අවුරුදු 88 දී සාමාන්‍ය පෙළ ලියූ මිසිලින් නෝනා

    0
    51

    මෙවර සාමාන්‍ය පෙළ විභාගය අහවර වී යාන්තම් ගත වූයේ දින කිහිපයකි. පුංචි පැටවු දරා ගැනීමට බැරි බරක් බිමින් තබමින් ඉසිඹුවක් ලබමින් සිටිති. කඩඉම් අතුරින් සාමාන්‍ය පෙළ ඔවුන්ට හමුවන ප්‍රථම කඩඉමයි. දරුවාගේ අනාගත ගමන්මඟ තින්දු කිරීමට එම විභාගය බොහෝ බලපෑම් කරනු ඇත. ඒ නිසාම ළමෝ නිදිවරමින් පාඩම් කර එකොළොස් අවුරුද්දක් පාසැල් ගොස් දැනඋගත් දෑ උරගා බැලීමට සාමාන්‍ය පෙළ විභාගයට වාඩිවෙති. එහෙත් මේ කියන්නට යන කතාව මෙවර සාමාන්‍ය පෙළ ලියු දරුවන් පිළිබඳ කතාවක් නොවෙයි. මෙය සාමාන්‍ය පෙළ ලියු සිසුවියක් පිළිබඳව තරමක් වෙනස් කතාවකි.

    හතළිස් වසරක් දරුවන්ට අකුරු කියාදෙන්නට පාසලට ගිය විශ්‍රාමික ගුරුමවක වූ මිසිලින් නෝනාගේ මේ කතාව වෙනස් වන්නේ ඇය ජීවන ගමනේ 88 වැනි කඩඉම පසු කිරීමට ආසන්නයේ සිටින නිසාය. මේ පුවත අපට අසන්නට ලැබුණේ, හොරණ තක්ෂිලා විද්‍යාලයෙනි. වයස අවුරුදු 88කදී සිය කඩඉම ජයගැනීමේ කැපවීම සහ අධිෂ්ඨානය තාරුණ්‍යයට අපූර්ව ආදර්ශයක් කියා පාන්නේය. වයස කියන්නේ ඉලක්කමක් පමණක් බව මේ සිදුවීම් අපිට කියාපාන්නේය.

    ඇගේ සම්පූර්ණ නම කේ. මිසිලින් නෝනාය. මිසිලින් නෝනා ඉස්කෝලේ හාමිනේ උපන්නේ 1937 වසරේදීය. ජිවිතයේ ඉදිරි කඩඉම් සොයා යෑමට දෛවය ඇයට ඉඩහසර ලබාදී තිබීම භාග්‍යයකි. ඕ සිය වැඩිමහල් දියණිය සහ මිනිබිරියක සමඟ අංක 20, ප්‍රබුද්ධගම, අඟුරුවාතොට ලිපිනයේ පදිංචිව සිටින්නීය. ඇයට දරුවන් 7කි. ඉන් පිරිමි දරුවන් තිදෙනකුම රට රකින ක්‍රියාන්විතය වෙනුවෙන් හමුදාවට බැඳුණෝය. ඒ සියලු දෙනාම දැන් විශ්‍රාමිකය. සියලු වගකීම් නොපිරිහෙළා ඉටු කළ ඇයට තවත් ඉගෙනීමට වයස බාධා කිරීමක් හෝ සීමා කිරීමක් නොකරන බව මනාව තහවුරු කිරීම භාග්‍යයකි. එය තම ඉගෙනීම අතරමඟ හැර යන යෞවනයට අපූර්ව පූර්වාදර්ශයකි.

    මිසිලින් නෝනා

    ඇය තම හඬ මෙසේ අවදි කළාය

    මට මුලින්ම ගුරු පත්විම ලැබුණේ අවුරුදු 20 දී. ඒ 1957 අවුරුද්දේ. නුවර මඬුගල්ලේ දුෂ්කරම ඉස්කෝලෙකට. වික්‍රමරත්න ලොකු ඉස්කෝලෙ මහත්තයා තමයි මාව ගෙනිහින් ඇරළුවේ. කඳු පල්ලම් නැඟලා බැහැලා කැලේ මැද්දෙන් පයින්ම ගිහින් වැඩ භාරගත්තා.

    ඊට පස්සේ ටික දවසක් යනකොට පාසල් පරික්‍ෂකවරයෙක් ඇවිත් මං ගැන දුක හිතිලා මට මාරුවීමක් දුන්නා. ටිකක් පහසු තැනකට. අකුරණ බුඑගහතැන්න මුස්ලිම් ඉස්කෝලෙකට; ඒ සිංහල උගන්වන්න. හරි ගැටලුවක් වුණේ; මම දෙමළ දන්නේ නැහැ. ඒ දරුවෝ සිංහල දන්නේ නැහැ. “මේක ‘අ’ යන්න කිවුවාම”. ඒ දරුවොත් කියන්නේ “මේක අ යන්න’ කියලා”. මම නැවතිලා හිටියෙත් මුස්ලිම් ගෙදරක. ඔහොම තමයි කරගෙන ගියේ.

    ඉන් අනතුරුව ඇය මහරගම පමුණුව විද්‍යාලය, අලව්ව විද්‍යාලයලය, දියසෙන්පුර විද්‍යාලය, අරණායක බකුල්වල විද්‍යාලය, ගනේතැන්න මහා විද්‍යාලය සිට එතනින් කළුතර මියුසියස් ගුරු විද්‍යාලයට පැමිණියේ ගුරු පුහුණුව ලබා ගැනීමටය. පුහුණුවෙන් පසු ඇය ගියේ හොරණ කබල්ලාගොඩ ඉස්කෝලෙටය. බොහෝ කාලයක් රටපුරා ඉස්කෝලවල සේවය කර වේරවත්ත ඉස්කෝලෙට ආවේ ගමට පැමිණිමේ ප්‍රිතියත් එක්කය. එහෙත් පාසල් පරීක්‍ෂකවරියක් ඇයට ඒ සතුට වැඩිකලක් භුක්ති විඳින්නට ඉඩ දුන්නේ නැත. නැවතත් ඇයව වරකාගොඩ ඉස්කෝලෙට මාරු කළාය. තවත් ටික කලක් ඇවෑමෙන් රෙමුණ මහා විද්‍යාලයට ගිය ඇය වසර 40ක සාර්ථක සේවා කාලයක් සම්පූර්ණ කර 1996 අවුරුද්දේ විශ්‍රාම ලබා ගත්තාය.

    දැන් මම විශ්‍රාම අරගෙන අවුරුදු 30කට ආසන්නයි. ගෙදරදොරේ වැඩපළ කරගෙන හොඳින් ජිවත් වෙනවා. මැහුම් ගෙතුම් කරනවා. පන් මලු පැදුරු උයනවා. වූල් ගොතනවා. දන් පින් කරනවා. සිල් ගන්නවා. ඔය අතර මට හිතුණා ගෙදර නිකම් බුදියගෙන ඉන්නවාට වඩා තව දෙමළ ටිකක් ඉගෙන ගත්තොත් හොඳයි කියලා. මම ආයෙමත් දෙමළ පොත් ටිකක් අරගෙන ඉගෙන ගන්න පටන් ගත්තා. මට ගුරුවරයෙක් නැහැ. තනියෙන්මයි ඉගෙන ගත්තේ.

    අපොස සාමාන්‍ය පෙළ විභාගයේ අවසාන දවස වූ දෙමළ භාෂාව ලියන්නට ඇය හොරණ තක්ෂිලා මධ්‍ය විද්‍යාලයේ විභාග ශාලාවට පැමිණියේ ඇගේ බාල දියණිය සමඟය.

    මෙහිදී තමන් සමඟ එකට විභාගය ලියන්නට පැමිණි ආත්තම්මා දුටු සිසු දරු දැරියෝ ඇයව වට කර ගනිමින් ඇගේ ආගිය තොරතුරු විමසූහ. එසේම ඇයට විභාගයට ආශිර්වාද කළහ. විභාගයෙන් අනතුරුව විභාගය නිම වී ශාලාවෙන් පිටතට පැමිණි මිසිලින් මහත්මිය මෙසේ කීවාය. විභාගයට මම හොඳට මුහුණ දුන්නා. කෙටි ප්‍රශ්න හතළිහටම මම පිළිතුරු ලිව්වා. මට ඒ 40ම නිවැරදියි කියලා හොඳ විශ්වාසයක් තිබෙනවා.

    දෙමළ රචනාවත් මම ලිව්වා. කෝච්චියෙන් ගිය ගමනක් ගැන තමයි මම ලිව්වේ. කොහොම වුණත් මට ලොකු විශ්වාසයක් තියෙනවා ඉහළ සාමාර්ථයක් ලැබෙයි කියලා. විභාග ශාලාවේ ඉන්න නිලධාරී මහත්වරු දූදරුවෝ මං දිහා අමුතු විදියට බැලුවෙ නෑ නෑ. මට හැම කෙනෙක්ම හිනාවෙලා ආශිර්වාද කළා. මම සියලුම ප්‍රශ්නවලට උත්තර ලිව්වා. ඇත්තටම අධ්‍යාපනයට වයස් සීමාවක් අවශ්‍ය නැහැ. අපි මැරෙනකම්ම ඉගෙන ගන්නවා. මං නූතන දරු දැරියන්ට දුන්න පණිවිඩය ඒකයි.

    ඉගෙන ගන්නට විභාග සමත් කරන්නට වයස ප්‍රශ්නයක් කර නොගත් ඇය සැබවින්ම රටට ආදර්ශවත් කාන්තාවක්ය. සිළුමිණ පුවත්පත තුළින් ඇයට අපි සුබ ප්‍රාර්ථනා කරමු. දීර්ඝායුෂ ප්‍රාර්ථනා කරමු. අධ්‍යාපනයේ අගය මනාකොට වටහාගත් ඇය වයස බාධාවක් කර නොගත්තාය. ජීවන ගමනේ අත් විඳින්නට වූ අනේකවිධ අත්දැකීම් ඇයට ඉදිරියට යෑමේ අපුර්ව ශක්තිය ලැබිණි. එය ඇයට පමණක් නොව සමස්ත රට වැසියන්ටම ආදර්ශයක් ගෙන එනු නොඅනුමානය. මිසිලින් නෝනා ජිවිතයේ සැඳෑ සමය තුළ අපූර්ව ජීවන ගෙත්තමක් වියමින් සිටින්නීය.

    මංගල ප්‍රසන්න ඡායාරූප සහ විස්තර – හොරණ සමූහ

    silumina

    LEAVE A REPLY

    Please enter your comment!
    Please enter your name here