– කලාවට පිවිසෙන්නෙ අවුරුදු 42කට පෙර ගායිකාවක් විදිහට
– ජනතාවගෙන් ලැබෙන සම්මානය තරම් වෙන කිසිවක් වටින්නේ නෑ
– ඉරගිනි මද්දහනේ බේබි නෝනා චරිතයට ලැබෙන ප්‍රතිචාර අදහගන්නත් බැහැ
පාට කුරුල්ලෝ, ඉරගිනි මද්දහන සහ RAT 403 මේ දිනවල ඇය ඉහළින්ම ප්‍රතිචාර ලබන ටෙලි නිර්මාණයන්ය. පාට කුරුල්ලෝහි මංජිතගේ මව මෙන්ම ඉරගිනි මද්දහනේ බේබි නෝනා ද අද සමාජයේ ජීවත් වන සජීවී චරිත බවට පත්කිරීමට ඇය ගෙන ඇති උත්සාහය අමතක කළ නොහැක. A.R.T. 403 ඇය වෙනස්ම මානයකට ගෙන යන ටෙලි නිර්මාණයක් යැයි කීමේ වරදක් නැත. නමින් රූපා පතිරණ වන ඇය චරිතවල සජීවී බව ඉස්මතු කිරීමට අතිදක්ෂ ප්‍රවීණ රංගන ශිල්පිනියකි. නම ඇසූ පමණින් ඕනෑම අයකුගේ සිතට නැඟෙන්නේ නාඩගම්කාරයෝහි සරාගේ මවය. එසේත් නැතහොත් පාට කුරුල්ලෝහි මංජිතගේ මව දයාවතීය. මවගේ චරිතයට ඇය තරම් සාධාරණයක් ඉටු කරන්නියක් සිටීද යන්නද සැක සහිත ය. ගැහැනියකගේ ඕනෑම පැතිකඩක් නිරූපණය ඇයට අභියෝගයක් නොවේ. රංගනයේ ප්‍රවීණ ඇය මීට වසර 42කට පෙර ගායිකාවක ලෙසින් ක්ෂේත්‍රයට පිවිසි බව බොහෝදෙනා නොදන්නවා ද විය හැකිය. අද අපේ කතාබහ ඇය සමඟිනි.
ඔබ මේ දවස්වල නිර්මාණ ත්‍රිත්වයක දකින්න ලැබෙන චරිතයක්?
ඔව්. මේ දවස්වල නිර්මාණ තුනකට රංගනයෙන් දායක වෙනවා. පාට කුරුල්ලෝ ටෙලි නිර්මාණයේ මංජිතගේ මව දයාවතී අතිශයින්ම ජනප්‍රියයි. ඉරගිනි මද්දහනේ බේබි නෝනත් ඊට දෙවනි නෑ. තමන්ගේ අවිවාහක දුව කරදරේ වැටිල කියල දැනගත්ත මොහොතේ ඇය හැසිරුණු විදිහට ලැබිල තියෙන ප්‍රතිචාර අදහගන්න බෑ. මගේ රටේ මිනිස්සු මට මොනතරම් ආදරේද කියලා දැනුණා. ඒක මට සම්මානයකට වඩා වටිනවා. A.R.T. 403 හරහා එන්නේ මෙතෙක් මගෙන් නොදුටු පැතිකඩක්. දේවාලයක් කරන මෑණි කෙනෙක්ගේ චරිතයක්. තාක්ෂණය පරිහරණය කිරීමේදී ඇතිවන රෝගී තත්ත්වයක් බව නොදැන ඇය වෙත එන රෝගී තරුණියකට ඒක භූත දෝෂයක් කියලා බොරු කරලා සල්ලි ගරා ගන්නවා. ඒකට වෙනස්ම විදිහට ප්‍රතිචාර ලැබෙනවා.
ඔබ ගැන කතා කරන ඕනෙම කෙනෙක් කියන්නෙ ඔබ හරිම තාත්විකව රඟපානවා කියලා. ඒ ගැන මොකද හිතෙන්නේ?
ඒක ගොඩක් දෙනෙක් මට කියන කතාවක්. ක්ෂේත්‍රයේම අයගෙනුත් ඒක අහන්න ලැබෙනවා. පාට කුරුල්ලෝ තිරපිටපත් රචක බුද්ධික සේමසිංහ මල්ලිත් දවසක් කිව්වා “අක්කෙ මං මෙහෙම කැරැක්ටර් එකක් නෙවෙයි ලියන්න පටන් ගත්තෙ. මේක ඔයාම හදාගෙන ඔයාගෙ කරගෙන. දැන් මට ඊට එහා යන්න බෑ. මං දැන් ලියන්නෙ ඒකට. මං බලාපොරොත්තු වුණු එකටත් එහා ගිය එකක් ඔයාගෙන් ආවා” කියලා කිව්වා. චරිතයට යන්න ඇරලා කියන කෑලි එකතු කරන්නෙ මම. අධ්‍යක්ෂවරයාත් ඒක ප්‍රතික්ෂේප කරන්නෙ නෑ. අධ්‍යක්ෂවරු අපට ලබාදෙන ඒ නිදහස නිසා තමයි චරිත මේ තරම් සාර්ථක වෙන්නේ.

ඉරගිනි මද්දහන බේබි නෝනාගේ හැඟීම්වලට ඔබ මේ තරම් සාධාරණයක් කරන්නෙ කොහොමද?
ඒකටත් හේතුව අධ්‍යක්ෂවරයාගෙන් ලැබෙන නිදහස. පහුගිය දවසක විකාශය වුණු සීන් එකකට යූටියුබ් එකේ දහස් ගාණක් කමෙන්ට් ලැබුණා. හැමෝම වගේ කියල තියෙන්නේ ඔයා හරිම තාත්විකයි කියලා. ඇත්තටම ඒක මගේ ජීවිතේ වෙනස් කළ චරිතයක් කිව්වත් හරි. සැබෑ මවකගේ වේදනාව හොඳින්ම පිළිබිඹු කළා කියල අධ්‍යක්ෂවරයාත් කිව්වා. එතැනදි මං දුවට ගහනවා, බණිනවා, අඬනවා, ගමට මුහුණදෙන්න බැරි අවනම්බුවෙන් බේරෙන්න උපක්‍රම හොයනවා, ඒ වරද මස්සිනාගෙ ඇඟේ ගහන්න බලනවා. මගේ දුවට ඉන්න සුබෝධි ලක්මාලි මගෙන් හොඳටම ගුටි කෑවා. කමක්නෑ අක්කා ගහන්න කියලා ඇයත් මට හොඳ සහයෝගයක් දුන්නා. අධ්‍යක්ෂ ලලිත් රෝහිත එදිරිසිංහත් මට අවශ්‍ය නිදහස දීලා බේබි නෝනව සාර්ථකව ගොඩනඟන්න උදවු කළා. සමහර දෙබස් ඉවර වෙලත් මං කියවද්දි ඔහු කට් කියන්නෙ නැතුව බලාගෙන ඉන්නවා. කට් කියන්නැත්තෙ ඇයි කියලා ඇහුවම ඔහු කියන්නේ ඔයා ඔහොම කියවද්දි මං කොහොමද ඉතින් කට් කියන්නෙ කියලා.
A.R.T. 403 ටෙලි නිර්මාණයේ දේවාලෙක මෑණි කෙනෙක්. කොහොමද ඒ අභියෝගය ජය ගත්තේ?
දේවාලයක් කරන ඕනෙම කෙනෙක් මායම් වෙනවා කියන එක සාමාන්‍ය දෙයක්. ඒත් මට ඕන වුණේ වෙනස් දෙයක් කරන්න. ඔළුව කරකවලා, කෑගහලා මායම් වෙන්න මට ඕන කළේ නෑ. එතැනදි මං කරන්නේ දේව ශක්තියක් තියෙනවා කියලා පෙන්වන්න ශ්ලෝක කියනවා වගේ කියවගෙන යනවා. ඇත්ත ඒවා නෙවෙයි. සමහර තැන්වල අපේ වේදිකා නාට්‍යවල තියෙන දෙබස් කෑලිත් කිය කියා නූල් බඳිනවා, මොනර පිහාටුවෙන් ඔළුවට තට්ටු කරනවා. මට කටට එන ඒවා කිව්වා මිසක් ඒවා පිටපතේ නැහැ. එක තැනක මං එද්දි කකුල ගලක හැප්පෙනවා. මං කරන්නේ කහ කුඩු ටිකක් අරන් මතුරලා ගලේ ගානවා ගල පැළෙන්න කියලා. තව පොඩ්ඩෙන් මං මුනින් අතට වැටෙනවා කියලා අනිත් පැත්තෙන් මං මටම හෙමින් කියාගන්නවා. ඒ වගේ හරි රසවත් තැන් තියෙනවා. වියළි ටෙලි නිර්මාණයේ ආච්චිගේ චරිතයටත් ගොඩක් හොඳ ප්‍රතිචාර ලැබුණා.

මේ දවස්වල ඔබ සිනමාවෙත් දකින්න ලැබෙනවා නේද?
ඔව්. ජයප්‍රකාශ් සිවගුරුනාදන්ගේ කාසි වාසි සිනමාපටයේ පොඩි චරිතයක් කරන්න අවස්ථාව ලැබුණා. ගිරිරාජ් කෞශල්‍යගේ අතුරු මිතුරු සිනමාපටයටත් සම්බන්ධ වුණා. කීර්ති රත්නායකගේ ටෙලි ෆිල්ම් එකකට සම්බන්ධ වුණා. ඒකත් මට ලොකු අත්දැකීමක් වුණා. ඉඩකඩම් මිනිබිරීටවත් ලියල දෙන්නෙ නැතුව තණ්හාවට පොදි ගහන් ඉඳලා වයසට ගියාට පස්සේ මට මැරෙන්න බෑ කියලා දේවාලයක් ළඟට ගිහින් පොළොවෙ පස් කකා විලාප දෙන වයසක කාන්තාවකගේ චරිතයක්. අක්කා ඒක හොඳටම කළා කියලා අධ්‍යක්ෂ කීර්ති මල්ලි කිව්වා. මහින්ද ප්‍රසාද් මස්ඉඹුලගේ අලුත්ම සිනමා නිර්මාණය මැයිමාර ප්‍රසංගය සිනමාපටය එන්න තියෙනවා. මේ වෙද්දි චිත්‍රපට 6කට සම්බන්ධ වෙලා තියෙනවා. තවත් අලුත් චිත්‍රපටයකට කතා කළා.
රූපා පතිරණ කියන්නේ වේදිකාව, පුංචි තිරය, රිදී තිරය ජයගත් දක්ෂ රංගන ශිල්පිනියක්. නමුත් ඔබ කලාවට පිවිසෙන්නේ ගායිකාවක් විදිහට?
මං ගුවන්විදුලියේ B ශ්‍රේණියේ ගායිකාවක්. මං කලාවට පිවිසෙන්නේ ගායිකාවක් විදිහට. ඒක ගොඩක් අය දන්නෙ නෑ. 2015 වසරේ ජනප්‍රිය චිත්‍රපට ගීතවලින් මං ඒක පුද්ගල ගී ප්‍රසංගයක් කළා. ඒකටත් හොඳ ප්‍රතිචාර ලැබුණා. රූපා පතිරණ කිව්වම ගොඩක් දෙනෙක් අහන්නෙ අලුත් කෙනෙක්ද කියලා. නැහැ. මං කලාවට එන්නේ 1985 දී. මේ වෙද්දි අවුරුදු 42ක් වෙනවා. මුලින්ම රංගනයෙන් දායක වෙන්නේ ලූෂන් බුලත්සිංහලගේ නිර්මාණයකට. ඒක මැදිරි පරීක්ෂණයක්. ඊට පස්සේ ඔහුගේම භවතු සබ්බ මංගලම් කියන මැදිරි පරීක්ෂණ නාට්‍යයට සම්බන්ධ වුණේ ජැක්සන් ඇන්තනී සමඟ. බත් අම්මා කිව්වම ඒ කාලෙ ගොඩක් ජනප්‍රියයි. ඒ කාලේ හන්දියේ ගෙදර ගුවන්විදුලි නාට්‍යයේ මර්සිගේ චරිතයටත් මිනිස්සු හරි ආදරෙයි. මං ගොඩක් දුක් විඳලා මගේම හැකියාවෙන් මේ තැනට ආපු කෙනෙක්. මගේ ගම විල්ගමුව. මුල් කාලේ පාන්දර 2ට නැඟිටලා, ගෙදර වැඩ ඔක්කොම කරලා උදේ 3.20 කෝච්චියේ කොළඹ එනවා. අපිට කුඹුරු තිබුණා. මගේ තාත්තා හොඳ ගොවියෙක්. අම්මටත් හොඳට ගොයම් කවි කියන්න පුළුවන්. මඩවල එස්. රත්නායක කියන්නේ මගේ මාමා. ඔවුන්ගේ ආභාසය මටත් ලැබෙන්න ඇති.

එතකොට ඔබ ප්‍රසිද්ධ වේදිකාවට සම්බන්ධ වෙන්නේ?
ජයසේකර අපෝන්සුගේ ‘තටු’ වේදිකා නිර්මාණයට මුලින්ම සම්බන්ධ වුණේ ඇග්නස් කියන මොළේ කොලොප්පන් වෙච්ච චරිතයකින්. ඒ වගේ චරිත මට හොඳට කරන්න පුළුවන්. රම්‍යා වනිගසේකරගෙන් පස්සේ දූවිලි නාට්‍යයේ ඇගේ චරිතය කළා. ඇය ඇන්ද සාරි, සපත්තු, හැඹිළිය, මාලපොට තාමත් මං ළඟ තියෙනවා. ඇය මට ගොඩක් උදවු කළා. මතක් වෙද්දිත් දුකයි. රන්දුණු කියන මගේ යූටියුබ් නාළිකාව හරහා මගේම නිර්මාණ එළිදක්වනවා. ඒ හැම නිර්මාණයක්ම ලියන්නෙ මම. ඒ හරහා සමාජයට මොකක් හරි ආදර්ශවත් පණිවුඩයක් දෙන්න උත්සාහ කරනවා. ඒවටත් ගොඩක් හොඳ ප්‍රතිචාර ලැබෙනවා.
ඔබ ජනප්‍රිය ගුරු භූමිකාවක් කියලත් ආරංචියි?
ඔව්. මං අවුරුදු 15ක් තිස්සේ නාට්‍ය හා රංග කලාව පන්ති කරනවා. විභාගවලට වෙනමම පන්ති පවත්වනවා. රංගනයට කැමැති අයට වෙනම පන්ති පවත්වනවා. ඒ දරුවන් අපේ නාට්‍යවලට සම්බන්ධ කරගන්නත් කටයුතු කරනවා. මගේ මහත්තයා තිස්ස ජයන්ත මුදලිගේ සහාය අධ්‍යක්ෂවරයෙක්. ඔහු නිසා තමයි මට කලාවට සම්බන්ධ වෙන්න අවස්ථාව ලැබෙන්නේ. ඔහුගෙන් මට ලැබෙන සහාය උපරිමයි. ඔහුත් මේ ක්ෂේත්‍රයේම කෙනෙක් නිසා මට ලොකු නිදහසක් ලැබිල තියෙනවා. මං සරත් චන්ද්‍රසිරිගේ ටෙලි නිර්මාණයකට සම්බන්ධ වෙලා ඉද්දි එයාගෙ අම්මා නැති වුණා. මිනිය දවස් දෙකක් ගෙදර තියෙද්දිත් මං හිටියේ ෂූටින්වල. ඔහු සරත් අයියට කතා කරලා කියලා තිබුණේ මෙහෙම දෙයක් වුණා, ඔයාගෙ වැඩේ ඉවර කරලම රූපව එවන්න කියලා. ඒක අදටත් ඔවුන් මතක් කරනවා. ‘උන්නැහේලා’ වගේම ‘ශිද්ධ පත්තිනි’ කියන්නෙත් මගේ සැමියාගේ තිරපිටපත් විදිහට අධ්‍යක්ෂණය වෙන වේදිකා නිර්මාණ. ඊට අමතරව මං මේ දවස්වල මැයි මාර ප්‍රසංගය සඳහා සම්බන්ධ වෙලා ඉන්නවා. මට ඉන්නේ දූලා තුන්දෙනෙක්. මගේ ලොකු දුවත් ටෙලි නිර්මාණ 13කට විතර සම්බන්ධ වෙලා තියෙනවා. ඔවුන් තුන්දෙනාටම කලාව ගැන හොඳ අවබෝධයක් තියෙනවා. අපේ කලා කටයුතුවලට ඔවුන්ගෙන් ලොකු සහායක් ලැබෙනවා. ඒවා කෙරෙන්නේ අපි හැමෝගෙම එකතුවෙන්.

ඔබ සම්බන්ධ වෙන හැම නිර්මාණයක්ම ජනතාව ආදරෙන් වැලඳ ගන්නවා. ජනතා සම්මානය විතරක් ඔබට ප්‍රමාණවත්ද?
ජනතාවගෙන් ලැබෙන සම්මානය තරම් වෙන කිසිවක් වටින්නේ නෑ. ඊට අමතරව 2006 වසරේ ක්‍රිෂ්ටි ශෙල්ටන් ප්‍රනාන්දුගේ ‘ගල් පිළිම සහ බොල් පිළිම’ ටෙලි නාට්‍යයේ බිසෝ මැණිකාගේ චරිතයට මට හොඳම සහාය නිළිය ලෙස සම්මානය ලැබුණා. ඒ වගේම ජයලත් මනෝරත්න අයියාගේ ‘තුන්පත් රටාවක ලස්සන’ ටෙලි නිර්මාණයේ අවුරුදු 75ක චරිතය උදෙසා 2007 වසරේ හොඳම සහාය නිළිය සම්මානය හිමිවුණා. ඒ වගේම මගේ මුල්ම අත්දැකීම වුණු කෝන්තරය ටෙලි නිර්මාණයෙත් මං කළේ අවුරුදු 65ක චරිතයක්. ඒ වෙද්දි මගේ වයස අවුරුදු 23යි. අද මං ආපු දුර ආපස්සට හැරිලා බැලුවොත් ගොඩක් සතුටු වෙන්න පුළුවන්. ඒ ගැන මට නිහතමානී ආඩම්බරයක් දැනෙනවා. මං නිර්මාණ සඳහා යොදාගත් සියලු අධ්‍යක්ෂවරුන්ට වගේම ජිනදාස එච්. ගමගේ සහ සතිශ්චන්ද්‍ර එදිරිසිංහ කියන මගේ මූලික ගුරුවරුන් මං මේ අවස්ථාවේ ගෞරවයෙන් සිහිපත් කරනවා.

නාමලී ගමගේ
උපුටා ගැනීම රසඳුන