ජාත්‍යන්තර විස්සයි20 ක්‍රිකට් ක්‍රීඩාවේ කඩුලු 150ක් සහ ලකුණු 1000ක් ලබා ගත් ලොව පළමු ක්‍රීඩකයා හෝ ක්‍රීඩිකාව බවට ඉන්දියාවේ තුන් ඉරියව් තාරකාව වන දීප්ති ෂර්මා (Deepti Sharma) පත්ව සිටිනවා. ඇය මේ ද්විත්ව වික්‍රමය සම්පූර්ණ කළේ තිරුවානන්තපුරම් නුවර ග්‍රීන්ෆීල්ඩ් ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේ ශ්‍රී ලංකාව ට එරෙහිව පැවති තෙවැනි විස්සයි20 තරගයේ.
මේ තරගයට පෙරත් ඇය විස්සයි20 ක්‍රීඩාවේ පිත්තෙන් ලකුණු 1000කට වැඩියෙන් ලබා ගෙන සිටියා. පළමු ඉනිමේදී ෂර්මා කඩුලු 150 ඉක්මවා ගියේ කාන්තා ජාත්‍යන්තර විස්සයි20 ක්‍රීඩාවේ සම වැඩිම කඩුලු ලාභිනිය බවට පත්වෙමින්. ශ්‍රී ලංකාව ට එරෙහි තෙවැනි තරගයේ ඇයගේ ලකුණු 18 ට කඩුලු 3 පන්දු යැවීම මගින් ඇගේ කඩුලු සංඛ්‍යාව 151 දක්වා ඉහළ නැංවුනේ ඇයව ඔස්ට්‍රේලියාවේ Megan Schutt සමග සම තත්ත්වයට ගෙන එමින්.
150 වැනි සංකේතාත්මක කඩුල්ල වාර්තා වුනේ දීප්ති තරගයේ 14 වැනි ඔ්වරයේදී කවිශා ඩිල්හාරි දවාලූ අවස්ථාවේ. ඇය ඇගේ අවසාන ඔ්වරයේ මල්ෂා ශෙහානි දවාලමින් දැන් කඩුලු 151ක් ලබා ගෙන සිටින අතර මේ කඩඉමට ඇය පිවිසියේ තරග 131කදී 18.73ක සාමාන්‍යයක් සටහන් කරමින්. Schutt එතැනට සමීප වුනේ දීප්ති ට වඩා තරග අටක් අඩුවෙන් 17.70ක සාමාන්‍යයකින් යුතුව තරග 123කින්.

පිරිමි ජාත්‍යන්තර විස්සයි20 ක්‍රීඩාවේ ආරම්භය වසර 2007 දක්වා ඈතට විහිද ගියත් කිසිම ක්‍රීඩකයෙක් මේ වාර්තාව හිමිකර ගැනීමට සමත් වී නැහැ. මේ ආසන්නයට පැමිණ සිටින්නේ ඇෆ්ගනිස්තානයේ රෂිඩ් ඛාන්. විස්සයි20 ක්‍රීඩාවේ වැඩිම කඩුලු ලාභී ක්‍රීඩකයා වන ඔහු තරග 108කින් කඩුලු 182ක් ලබා ගෙන සිටින්නේ පිතිකරණයෙන් ලකුණු 602ක් ද රැස් කරමින්. මේ ශෛලියේ ක්‍රීඩාවේ කඩුලු 150ක් හෝ ඊට වැඩියෙන් ලබා ගෙන සිටින්නේ තවත් පන්දු යවන්නන් තිදෙනෙකු පමණයි. ඒ, නවසිලන්තයේ ටිම් සවුතී (පිත්තෙන් ලකුණු 303) හා ඉෂ් සොධි (ලකුණු 208) සහ බංග්ලාදේශයේ මුස්ටෆිසුර් රහ්මාන් (ලකුණු 112).
දඟ පන්දු යවන දීප්ති කඩුලු 333ක් ලබා ගනිමින් එදා මෙදා තුර කාන්තා ජාත්‍යන්තර කඩුලු ලැයිස්තුවේ ද තෙවැනි ස්ථානයට පත්ව සිටිනවා. ඇය දැන් පිටුපසින් සිටින්නේ ඉන්දියාවේ ජුලාන් ගෝස්වාමි (355) සහ එංගලන්තයේ කැතරින් ස්කයිවර්-බ්‍රන්ට් (335) ට පමණයි.

2025 කාන්තා ලෝක කුසලාන තරගාවලියේ දක්ෂතම ක්‍රීඩිකාව ලෙස නම් කෙරුණු දීප්ති ෂර්මා ඇගේ මේ අලුත්ම වාර්තා සමග ඉන්දියාව වෙනුවෙන් මෙතෙක් කාන්තා ක්‍රිකට් ක්‍රීඩා කළ එක් විශිෂ්ටතම තුන් ඉරිව්වෙන්ම කැපී පෙනෙන ක්‍රීඩිකාවක් ලෙසින් ඇගේ ස්ථානය තහවුරු කරගෙන සිටිනවා. මේ සුපිරි ක්‍රීඩිකාවගේ වයස තවමත් අවුරුදු 28ක් පමණක් වීම ඉන්දියාවේ ප්‍රතිවාදීන් බියවද්දන කාරණාව වී තිබෙනවා.

(සටහන : වර්නන් ගුණසේකර)
ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී
[email protected]




