වර්ෂ 1971 මාර්තු 13 අම්පාරේදී අත්අඩංගුවට ගත් රෝහණ විජේවීර විශේෂ රඳවා ගැනීම් නියෝග යටතේ යාපනය බන්ධනාගාරයේ රඳවා තබන ලදි. එහෙත් ඔහුට සිදු වූයේ කුමක්දැයි කිසිවකු නිශ්චිතව දැන සිටියේ නැත. 1972 නොවැම්බර් 21 විජේවීරගේ මලණුවන් වූ ආනන්ද විජේවීරද අඩංගුවට ගෙන යාපනය හැමන් හිල් දූපතේ රඳවා තබන ලදි. තම දරුවන් දෙදෙනා බැලීම සඳහා අවස්ථාව සලසා දෙන ලෙස ඉල්ලමින් ඔවුන්ගේ මව මැසිනෝනා වික්‍රමකළුතොට විසින් අගමැතිනි සිරිමාවෝ බණ්ඩාරනායක වෙත යවන ලද ලිපියයි මේ.
‘සාගර’,
පඤ්ඤාවාස පාර,
තංගල්ල.
1973 පෙබරවාරි 2
ගරු අග්‍රාමාත්‍යතුමිය,
අගමැති කාර්යාලය,
කොළඹ 1.
අධිනීතිඥ බාලා තම්පෝ මහතා වෙතින් ගරු අගමැතිනිය වෙතට.
ගරු අගමැතිනියනි,
1970 මැයි මාසයේ මහමැතිවරණයට ටික දිනකට පෙර, එනම් 12 වෙනිදා දකුණු පළාතේ ජූල්ගමුවේදී මගේ ලොකු පුතා රෝහණ විජේවීර එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුව යටතේ පොලීසිය විසින් අත්අඩංගුවට ගත් බව ඔබතුමිය දන්නවා. ඒ මැතිවරණයෙන් ඔබතුමියගේ ශ්‍රී ලංකා ආණ්ඩුව බලයට පැමිණියාට පසු නුවරඑළිය උසාවිය විසින් 1970 ජූලි 9 වෙනිදා ලොකු පුතා නිදහස් කළා. ඔබ ආණ්ඩුවේ අනුදැනුම ඇතුව ප්‍රසිද්ධ දේශපාලන රැස්වීම්වල ඔහු කතා කළා. 1971 පෙබරවාරි 27 වෙනිදා ඔහු ජනතා විමුක්ති පෙරමුණේ දැවැන්ත රැලියක කතා කිරීමෙන් සති දෙකක් ගත වෙත්ම, පොලීසිය විසින් 1971 මාර්තු 13 වෙනිදා අම්පාරේදී ඔහු නැවතත් අත්අඩංගුවට ගනු ලැබුවා.
එදා සිට 1971 ජූලි 11 වෙනිදා දක්වා මට මගේ ලොකු පුතා ගැන ආරංචි මාත්‍රයක්වත් දැනගන්ට ලැබුණේ නැහැ. 1971 මාර්තු 26 වෙනිදා ඔබතුමියට එව් ලිපියකින් මම ඉල්ලා හිටියා මගේ ලොකු පුතා බලන්ට අවසර. නමුත් ආරක්ෂක හා විදේශ අමාත්‍යාංශයේ ස්ථිර ලේකම්තුමාගේ 1971 අප්‍රේල් 15 වෙනිදා ලිපියෙන් දන්වා එව්වා ඔහු බලන්ට අවසර දෙන්ට බැරි බව.
1971 ජූලි 11 වෙනිදායි මගේ ලොකු පුතා රෝහණ බැලීමට මට මුල්වරට අවසර ලැබුණේ. ඒකත් එක් අයෙකුට පමණයි.
රෝහණට 1971 දෙසැම්බරයේදී උණසන්නිපාතය වැලඳුණ විට රෝහලකට ගෙන යනු ලබනවා වෙනුවට, වසා දැමූ අන්ධකාර සිර මැදිරියේ මල මූත්‍ර ගොහොරක කල් ගෙවන්ට තමාට සිදු වුණ බව ලොකු පුතාම කීවා. පුංචි කවුළුවකින් යාන්තම් එළිය කාන්දු වන අඳුරු කුටියක දස මසක්ම ගත කරන්න වීම නිසා ඒ වන විට ඔහුගේ දෑසත් නොපෙනී ගොසිනුයි තිබුණේ. දූවිලි ගොඩක ලැග සිටීමට සිදු වීමෙන් ඇඟපත පුරා හොරි, දද, කුෂ්ඨ හටගෙන තිබුණා. මගේ ලොකු පුතා කියන විදියට, රහස් පොලීසියේ උසස් නිලධාරීන් 1971 ජූලි මාසයේදී ඔහු යාපනේ බළකොටුවේ පාට ගේකට ගෙන ගොස් කළ අනන්ත අප්‍රමාණ වද හිංසා ගැන මවු කෙනෙක් වශයෙන් මම මතක් කරන්නටවත් කැමති නැහැ.
1972 ජූනි 28 වෙනිදා කොළඹ වැලිකඩ බන්ධනාගාරයට රෝහණ ගෙන ආවාට පසු කෑමබීම, ඇඳුම් පැලඳුම්, බේත් හේත් අරන් ඔහු බැලීමට යන්ට හිටියේ මගේ පොඩි පුතා ආනන්දයි. 1972 නොවැම්බර් 21 වෙනිදා ගියා ගියාමයි ඔහු ආපහු ආවේ නැහැ. ඔහුත් අත්අඩංගුවට ගත් බව මම දැනගත්තේ 27 වෙනිදා පත්තරෙන්. මාත් මා සමඟ ඉන්න මගේ නංගිත් පසුවදාම කොළඹ ගිහින් පොඩි පුතා හමු වෙන්න අධිනීතිඥ බාලා තම්පො මහත්මයා මාර්ගයෙන් විශේෂ විමර්ශන අංශයේ අධිපතිතුමාගෙන් අවසර ලබාගත් නමුත්, රහස් පොලිස් මූලස්ථානයේ හතර වෙනි තට්ටුවේදී එහි සිටි නිලධාරීන් මට දැන්නුවා ප්‍රශ්න කිරීම සඳහා ඔහු කොළඹින් පිට ගෙන ගිය බව. නැවත දිනයක් දෙසැම්බර් 2 වෙනිදාට ලබා ගත්තා. ඒත් එදා පොඩි පුතා ඇහැට දැකගත්තා විතරයි, වචනයක්වත් කතා කරන්ට ඉඩක් ලැබුණේ නැහැ. මගේ පොඩි පුතා දෙසැම්බර් 14 වෙනිදා උතුරේ කුඩා දිවයිනක පිහිටි හැමන් හිල් හිර කඳවුරට අරන් ගිය බව ආරංචි වන තෙක් ඔහු දැක බලා ගැනීමේ අවස්ථාවක් මට ලැබුණේ නැහැ. ඒ සති තුනේදී පොඩි පුතාට කර ඇති වදහිංසා ගැන මට අහන්ට ලැබුණේ පසුවයි. මා වින්ද මානසික පීඩාව ඔබ කවදාවත් දැනගන්න එකක් නැහැ.
ලොකු පුතා රෝහණ අම්පාරේදී අත්අඩංගුවට අරන් මාසෙකට පමණ පසු 1971 අප්‍රේල් 10 වෙනිදා උදේ 5.30ට පමණ පොලිස් කණ්ඩායමක් ඇවිත් මගේ ගෙදර මිදුලේ ලැග සිටි බල්ලාට වෙඩි තබා ගේ ඇතුළට පැනලා කිව්වා “උඹේ පුතාගේ මාළු කනවා! ලේ බොනවා” කියා. මගේ පුතා අත්අඩංගුවේ සිටිද්දී ඔහු මේ දේවල් කළේ කෙසේදැයි මම ඇසූ විට ඔවුන් කීවා, “ඒ වෙනුවට කාගේ හරි මාළු කනවා, ලේ බොනවා” කියා.
මගේ පොඩි පුතා ආනන්ද අත්අඩංගුවට ගත්තට පස්සේ 1972 නොවැම්බර් 22 රෑ 7ට පමණ මගේ ගෙදරට ආ රහස් පොලීසියේ නිලධාරියෙක් ආනන්ද හමුවීමට උවමනා බව කීවා. ආනන්ද අත්අඩංගුවට ගෙන තිබුණු බව මම ඒ වන විට දැනගෙන සිටියේ නැහැ. මගේ ගෙදර ඉන්නේ මාත් ගෑනු ළමයින් දෙදෙනාත් පමණක් නිසා රාත්‍රියට නොඑන ලෙස මම ඒ ආපු අයට අවධාරණය කළා. නමුත් පසුවදාත් ඒ වේලාවටම ඔහු ඇවිත් පැය 2ක් පමණ රැඳී සිටියා.
1972 නොවැම්බර් 28 වෙනිදාත් 1972 දෙසැම්බර් 6 වෙනිදාත් රහස් පොලීසියේ දෙන්නෙක් මෝටර් රථයකින් ඇවිත් ගෙදර කට්ටිය අත්අඩංගුවට ගන්ට ඕනෑ යයි කලබල කළා. එදා රෑ මගේ වත්තේ කවුදෝ ඉන්න බව මට තේරුණා. ගෙට ගල් ගහමින් නොයෙක් සද්ද බද්ද කරමින් ඇහැක් තරම් කරදර කරන්ට පටන් ගත්තා. තවත් දින කීපයක්ම පොලිස් නිලධාරීන් මගේ ගෙදරට බලෙන් ඇතුළු වී පැය තුන හතර වාඩි වී හිටියා. මගේ ගෙදර තරුණ ගෑනු ළමයි දෙන්නෙක් ඉන්න නිසා ඔවුන්ට අතුරු අන්තරාවක් වේ යයි මම කාලය ගත කරන්නේ නිරන්තර බයකින්.
තංගල්ල පොලීසියේ රහස් පොලිස් නිලධාරියෙක් මගේ ගෙදරට ආ විට මම මේ කරදර ගැන කීවා. එවිට ඔහු කීවේ ඒවා ගැන කිසිවක් නොදන්නා බවයි. රහස් පොලීසියට කොළඹ තරුණයෝ ඇවිත් ඉන්න නිසා මේ හිරිහැර ඔවුන්ගෙන් සිදු වෙනවා වෙන්ට ඇතැයි ඔහු කීවා. ඒත් ඊට පස්සෙත් තංගල්ලේ වෙනත් රහස් පොලිස් නිලධාරියෙක් දවල් කාලයේ මගේ ගෙදරට කීප වතාවක් ඇවිත් මා ජීවිකාව සඳහා කරන රැකියාව ගැනත්, මා ආස්සරේ කරන අය හා නෑදෑයන් ගැනත් තොරංතෝංචියක් නැතුව අහන්ට පටන් ගත්තා.
අගමැතිනියනි, ඔබතුමියත් දරුවන් තුන් දෙනෙකුගේ මවක් නේද? ඒ නිසාවත් මා සමඟ සිටින මගේ නංගීටත්, දුවටත් මගේ පුතුන් දෙදෙනා බැලීමට සාධාරණ පහසුකම් ලබා දීමටත්, ඔවුන් දෙදෙනා අත්අඩංගුවේ තබාගෙන සිටින අතර අපට හිංසා නොකරන ලෙසටත් වගබලා ගත නොහැකිදැයි මම කරුණාවෙන් අහනවා.
මෙයට, අවංක,
මැසිනෝනා වික්‍රමකළුතොට
ශ්‍රියානි අජන්තා විතාන