මුලින් තිබුණු ආදරය අඩුවුණා වගේ දැනෙන්නෙ කොහොමද?

    0
    64

    යම්කිසි කෙනෙක් කෙරෙහි අපේ හිතේ ආදරය කියන සිතිවිල්ල හට ගන්නෙ දෙවතාවකට. පළවෙනි එක ආකර්ෂණය. ඊළඟට ඒ ආකර්ෂණය නිසා ඇතිවන බැඳීම තුළින් දෙදෙනා දෙදෙනාව අවබෝධ කර ගැනීමෙන් පසු ඇතිවන ආදරය. එහිදී තමයි ආදරය ස්ථාවරත්වයට පත් වන්නෙ.

    ආකර්ෂණයෙන් පසු මෙම දෙවැනි තත්ත්වයට යම් යම්කිසි යුවළක් ගියොත් ඒ බැඳීම ආකර්ෂණය නැති වුණු පසුවත් දිගින් දිගට පවතිනවා. ආකර්ෂණය කියන්නේ එන්න එන්න අඩුවෙන දෙයක්. නමුත් අන්‍යෝන්‍ය අවබෝධය තුළින් ඇතිවන බැඳීම එන්න එන්න වර්ධනය වීම සිදුවෙනවා. ඒ කියන්නෙ ස්ථාවරත්වයට පත් වීමයි. අපි පෙර ලිපියෙහි ඒ විදිහට විස්තර කළා.


    මෙහි ජීව විද්‍යාත්මක කාරණයකුත් තියෙනවා. අපට කෙනෙක් ගැන ආකර්ෂණයක් ඇතිවෙනකොට, ආදරයක් ඇතිවෙනකොට මොළයේ මීට අදාළ කොටස උත්තේජනය වී රසායනික නිකුත් වෙනවා. මේවා ඩොෆර්මින් වැනි සතුට සම්බන්ධ හෝමෝන. මේ නිසා තමයි යම් පුද්ගලයකු පිළිබඳව ආදරණීය හැඟීමක් ඇතිවූ මුල් කාලයේ ඒ සම්බන්ධව සිහි කරනවිට පවා ශරීරයම කිලිපොළාගෙන යනවා වගේ දැනෙන්නෙ. ඕනෑම දෙයක් අලුතින් පටන් ගන්නකොට අප තුළ ඇතිවන හැඟීම හරිම ප්‍රබෝධජනකයි. මේක ආදර සම්බන්ධයකට පමණක් නෙවෙයි ඕනෑම දෙයකට ම පොදුයි. මේකට කියන්නේ හනිමූන් පීරියඩ් එක කියලා. “හනිමූන්” කියන එක තුළ ම තියෙන්නේ මිහිරිතම කියන අදහසනේ.

    ආදර සම්බන්ධයක මුල් කාලය හරිම මිහිරි ප්‍රබෝධමත් නිසා දෙන්නටම දෙන්නගේ අඩුපාඩුකම් පෙනෙන්නේ නෑ. ඒ නිසා දෙන්නම ඉන්නෙ සතුටින්. ඒකට හේතුව තමයි අර මුලින් කියපු සතුට ඇති කරවන හෝමෝන ශ්‍රාවය වීම.

    නමුත් මෙහෙම දෙයක් තියෙනවා. රසායනිකවල ස්වභාවය තමයි කල් ගත වනවිට ඊට හුරු වීම. එවිට එය සාමාන්‍ය දෙයක් බවට පත්වෙන නිසා අමුතුවෙන් විශේෂ සතුටක් දැනෙන්නේ නැතුව යනවා. ඒක තමයි ආකර්ෂණය අඩුවීම කියන්නෙ. මේක ඕනෑම දෙයකට පොදු ස්වභාවික තත්වයක්.

    එනිසා මෙය කලබල වෙන්න කාරණාවක් නොවෙයි. ආකර්ෂණය තුළින් ඇතිවන බැඳීම දෙවන පියවර දක්වා ගියා නම් ආකර්ෂණය අඩු වුණා කියා බැඳීම නැති වන්නේ නෑ. මේ බැඳීම තමයි අප මීට පෙරත් විස්තර කළ චිත්තවේගීය බැඳීම. ඒ කියන්නේ හැඟීම්වලින් ඇතිවන බැඳීම. එකිනෙකා වෙනුවෙන් කැප කිරීම, එකිනෙකාව අවබෝධ කර ගැනීම තමයි මෙහිදී සිදු වන්නෙ.

    දෙදෙනෙක් විවාහ වෙන්න කලින් ආදරය කරන කාලෙදි දෙන්නාටම දෙන්නා ගැන තියෙන්නේ කුතුහලයක්. ඒ නිසා හිතේ ලොකු ප්‍රබෝධමත් ගතියක් ඔවුනොවුන් ව සිහිපත් වීමේදී පවා දැනෙනවා. ඒ ගැන තමයි මුලිනුත් විස්තර කළේ.

    නමුත් විවාහ වී ලිංගික සබඳතා ඇති වීමෙන් පසු දෙදෙනා ඔවුනොවුන්ට විවෘත වන නිසා මුලින් තිබූ කුලෑටි බව සහ කුතුහලය නැති වී දෙදෙනාම සුවපහසු කලාපයකට පිවිසෙනවා. එවිට මුලින් තිබූ අමුතු හැඟීම් නැතිවී දෙදෙනාටම දෙදෙනා හුරු වීම නිසා එය සාමාන්‍ය දෙයක් බවට පත්වෙනවා. මෙම අවස්ථාවට පිවිසි පසු “ඉස්සර තිබුණ ආදරය දැන් නෑ. එයා වෙනස් වෙලා” කියන හැඟීම දෙදෙනාටම දෙදෙනා කෙරෙහි ඇතිවෙන්න බැරි කමක් නෑ.


    මේ විදිහට දෙදෙනාම දෙදෙනාට විවෘත වුණාට පස්සේ අමාරුවෙන් පවත්වාගෙන ආ සමහර හැසිරීම් අතහැර දානවා. සමහර වෙලාවට එය ඉබේම අතහැරෙනවා. උදාහරණයක් විදිහට විවාහයට කලින් තමාගේ ශරීරයේ හැඩය ගැන උනන්දු වුණු කාන්තාවක් විවාහයෙන් පසුව එය මුළුමනින්ම අතහැර දමන්න පුළුවන්.

    පිරිමියා එහිදී ආකර්ෂණය වුණේ ඇගේ එම රූසපුවට නම් මෙහිදී ඔහු තුළත් ඇය ගැන පෙර තිබූ ආකර්ෂණය අඩුවී යන්න බොහෝ අවකාශ තිබෙනවා. මෙවැනි තත්ත්වයක් ඇතිවුණොත් ඒක දෙදෙනාටම ප්‍රශ්නයක්. “එයා ඉස්සර හිටිය කෙනා නෙමෙයි වෙනස් වෙලා” කියන හැඟීම දෙදෙනාටම දෙදෙනා කෙරෙහි ඇතිවෙන්න පුළුවන්.


    ආදරය අන්ධයි කියලා පැරණි කියමනක් තියෙනවා ඔබ අහලා ඇති. ඒ කතාවේ ඇත්තක් නැතුවා නොවෙයි. අර මුල් කාලයේ හට ගන්නා ප්‍රබෝධමත් හැඟීම ඇති කරවන රසායනික උත්තේජනය නිසා මොළයේ එක කොටසක් වැහිලා යනවා. එවිට තමන් ආදරය කරන කෙනාගේ මොන අඩුපාඩුකම් දුර්වලකම් තිබුණත් ඒවා පෙනෙන්නේ නැතිව යනවා. මේ කියන හනිමූන් පීරියඩ් එක ( මේ අදහස් කරන්නේ විවාහ වී මධුසමය ගත කිරීමක් ගැන නොවෙයි) නැති වුණාට පස්සේ දෙදෙනාටම දෙදෙනා සාමාන්‍ය අය බවට පත්වෙනවා. ඉන්පසු දෙදෙනාම දෙදෙනාගේ දුර්වලකම් විවේචනය කරන්න පෙළඹුණොත් එය එම පවුල් ජීවිතයට මරු පහරක් විය හැකියි. ඇතැම් විට එක වචනයක් පවා කුළු ගෙඩි පහරක් බඳු වේදනාවක් වෙන්න බැරි නෑ.

    මේ තත්ත්වය වෙනස් කරන්න පුළුවන්කම තියෙනවා. රසායනික වෙනස්කම් සිදුවීම අපට නැති කරන්න අමාරුයි. නමුත් ඕනෑම කෙනෙකුගේ දුර්වලකම් තිබෙන බවත්, ඒවා නිවැරදි කර ගැනීම හිතන තරම් අසීරු නැති බවත් දෙදෙනාම වටහා ගත යුතුයි. ඒ වගේම දෙදෙනා අන්‍යොන්‍ය අවබෝධයෙන් එකිනෙකාට අනුගත වීමත් සාර්ථක පවුල් ජීවිතයකට අත්‍යවශ්‍ය කාරණාවක්. ආකර්ෂණය නැති වී ගියත් මේ තුළින් ඇතිවන බැඳීම නිසාම ජීවිතය හොඳින් ඉදිරියට පවත්වාගෙන යන්න හැකියාව ලැබෙනවා.

    ලබන සතියේ නැවත හමු වෙමු.

    උපදෙස්
    ප්‍රවීණ මනෝ චිකිත්සක ආචාර්ය සුරංග අමරකෝන්

    ඉන්දු පෙරේරා

    LEAVE A REPLY

    Please enter your comment!
    Please enter your name here