“ගොඩක් අය අවුරුදු දෙකක් ඉගෙන ගන්නවා, මට හිතුණා ඉතින් වෙනස් දෙයක් කරන්න. මට ඒක කරන්න පුළුවන් කියලා විශ්වාසයක් තිබුණා.”
2024 වසරේ පැවති අ.පො.ස. සමාන්‍ය පෙළ සහ අ.පො.ස. උසස් පෙළ යන විභාග දෙකට ම පෙනී සිට විශිෂ්ට ලෙස සමත්වූ රනුලි කවිත්‍යා විජේසිරිවර්ධන සිය ජයග්‍රහණ ගැන බීබීසී සිංහල වෙත අදහස් දක්වමින් එලෙස පැවසුවා ය.
‘උසස් පෙළ විභාගයට තමයි වැඩිපුර බරක් දීලා මම වැඩ කළේ’
පාදුක්කේ පදිංචි 17 හැවිරිදි රනුලි කවිත්‍යා 2024 මැයි මාසයේ පැවති සමාන්‍ය පෙළ විභාගයට මුහුණ දී එම වසරේ ම දෙසැම්බර් පැවති උසස් පෙළ විභාගයට පෙනී සිට තිබුණේ ගණිත අංශයෙනි.
“ඕ ලෙවල්වලට මම ගොඩක් සූදානම් වුණේ නැහැ. මම ඕලෙවල්වලට ක්ලාස් ගිහිනුත් නැහැ. මාසයක් දෙකක් ඇතුළත තමයි ඕලෙවල්වලට සූදානම් වුණේ. එතකම් ඉතින් ඒ ලෙවල්වලට තමයි වැඩිපුර බරක් දීලා මම වැඩ කළේ.”
පාසලෙන් අස්වී උසස් පෙළට මුහුණ දීම
කොළඹ විශාඛා විද්‍යාලයේ ඉගෙනුම ලැබූ රනුලි උසස් පෙළ විභාගයට මුහුණ දී තිබුණේ පෞද්ගලික අයදුම්කාරියක ලෙස ය.
“ඉස්කෝලේ ගොඩක් ගුරුවරු නම් කැමැත්ත දුන්නා, සමහර ගුරුවරු අකමැත්තත් ප්‍රකාශ කළා. ඉස්කෝලෙන් අපි ඉල්ලීමක් කළා ඒ ලෙවල් පන්තියේ ඉගෙන ගන්න දෙන්න කියලා. ඉස්කෝලෙන් ඒක ප්‍රතික්ෂේප කළා.”
“පෞද්ගලික අයදුම්කරුවෙක් විදියට පාසලෙන් අස්වෙලා තමයි විභාගයට දැම්මේ,” රනුලි කියා සිටියා ය.
සිය පියා කළ යෝජනාවට කැමැත්ත පළ කරමින් සමාන්‍ය පෙළ විභාගයට මුහුණ දුන් පසුව එම වසරේදී ම උසස් පෙළ විභාගයට පෙනී සිටීමට තීරණය කළ බව ඇය සඳහන් කළා ය.
‘මට විශ්වාසයක් ඇති වුණා මට කරන්න පුළුවන් කියලා’
“මුලින් ම ඒ ලෙවල් කරන එක ගැන බයක් තිබුණා. ඒ වුණාට ඒක නැති වෙලා ගියා පේපර් ක්ලාස්වල ලකුණු එනකොට, ටොප් ටෙන් අතර වගේ ඉන්නකොට මට විශ්වාසයක් ඇති වුණා මට කරන්න පුළුවන් කියලා.”
“මම දන්න අයියලා, අක්කලාගෙනුත් අහගෙන, සිලබස් කවර් කරගෙන ගොඩක් පේපර්ස් කරලා මම ප්ලෑන් එකකට තමයි වැඩ කළේ,” රනුලි නියමිත වයසට පෙර උසස් පෙළට මුහුණ දීමේ අභියෝගයට සුදානම් වූ ආකාරය එලෙසින් විස්තර කළා ය.
වයසින් වැඩි අය සමග අධ්‍යාපනය ලැබීමේ අත්දැකීම
“ලොකු වෙනසක් දැනෙයි අක්කලා, අයියලා එක්ක ඉගෙන ගන්නකොට,” ඉතා අඩු වයසකදී සරසවි වරම් ලබා ගැනීමට සමත් වූ ඇය ඉදිරි අධ්‍යාපන කටයුතු ගැන සඳහන් කරමින් පැවසුවා ය.
උසස් පෙළ උපකාරක පන්තිවලදී ද ඇයට තමන්ට වඩා වයසින් වැඩි සිසු සිසුවියන් සමග අධ්‍යාපන කටයුතුවල නිරත වීමට ඇයට සිදුවූ අතර විශ්වවිද්‍යාලයේදී ද එය එලෙස ම වනු ඇත.
“මට පුරුදු යි වැඩිහිටි අයත් එක්ක ඉගෙනගෙන, 2024 ඒ ලෙවල් කරපු නිසා ඒ අය යන ක්ලාස්වලට තමයි මම ගියේ. 2023 ඒ ලෙවල් ක්ලාස්වලටත් සමහර වෙලාවට සම්බන්ධ වෙලා තියෙනවා. එක එක වයස්වල අයත් එක්ක වැඩ කරලා තියෙන නිසා මට ඒක අපහසුවක් නැහැ.”
ගණිත විෂය ධාරාවෙන් මොරටුව හෝ කොළඹ විශ්වවිද්‍යාලයට ඇතුළත් වීමට රනුලි බලාපොරොත්තුවෙන් සිටී.

රනුලිගේ පියා වන සඳුන් වානගුරු වසර විස්සකට වැඩි කාලයක සිට පෞද්ගලික උපකාරක පන්ති ගුරුවරයෙකු ලෙස කටයුතු කරනු ලබන අතර සංයුක්ත ගණිත විෂයෙන් ඔහු ඉගෙන්වීම් කටයුතු කරයි
‘එයා අලුතින් හිතලා විවිධ දේවල් කරනවා පොඩි කාලේ ඉඳලා’
රනුලිගේ පියා වන සඳුන් වානගුරු වසර විස්සකට වැඩි කාලයක සිට පෞද්ගලික උපකාරක පන්ති ගුරුවරයෙකු ලෙස කටයුතු කරනු ලබන අතර සංයුක්ත ගණිත විෂයෙන් ඔහු ඉගෙන්වීම් කටයුතු කරයි.
“එයා ගණිත විෂයට ගොඩක් දක්ෂ යි. ඒ වගේ ම එයා අලුතින් හිතලා විවිධ දේවල් කරනවා පොඩි කාලේ ඉඳලා ඉතින් ඒක නිසා මම තීරණය කළා එයාගේ දක්ෂතාව අනුව ඉදිරියට යන්න දෙන්න මොක ද දරුවෝ කැමති දේවල් කරන්න දෙන එක තමයි දෙමව්පියන්ගේ යුතුකම.”
බොහෝ දෙනෙකුගේ අකමැත්ත මැද පාසලෙන් ඉවත් වී විභාගයට මුහුණ දීමට ගත් තීරණය සහ එම අභියෝගයට මුහුණ දුන් ආකාරය ඔහු විස්තර කළේ ය.
“ඒක ලොකු අභියෝගයක් වුණා. අපි දෙන්න ගොඩක් ඒ ගැන සාකච්ඡා කරලා තියෙනවා. අපි දෙන්නා කතා වෙලා තමයි අවසාන වශයෙන් ඒ තීරණය ගත්තේ. දුවත් කිව්වා තාත්තේ මම බය නැහැ, මම කරනවා, අපි විභාගයට මුහුණ දෙමු කියලා. මටත් විශ්වාසයක් තිබුණා දුවගේ දක්ෂතාව අනුව එයා ඒ වගේ තලයකට යන මට්ටමක් මට දැනුණා. කිසි ම කෙනෙක් කැමැති වුණේ නැහැ පාසලෙන් අයින් වෙලා මේ වගේ දේකට යොමු වෙනවාට. නමුත් අපි දෙන්නා ම කතා වෙලා තමයි ඒ තීරණය ගත්තේ.”
දුවගේ අනගාතය වෙනුවෙන් තාත්තා ගත් තීරණය
“පිටරටවල දරුවෝ අවුරුදු 21 වගේ වෙනකොට උපාධිය අරගෙන රැකියා වෙළෙඳපොළට ඇවිල්ලා දක්ෂතා අනුව ඉදිරියට ගමන් කරනවා. නමුත් ලංකාවේ තියෙන අධ්‍යාපන ක්‍රමයත් එක්ක ඒගොල්ලන්ට සමාන්‍ය ආකාරයට උසස් පෙළ කරලා එනකොට ජීවිතේ හොඳ කාලේ ගොඩක් දේවල් මග ඇරිලා. ඒ හින්දා මම තීරණය කළා මගේ දුවට එහෙම නොවෙන්න ඉක්මනින් එයාට ඉදිරියට යන්න අවස්ථාව සලසලා දෙන්න,” සමාන්‍ය පෙළ විභාගය අවසන් වූ වහා ම සිය දියණිය උසස් පෙළ විභාගයට යොමු කළ හේතුව පවසමින් සඳුන් වානගුරු පැවසීය.
“ඒ ලෙවල් කියන්නේ මගේ ජීවිතේ එක අභියෝගයක් විතරයි,” රනුලි බීබීසී සිංහල සමගම කතාබහ අවසන් කරමින් පැවසුවා ය.
BBC සිංහල සේවය