ෂෙයික් හසීනාට ජීවය දුන් ඉන්දියානු සිනමාවේ දීප්තිමත් තරුව නුස්රත් ෆාරියා

0
33

දෙවියන් වහන්සේ මොනවද සූදානම් කරලා තියෙන්නේ කියලා මම දන්නේ නැහැ. මට ලැබෙන ඕනෑම දෙයක් මම වැලඳ ගන්නවා,” මෙසේ පවසන ඇය‍, ඉස්ලාම් භක්තිකයෙකි. ඇය ස්වභාවයෙන්මකඩිසරය, ක්‍රියාශීලීය‍, නිර්භීතය. කුඩා අවධියේ ඈ හීන මැවුවේ හමුදා නිලධාරිනියක වීමටය. ක්‍රම ක්‍රමයෙන් කාලය ගත වී වයසින් මුහුකුරායත්ම ඒ අභිප්‍රාය සිතින් ගිලිහිණි. ඈ මුඛරිය. පාසල් විවාද කණ්ඩායමේ කැපී පෙනුණු දක්ෂ සාමාජිකාවකි.

ඇය විවාද කණ්ඩායම් තරගවලට ඉදිරිපත් වූවාය. 2010‍,2011 වසර ඈ ජාතික මට්ටමේ විවාද ෂූරියක් වූවාය. පසු කලෙක ඇය රංගනයට දැඩි සේ ඇලුම් කළාය. ඒ පිළිබඳව ඇති ආශාවත්, සැලකිල්ලත් නිසාම ඇය තම කුසලතාවන් හඳුනාගෙන මාධ්‍ය ක්ෂේත්‍රයට පිවිසියාය. ඇය‍, බංග්ලාදේශයේ සහ ඉන්දියානු සිනමාවේ දීප්තිමත් තරුවකි. ඇය‍, බංග්ලාදේශ චිත්‍රපට නිළියක්, ගායිකාවක්, රූපවාහිනී නිවේදිකාවක් සහ ගුවන්විදුලි ජෝකීවරියක්. ඩාලිවුඩ් සහ ටොලිවුඩ් පුරා විහිදුණු බහුකාර්ය වෘත්තීය ජීවිතයක් සමඟින්, ඇය අද වන විට දකුණු ආසියාවේ සැලකිය යුතු චරිතයක් බවට පත්වී ඇති ඇය‍, නුස්රත් ෆාරියා.

මජ්හාරුල් ඉස්ලාම් සහ ෆර්ඩවුසි බෙගම් යුවළට දාව‍, 1993 සැප්තැම්බර් මස 8 වැනි දින‍, බංග්ලාදේශයේ, චිතගොං හිදී උපත ලද නුස්රත් ෆාරියා ලන්ඩන් විශ්වවිද්‍යාලයේ නීතිවේදී උපාධිධාරිනියකි.

ෆාරියා‍, නිරූපණ ශිල්පිනියක ලෙසින් තම වෘත්තීයමය ජීවිතයට පිවිසියාය. ඇය රූපවාහිනී සහ මුද්‍රිත දැන්වීම්වල පෙනී සිටියාය. ෆාරියා සිය වෘත්තීය ජීවිතයට මුලපිරුවේ BTV විවාද වැඩසටහනකට සහභාගි වෙමින් විවාද කරන්නියක ලෙසය. ඇගේ වෘත්තීය ජීවිතය පුරාම විවිධ ගුවන්විදුලි වැඩසටහන්වල සහ විවිධ රූපවාහිනී වෙ‍ෙළඳ දැන්වීමවල සේවය කර ඇත.

“Fair and Handsome The Ultimate Man වැඩසටහන ඇය මෙහෙය වූවාය. ඒ 2014 වර්ෂයේදීය.

ෆාරියා රංගනයට පිවිසියේ ලොව පුරා ප්‍රේක්ෂකයන් ආදරයෙන් වැලඳ ගත් ‍,2015 වසරේ අග භාගයේ නිකුත් වූ ‘ආෂිකී‘ චිත්‍රපටයෙනි. අතිසාර්ථක වාණිජමය චිත්‍රපටයක් වූ එය අශෝක් පති විසින් අධ්‍යක්ෂණය කරන ලද අතර FB Ltd Productions සහ Jaaz Multimedia විසින් නිෂ්පාදනය කරන ලදි. එහි ‘අංකුෂ් හස්රා’ සමඟ ෆාරියා ප්‍රධාන චරිතය රඟපෑවාය. ඒ ඇයගේ මංගල රංගනය විය. එහි අතිමහත් සාර්ථකත්වයත් සමඟ ෆාරියා‍ට තවත් ජනප්‍රිය චරිත ගණනාවකට රංගනයෙන් දායක වීමේ අවස්ථාව හිමි විය. ඒ අතර 2016 වසරේ මුල් භාගයේ නිකුත් වූ “Hero 420 ” Badsha – The Don (2016), Premi O Premi (2017) සහ Boss 2: Back to Rule (2017) යනාදී චිත්‍රපට වේ. ඇයට හොඳම නවක නිළිය සඳහා ” Meril Prothom Alo” සම්මානය හිමි විය.

ඉන්දු – බංග්ලාදේශ සම නිෂ්පාදනයක් වන‍, බාබා යාදව් අධ්‍යක්ෂණය කරන ලද ‘බාද්ෂා- ද ඩොන්’ චිත්‍රපටයේ ඇගේ රංගනය ෆාරියාගේ වෘත්තීය ජීවිතයේ හැරවුම් ලක්ෂ­්‍යයක් ලෙස සැලකේ. ෆාරියාට බංග්ලාදේශයෙන් හොඳම නිළියට හිමි ටෙලි සිනමා සම්මානය ද ලැබිණි. 2022 වසරේ නිකුත් වූ‍, බෙංගාලි චිත්‍රපටයක් වන ‘මුජිබ් ද මේකින් ඔෆ් අ නේෂන්‘ හි ඈ‘ෂෙයික් හසීනා‘ ලෙස රඟපෑවාය. මෙය ප්‍රවීණ ඉන්දියානු චිත්‍රපට අධ්‍යක්ෂ‍, තිර රචක සහ වාර්තා චිත්‍රපට නිෂ්පාදක‘ශ්‍යාම් බෙනගල්‘ ගේ අධ්‍යක්ෂණයකි.

මෙහි ‘ෂෙයික් හසිනා‘චරිතය ඇගේ ජීවිතයේ ඉදිරි කාලය පුරාවටම අගය කරන බව ඇය පවසා ඇත.

පෞද්ගලික ජීවිතයේදී ෆාරියා ස්වාධීන තීරණ ගන්නා තැනැත්තියක බව පසක් වේ. ඈ පුරා අවුරුදු නවයක් සම්බන්ධතා පවත්වා ගිවිස ගත් විවාහයෙන්, අවුරුදු තුනකට ආසන්න කාලයකදී වෙන්වීමට තීරණය කළාය. එපමණක්ද නොව එය ප්‍රසිද්ධියට ද පත් කළාය. එනමුදු ඇගේ හිටපු සැමියා ඇයට ඉදිරියට යාමට උදවු කළ බව ඈ සිහිපත් කරයි.

ෆාරියා, ඉතා විනිවිද පෙනෙන පුද්ගලයෙක් බව රසිකයින්ට හැම විටම ඒත්තු ගන්වයි. “විවාහය අවලංගු වූ ලෝකයේ එකම කාන්තාව මම නොවේ ” යැයි ඇය විටෙක පවසයි.

ෆාරියාට තම රංගන ජීවිතයේ ඉතා අමිහිරි අත්දැකීමකට මුහුණ දෙන්නට සිදුවිය. ඒ ‘මුජිබ් ද මේකින් ඔෆ් අ නේෂන්‘ චිත්‍රපටය රඟපාන අතරය. ‘ෂෙයික් හසිනා’ චරිතයට මිනිසුන් මුලදී ආදරය කළද‍, දේශපාලන බිඳවැටීම් සමඟ ඇය සමාජ මාධ්‍ය තුළ දැඩි විවේචනයකට ලක් විය. ඇය හැම විටම ‍කියා සිටින්නේ‍, “විවේචනය ඕනෑම කලාකරුවෙකුගේ ජීවිතයේ කොටසක් බවත්, රංඟනය තරමක් දුරට සූදුවකට සමාන බවත් ” ය.

මෑත භාගයේ දේශපාලන කැලඹීම්වලින් පසුව‍, ෆාරියා නිරන්තර විවේචනයට ලක්ව ඇත. කෙසේ නමුත් මේ කාලපරාසය තුළ ඇය පියවරක් පසුපසට ගෙන ඇති බව පෙනී යයි. ඒ ප්‍රධාන වශයෙන් මේ චරිතය නිසා බව නොරහසකි.

ශ්‍යාමා දේවිකා රණපති

rasanduna

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here