්වතියන් තමාගේ විරහ වේදනාවට දරාගන්නට නොහැකි වීම නිසාම මනෝ චිකිත්සකවරුන් හෝ මනෝ වෛද්‍යවරුන් වෙත ගොස් තමාව මෝහන නිද්‍රාවට පත්කොට එම ආදරය පිළිබඳ මතකය තමා තුළින් ඉවත් කරන ලෙස ඉල්ලා සිටිනවා.

    නමුත් මෙය කෙසේවත් සාර්ථක ක්‍රමයක්වත් සුදුසු ක්‍රමයක්වත් නොවෙයි. අනෙක අපි අමතක කළ යුතු දෙයක් බලෙන් අමතක කරවන්න උත්සාහ කළොත් සිදුවන්නේ එය යළි යළිත් සිහිපත් වීමයි. එමගින් ඒ සිද්ධිය පිළිබඳ මතකය මනසේ තව තවත් ස්ථාවර තත්ත්වයට පත්වෙනවා. එවිට එය අමතක කළ නොහැකි වෙනවා. එනිසා අමතක කළ යුතු දෙයක් අමතක කරවන්න සිතට බල නොකොට ඒ ගැන සිහිපත් වන විට වෙන දෙයක් මතකයට නගා ගැනීම සුදුසුයි. අමතක කළ යුතු යමක් අමතක කරවන්නත් වේදනාව අඩුකරවන්නත් කාලය හැර වෙනත් ඖෂධයක් නෑ.

    ඒ වගේම විරහ වේදනාවකදී හැඬීම පාලනය කරගන්නේ නැතිව ඇති තරම් හැඬීම හොඳ මනෝවිරේකයක්. හැඬීම තුළින් වේදනාව අඩු වෙනවා. ඒ වගේම තරුණයෙක් නම් විශ්වාසවන්ත මිතුරෙකුටත් තරුණියක් නම් එවැනි මිතුරියකටත් මේ පිළිබඳව කීම තුළින් ද වේදනාව අඩු කර ගත හැකියි.

    ඒ වගේම බලාපොරොත්තු මොනතරම් කඩ වුණත් ආයාසයෙන් හරි හිනාවෙන්න. විශේෂයෙන් විනෝදාත්මක දේවල් කියවීම හා නැරඹීම ඔබට ආයාසයෙන් තොරවම සිනාසීම සඳහා ලොකු උපකාරයක් වේවි. සිනාව තුළ වේදනාව අඩු කිරීමේ පුදුම බලයක් තිබෙනවා.

    මෙම ක්‍රම මගින් මාස තුන හතරක් යන විට ඔබේ වේදනාව ඉබේම අඩු වී යා යුතුයි. මාස හයක් පමණ මේ විදිහටම කාලය ගතවීමට ඉඩ දෙන්න. නමුත් ඔබේ වේදනාව අඩුවන බවක් පෙනෙන්නේ නැත්නම්, එක දිගට වේදනාව පවතිනවා නම් මනෝ චිකිත්සකවරයකු හමුවීම සුදුසුයි. හේතුව මේ තත්ත්වය තව තවත් තිබුණොත් ඔබට විශාද රෝගය හටගැනීමට ඉඩ තිබෙන නිසයි.

    නැතහොත් මේ තත්ත්වය දිගටම පැවතීම නිසා ජීවිතය නැති කර ගැනීම වැනි අවාසනාවන්ත දෙයකට යොමු වීමට වුවත් බැරිකමක් නෑ. එය හරිම අපරාදයක්. අද ඔබේ සම්බන්ධය බිඳී ගියත් ඒක එහෙම වුණු එක කොයිතරම් හොඳද කියලා ඔබටම හිතෙන දවසක් අනාගතයේ උදා වෙනවා. ඒක අමතක කරන්න එපා

    උපදෙස් – ප්‍රවීණ මනෝචිකිත්සක ආචාර්ය සුරංග අමරකෝන්

    ඉන්දු පෙරේරා

    LEAVE A REPLY

    Please enter your comment!
    Please enter your name here