රටෙන් පලා ගිය ඇෆ්ගන් ක්‍රිකට් ක්‍රීඩිකාවෝ:  ‘අපි නිසා පිරිමි කණ්ඩායම තහනම් කරන්න එපා!’

0
64

“ඇෆ්ගනිස්තාන පිරිමි ක්‍රිකට් කණ්ඩායමට ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩා කිරීම තහනම් කරන්න එපා.

නමුත් ඔවුන්ට තිබෙන අයිතීන්ට සමාන අයිතීන් නැති කාන්තාවන් හා තරුණියන් වෙනුවෙන් ඔවුන් වැඩි දෙයක් කරනු ඇතැයි අපි බලාපොරොත්තු වෙනවා.”

මේ, ඇෆ්ගනිස්තානයෙන් පලා ගොස් ඔස්ට්‍රේලියාවේ ජීවත් වෙමින් සිටින හිටපු කොන්ත්‍රාත්ගත ඇෆ්ගනිස්තාන කාන්තා ක්‍රිකට් ක්‍රීඩිකාවන් දෙදෙනෙකුගේ මතය යි.

ෆිරූසා අමිරි හා බෙනාෆ්ශා හෂිමි අලුත් ජීවිතයක් සොයා ඇෆ්ගනිස්තානයෙන් පලා ගියේ ටලිබාන්වරු 2021 වසරේදී එරට බලය අත්පත් කර ගැනීමෙන් පසුව. මේ කාන්තාවන් දෙදෙනා ම දිගටම ඔස්ට්‍රේලියාවේ අන්තර් සමාජ ක්‍රිකට් ක්‍රීඩා කරන්නේ මතු යම් දිනයෙක ඔවුන්ගේ රට නියෝජනය කිරීමේ අපේක්ෂාවන් පොදි බැඳගෙන.

එහෙත් ඇෆ්ගනිස්තාන ක්‍රිකට් මණ්ඩලය (ACB) කාන්තා කණ්ඩායමක් නිර්මාණය කරන තුරු එය සිදුවීමට ඉඩක් නැහැ. ටලිබාන් නීතිය යටතේ ACBයට එය කළ නොහැක්කේ කාන්තාවන්ට ක්‍රීඩා කිරීම, අධ්‍යාපනය ලැබීම හා රැකියා කිරීම තහනම් කරමින් රටේ පනවා තිබෙන නීති නිසා.

ඇෆ්ගනිස්තානය ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සලයේ (ICC) පූර්ණ සාමාජිකයෙක් වන බැවින් හා කාන්තා කණ්ඩායමක් සිටීම එම සාමාජික තත්ත්වයේ එක් කොන්දේසියක් වන බැවින්, ඇෆ්ගනිස්තානයේ පිරිමි කණ්ඩායමට සම්බාධක පැනවිය යුතුද නැද්ද යනුවෙන් ක්‍රිකට් ලෝකයේ විවාදයක් හටගෙන තිබෙනවා.

කාන්තාවන්ගේ අයිතිවාසිකම් අමු අමුවේ උල්ලංඝනය කිරීමට විරෝධය පළ කරමින් ඔස්ට්‍රේලියාව හා එංගලන්තය යන රටවල් දෙක ම ඇෆ්ගනිස්තානය සමග ද්විපාර්ශ්වික තරගමාලාවන් ක්‍රීඩා කිරීම ප්‍රතික්ෂේප කර තිබුන ද, ඔවුන් තවදුරටත් IOCයේ තරගාවලියන්ට සහභාගි වන අතර අනෙක් පූර්ණ සාමාජික රටවල් නවය ඇෆ්ගනිස්තානය සමග තරග පවත්වන්නේ ඔවුන්ව වර්ජනය කරන ලෙසට සමහර අවස්ථාවල නැගෙන ඉල්ලීම් මධ්‍යයේ.

මේ සම්බන්ධයෙන් වඩාත්ම ආසන්නතම හා උචිත උදාහරණය වනුයේ දකුණු අප්‍රිකාව. මක් නිසාද යත්, ඔවුන්ගේ රටේ තිබූ වර්ණ භේද ක්‍රමවේදය හේතුවෙන් දකුණු අප්‍රිකාව 1970 ගණන්වල සිට 1990 වකවානුව දක්වා ලෝක ක්‍රීඩාවෙන් කොන්කර තිබූ පසුබිමක එරට ක්‍රීඩා ඇමති ගේටන් මැකෙන්සි මෑතකදී, ඇෆ්ගනිස්තානය සමග ක්‍රීඩා නොකිරීමට හේතුව වශයෙන් ස්ත්‍රී – පුරුෂ බවේ වෙනස්කම් කිරීම උපුටා දැක්වීම.

එහෙත් තම පාලනයෙන් එහා තිබෙන තත්ත්වයක් වෙනුවෙන් පිරිමි ක්‍රීඩකයන්ට දඬුවම් කිරීමෙන් වෙනසකට බලපෑමක් නොකෙරෙන බවට දකුණු අප්‍රිකානු ක්‍රිකට් ආයතනය විශ්වාස කරනවා. අමිරි සහ හෂිමි ද මේ අදහස ම දැරුව ද අනෙක් සමහර ක්‍රීඩකයන් තුළ මීට වෙනස් හැඟීමක් තිබෙන බව දැනගැනීම ද මෙහිදී වැදගත්.

“ඇෆ්ගනිස්තාන පිරිමි ක්‍රිකට් කණ්ඩායම බලාපොරොත්තුවක් වැනි දෙයක් ගෙන එනවා. ඔවුන් අපට ආදර්ශමත් චරිත. මම ඔවුන්ට සහයෝගය දක්වන්නේ නැහැ කියලා කිසිවිටක කියන්න මට ඔ්න නැහැ” අමිරි පසුගිය වසරේ කියා තිබුනා. “නමුත් ඇෆ්ගනිස්තානය වෙනුවෙන් ක්‍රීඩා කරන්න මට බැරි නම්, හිත වැඩියෙන්ම රිදවන කාරණය වන්නේ අපට කරන්න බැරි දෙයක් පිරිමින් කරනවා දැකීම. මෙය ඇත්ත වශයෙන් ම වැරදියි. පිරිමින්ට කරන්න පුළුවන් හැම දෙයක් ම කාන්තාවන්ටත් කළ හැකියි.”

පිරිමින් ක්‍රිකට් ක්‍රීඩා කරනු ඈතක සිට බලා සිටීම සම්බන්ධයෙන් හෂිමි දරන්නේ ද මීට සමාන මතයක්.

This image has an empty alt attribute; its file name is image-155.png

අමිරි හා හෂිමි වෙසෙන ඔස්ට්‍රේලියාව, ඇෆ්ගනිස්තානය සමග ද්විපාර්ශ්වික ක්‍රිකට් ක්‍රීඩා කිරීම ප්‍රතික්ෂේප කරනවා. මේ නිසා, මෙවැනි තෝරා ගත් ක්‍රියාවන් මගින් පමණක් පිරිමි කණ්ඩායම ඉවත් කිරීමෙන් ඵලක් වේවිදැයි කල්පනා කිරීමට අමිරි ට සිදුව තිබෙනවා. “එයින් අපේ කණ්ඩායමට බලපෑමක් ඇතිවනවා නම්, එමගින් කාන්තා ක්‍රිකට් කණ්ඩායමක් ඇතිකරන ලෙසට ඇෆ්ගනිස්තාන ක්‍රිකට් මණ්ඩලයට පීඩනයක් එල්ල කරන්න පුළුවන් නම්, අපට සතුටුයි. නමුත් ඒ සතුට තියෙන්නේ ඒ මාර්ගයෙන් අපට ක්‍රිකට් ක්‍රීඩා කිරීම ආරම්භ කරන්න පුළුවන් නම් විතරයි.”

“මට කියන්න පුළුවන් එය 50-50 කියලා. 2024 T20 ලෝක කුසලානයේදී ඇෆ්ගනිස්තාන කණ්ඩායම ඉතා හොඳින් ක්‍රීඩා කර අවසන් පූර්ව වටයට පැමිණීම ගැන මම ගොඩක් සතුටු වුනා. එය කාන්තා කණ්ඩායමට හොඳ තත්ත්වයක් ගෙන එනවා. මොකද, අපි එතන හිටියේ නැති නිසා. නමුත් අනෙක් පැත්තෙන්, මම හිටියේ බලාපොරොත්තු රහිතව. අපට ඉතාමත් ශ්‍රේෂ්ඨ පිරිමි කණ්ඩායමක් ඉන්නවා. නමුත් අපි කවදාවත් කාන්තා කණ්ඩායමක් ගැන අවධානය යොමු කරන්නේ නැහැ. ඒ පිළිබඳව කතා කරන්න ටිකක් අමාරුයි. ඒ නිසා මම සතුටින් හිටියා. නමුත් ඒ එක්කම දුකක් ද දැනුනා. එය විස්තර කරන්න අමාරු හැඟීමක්. කාන්තාවන්ට වඩා වැඩි අවස්ථාවන් පිරිමින්ට තියෙනවා.”

තහනමක් පිළිබඳ සිතිවිල්ලක් ගැන ඇය සලකා බැලුව ද, ඇෆ්ගනිස්තාන පිරිමි ක්‍රිකට් කණ්ඩායම වේගවත් ප්‍රගතියක් ලබා සිටින බවත් එම කණ්ඩායමේ සාර්ථකත්වය තහනමකට වඩා ප්‍රකාශනයක් වනු ඇති බවත් ඇය හඳුනා ගෙන සිටිනවා. “ඔවුන් දැන් සිටින්නේ ලෝකයේ හොඳ ස්ථානයක. ඔවුන් අපට සහයෝගය දෙන්න පටන් ගත්තොත්, ඔවුන්ගෙන් ලොකු බලපෑමක් අපේ කාන්තා කණ්ඩායමට ලැබේවි. ඔවුන් අපට හා සියලු කාන්තාවන්ට ඉතා විශාල උපකාරයක් වේවි. කාන්තාවන්ගේ ක්‍රීඩා කිරීම ආරම්භ කරන්න පුළුවන් නම්, කාන්තාවන්ට අධ්‍යාපනය ලැබීම පටන් ගන්නත් පුළුවන් වේවි. එය හොඳ ගමන් මඟක් බවට පත්වෙන්න පුළුවනි.”

“ඔවුන් අපට සහයෝගය දීම ආරම්භ කළොත්, එය සියලු කාන්තාවන්ට ඔවුන්ගේ අයිතිවාසිකම්වල දොරටු විවර වන මාර්ගයක් වේවි. ඔවුන්ට මෙහේ ඉඳන් මම නගන හඬ අසන්න පුළුවන් නම්: ඇෆ්ගනිස්තානය, ජාතික ක්‍රීඩකයිනි! කරුණාකර මේ මොහොතේදී ඔබ ඇෆ්ගන් තරුණියන්ගේ හඬ බවට පත්වෙන්න. කරුණාකර අප වෙනුවෙන් වැඩි දෙයක් කරන්න. කාන්තාවන් වෙනුවෙන් යමක් කරන්න පටන් ගන්න. ඇෆ්ගනිස්තානයේ කටහඬ ඔබයි. මේ මොහොතේ වැඩියෙන් ම ජනප්‍රිය ජනතාව බවට පත්ව සිටින්නේ ඔබලායි. මිලියන හා තවත් මිලියන ගණන් තරුණියන්ගේ හඬ වීමට ඔබලාට පුළුවනි.”

තමාගේ ආයාචනය එසේ තිබියදීත්, පිරිමි ක්‍රිකට් ක්‍රීඩකයන් ප්‍රසිද්ධියේ කතා කළහොත් ඔවුන්ගේ ආරක්ෂාව අවදානමට ලක්වීමට ඉඩ තිබෙන බව අමිරි දැන සිටිනවා. “ඔවුන්ටත් සැමවිටම යම් අභියෝගයන් තිබුනු බව මම දන්නවා. ඔවුන්ගෙන් සමහර දෙනෙකුගේ පවුල් තවමත් සිටින්නේ ඇෆ්ගනිස්තානයේ. ඔබ අනතුරේ වැටෙනවා දකින්න අපට උවමනා නැහැ.”

ඇෆ්ගනිස්තාන කාන්තා කණ්ඩායමක් හා දේශසීමා රහිත ක්‍රිකට් කණ්ඩායමක් අතර තරගයක් එළඹෙන 30 වැනිදා මෙල්බර්න් නගරයේ ජංෂන් ඔ්වල් ක්‍රීඩාංගණයේ පැවැත්වීමට නියමිතව තිබෙනවා. කාන්තා ‘අළු බඳුන’ ටෙස්ට් තරගමාලාව ආරම්භ වන්නේ ද ඒ දිනයේ ම යි.

“ඇෆ්ගන් පිරිමි කණ්ඩායමත් ගියේ ඉතාම දුර ගමනක්. අපි කිසිම කෙනෙකුට කිසිම අවස්ථාවක මෙය පහසු ගමනක් වුනේ නැහැ. අපි සියල්ලෝම ආවේ එක ගමනක්.

නමුත් පැහැදිලිවම, ඔවුන් පිරිමින් නිසා ඔවුන්ට කාන්තාවන් වන අපට වඩා අවස්ථාවන් උදාවුනා. නමුත් ඔවුන් දීර්ඝ ගමනක් ඇවිත් ඉන්නවා. ඔවුන් ඉතාම හොඳින් ක්‍රීඩා කරනවා. ඔවුන් බොහෝ දේවල් ඇෆ්ගනිස්තානය වෙනුවෙන් මුදුන්පත් කර ගනිමින් සිටිනවා. අපටත් උවමනා එය ම යි. පිරිමි හා කාන්තා ජාතික කණ්ඩායමක් ලෙස ඇෆ්ගනිස්තානය ට ආඩම්බරය ගෙන එන්න අපට අවශ්‍යයි. අපේ ඉලක්කත් පිරිමි කණ්ඩායම සමග එක සමාන බව මට කිව හැකියි.”

“පිරිමි ක්‍රිකට් කණ්ඩායම නතර කිරීමෙන් හෝ ඔවුන්ගේ ක්‍රිකට් ක්‍රීඩාව නතර කිරීම ගැන කතා කරමින් හෝ තවත් ප්‍රශ්නයක් ඇති කරන්න අපට උවමනාවක් නැහැ. දැන් අපට මෙහේ අපේ පදනම තියෙනවා. අපට ඇෆ්ගන් කණ්ඩායමට ක්‍රීඩා කරන්න අවශ්‍යයි. ඇෆ්ගනිස්තාන් රට තුළ ඇෆ්ගන් කාන්තාවන්ට වඩා හොඳ අනාගතයක් හදමින් ක්‍රිකට් ක්‍රීඩාවේ වෙනසක් සිදුකරන්නයි අපට තිබෙන උවමනාව.”

මේ ක්‍රීඩිකාවන් දෙදෙනාගේ මේ ප්‍රකාශවලින් පසුව ඇෆ්ගනිස්තානයේ සිටින කාන්තාවන්ගේ තත්ත්වය තවදුරටත් ආපස්සට ගොස් තිබෙනවා. හෙදියන් සහ වින්නඹුවන් ලෙස කාන්තාවන් පුහුණු වීමේ මධ්‍යස්ථාන ටලිබාන්වරු විසින් වසා දමා තිබෙන්නේ රට තුළ කාන්තාවන්ට තිබු උසස් අධ්‍යාපනයේ අවසාන මාවත ද හරස් කරමින් සහ වෛද්‍ය ගැටලු තිබෙන කාන්තාවන් දැඩි අවදානමකට ලක්කරමින්. පිරිමි භාරකාරයෙක් ළඟ නැතිව පිරිමි වෛද්‍යවරු හමුවීම කාන්තාවන්ට තහනම් කර තිබෙනවා.

මේ ක්‍රියාවත් සමග පිරිමි කණ්ඩායමේ පළමු ප්‍රසිද්ධ ප්‍රතිචාර මතුවෙමින් රෂිඩ් ඛාන්, මොහමඩ් නබි සහ රහ්මනුල්ලා ගුර්බාස් යන ක්‍රීඩකයන් සමාජ මාධ්‍යයේ සටහන් තබමින් කාන්තාවන්ගේ අධ්‍යාපනය වෙනුවෙන් ඔවුන්ගේ සහයෝගය පළ කළා.

ටලිබාන්වරු 2021 වසරේදී බලය අත්පත් කර ගැනීමත් සමග ඇෆ්ගනිස්තාන ජාතික කාන්තා ක්‍රිකට් කණ්ඩායමේ සාමාජිකාවන් 20 දෙනෙකුට වැඩි පිරිසක් එරටින් පලා ගියා.

ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සලයට වඩා වැඩි දෙයක් ඔස්ට්‍රේලියාව ඇෆ්ගන් ක්‍රීඩිකාවන්‌ වෙනුවෙන් සිදුකර තිබෙන බව අමිරි කියනවා.

සිය මිතුරියන් බොහෝ දෙනෙකුව ඇෆ්ගනිස්තානයේ තනිකර පලා යාමට අමිරි ට සිදුවුව ද ඇය සමග එක්වීමට ඇගේ මවුපියන්ට හැකිවුනා. රැකියාවක් සොයා ගැනීම පිණිස ඉංග්‍රීසි භාෂාව ඉගෙන ගැනීමට අමිරි ට සිද්ධ වුනා.

රටින් පලා ගොස් ඔස්ට්‍රේලියාව ට පැමිණි මුල් දිනවල තමන්ට සරණාගත කණ්ඩායමක් ලෙස ක්‍රීඩා කිරීමට අවස්ථාව සලසා දෙන ලෙසට මේ කාන්තාවන් ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සලයෙන් ඉල්ලා සිටිය ද එය තවමත් අනුමත කර නැහැ.

(සටහන | වර්නන් ගුණසේකර)
 ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී
[email protected]

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here