පරණ දේවල් කෞතුක නිර්මාණ විදිහට සංරක්ෂණය කළ යුතුයි

Author

Categories

Share

‘ඔබගේ රුව මාගේ ම යි

සතුටේ මල් පීදේ ම යි

පෙරමග මුතු පෑදේ ම යි

කිරි පැණි සේ පෑහේ ම යි..‘

1976 වසරේ තිරගත වුණු, ආනන්ද හේවගේ අධ්‍යක්ෂණය කළ ‘හරිම බඩු තුනක්’ චිත්‍රපටය සඳහා ඇලෙක්සැන්ඩර් ප්‍රනාන්දු සහ සෝනියා දිසානායකගේ රංගනයට පසුබිම් ගීතයකි ඒ.

සුනිල් විමලවීර පද රචනයෙන් ද එම්. කේ. රොක්සාමිගේ සංගීත තනු නිර්මාණයෙන් ද එම්. එස්. ප්‍රනාන්දු ගායන ශිල්පියා සහ රංජනී පෙරේරා ගායන ශිල්පිනියගේ ගායනයෙන් ද ජනප්‍රිය වූ චිත්‍රපට පසුබිම් ගීතයක් ලෙස හැඳින්විය හැකිය.

මේ ගීතය ගැයූ එම්. එස්. ප්‍රනාන්දු ගායකයා ජීවතුන් අතර නොමැති වුවත් රංජනී පෙරේරා ගායිකාව හඬ අවදි කළාය.

“ ඔබගේ රුව මාගේ ම යි ගීතය විතරක් නෙවෙයි. දශක ගණනාවක් පුරා රසවිඳි මුල් ගීත බොහෝ ප්‍රමාණයක් අද නව සංගීතයන්ගෙන්, නව කටහඬවල්වලින් අසීමිත ව ඇසෙන්න පටන් අරන් තියෙනවා. මම කියන්නේ පරණ දේවල් පරණ විදිහට ම තියෙන්න දෙන්න කියලා යි. ඒවා කෞතුක නිර්මාණ විදිහට සංරක්ෂණය කළ යුතුයි.

“ටවර් හෝල් නුර්ති නාට්‍ය ශිල්පිනියක මෙන් ම එවකට තිබූ ‘ආර්ය සිංහල නාට්‍ය සභාව’ සමග සම්බන්ධ වූ මුල් නාට්‍ය කණ්ඩායමේ සාමාජිකාවක වූ විමලා කාන්තා ගායනයටත්, රංගනයටත් ඉතා දක්ෂ වූ කලාකාරිනියකි. ඇයගේ ස්වාමිපුරුෂයා වූ ධර්මදාස පෙරේරා පොලීසියේ සාජන්වරයකු මෙන් ම නාඩගම්, නුර්ති ගීත ගායනයෙහි ද දස්කම් පෑ අයෙකි. මේ දෙදෙනාගේ වැඩිමල් දියණිය දක්ෂ වේදිකා නාට්‍ය ශිල්පී ෆ්ලෝරි දේවි නැතහොත් ලලිතා පෙරේරා යි. පවුලේ දෙවැනි දරුවා තබ්ලා වාද්‍ය විශාරද ධර්මසිරි පෙරේරා යි. තෙවැනි දරුවා වූයේ සුජාතා පෙරේරා නැතහොත් ප්‍රවීණ ගායන ශිල්පිනි ආචාර්ය විශාරද සුජාතා අත්තනායක යි. රංජනී පෙරේරා පවුලේ හතරවැනි යා. පවුලේ බාලයා ඩ්‍රම්ස් වාද්‍ය ශිල්පී සුසිල් පෙරේරා යි. ටවර් හෝල් නාට්‍ය පුහුණුවීම් සඳහා යාමේදී රංජනී පෙරේරා දියණියද රැගෙන ගිය විමලා කාන්තා එම නාට්‍යවල ළමා චරිත සඳහා රංජනී පෙරේරා ද සම්බන්ධ කර ගත්තා ය. එක් අවස්ථාවක එහි රඟදැක්වූ විදුර ජාතකයේ විදුර පඬිතුමාගේ දරුවෝ දෙදෙනාගෙන් එක් අයෙකුට රංජනී රඟපෑවා ය. අනෙක් දරුවා වූයේ පසු කලෙක ප්‍රවීණ ගායන ශිල්පිනියක බවට පත් වූ ආචාර්ය, විශාරද නන්දා මාලිනි ය යි.

“‍අපේ අම්මා පුදුම කැමැත්තකින් සහ කැපවීමකින් නාට්‍යවල රඟපෑවා. අපි අතදරුවෝ කාලෙත් අම්මා අපිව අරගෙන ගිහින් වේදිකාවේ පැත්තක පරෙස්සමට අපිව නිදි කරලා තියලා ගිහින් රඟපාලා තියෙනවා. ඒ ආභාසය අපි හැමෝට ම ලැබුණා. ‘බලගතු කාසිය’ නාට්‍යයේ ප්‍රධාන ළමා චරිතයත් මම රඟපෑවා. මට ගීත ගායනයත් පුළුවන් නිසා කරුණාරත්න අබේසේකරයන් ගුවන්විදුලියට කළ ‘ආධුනික පැය’ වැඩසටහනට මම ඉදිරිපත් වෙලා ජය ලැබුවා. ඒ නිසා ‘ජයග්‍රාහක පෙළපාලීය’ වැඩසටහනෙන් ගීත පහක් ගයන්නත් මට අවස්ථාව ලැබුණා. ඒ සඳහා ගී තනු හා සංගීත නිර්මාණය කර දුන්නේ ආචාර්ය ෂෙල්ටන් ප්‍රේමරත්න මහතා සහ විමල් ජේ. ශ්‍රියාරත්න මහතා යි. ඊට පස්සේ සරල ගී පරීක්ෂණයට මම ඉදිරිපත් වෙලා ඒ ශ්‍රේණියේ ගායිකාවක් බවට පත් වුණා. ඊට පස්සේ මම ගොඩක් ගීත ගායනා කළා. සහාය ගායනා කළා. අත්වැල් ගායනා කළා.

කැලණිය වෙදමුල්ල මහා විද්‍යාලයෙන් අධ්‍යාපනය ලැබූ රංජනී පෙරේරා පසුව හේවුඩ් ආයතනයට ඇතුළත් ව සංගීතය මෙන් ම නර්තන අධ්‍යාපනය ද හැදෑරුවා ය. එවකට හේවුඩ් ආතනයේ නර්තන අංශ ප්‍රධානී වූයේ ප්‍රවීණ නර්තනාචාර්ය පණී භාරතයන්ය. ඇය පණී භාරතයන් සමඟ එක්ව නැටුම් සංදර්ශනවලදී උච්ච ස්වරයෙන් ජන ගායනා කළා ය. ඇයගේ සොයුරිය සුජාතාත්, සොයුරා ධර්මසිරිත් එහි සංගීතය හැදෑරුවෝ ය. තිදෙනා ම උපාධි සම්පූර්ණ කළ අතර අධ්‍යයන කාලය තුළදී ඉඩ ලැබෙන ආකාරයට රංජනී චිත්‍රපට පසුබිම් ගායනයේ අත්වැල් ගායනා සඳහා යොමු වූයේ ය. ගායනා අතරට නර්තනයේ යෙදීමට අවකාශයද රංජනීට ඇතැම් චිත්‍රපටවලදී සැලසුණි.

“මම මුලින් ම චිත්‍රපට අත්වැල් ගායනයට එක් වූයේ දයා විමලවීර මහතා අධ්‍යක්ෂණය කළ, ආචාර්ය ෂෙල්ටන් ප්‍රේමරත්නයන් සංගීත අධ්‍යක්ෂණය කළ ‘වීදුරු ගෙවල්’ චිත්‍රපටය සඳහා යි. ඒකේ ගීත වැඩි ප්‍රමාණයක් ගායනා කළේ සුජාතා අක්කා යි. ‘සීතල පාළුව හඬනා’ ගීතය වාදක මණ්ඩලය හතළිස් හයක් එක්ක

 මම තනිව ම ගායනා කළා. ඒ කාලේ ගීතයක් පටිගත කරනවා කියන දේ ලොකු අභියෝගයක් වුණා. එක් කෙනෙක් හෝ වැරැද්දුවොත් හැමෝට ම නැවත මුල සිට ගයන්න සිදු වෙනවා. එදා අපි රැයක් එළි වනතුරු ඒ ගීතය පටිගත කළා. පහුවදා මට උණ ගත්තා. ඒ ගීතය රචනා කළේ ධර්මසිරි ගමගේ මහතා යි. මම “ඔබගේ රුව මා‍ගේ ම යි’ ගීතය ගැයුවේ එයින් පසුව යි. අපේ අක්කා සුජාතා අත්තනායක සංගීත අධ්‍යක්ෂණය කළ ‘හරියට හරි’ චිත්‍රපටයේදී මම මිල්ටන් මල්ලවආරච්චි සමඟ ගීත ගැයුවා. ඒ වගේ ම ‘ධීවරයෝ’, ‘අල්ලපු ගෙදර’, ‘වනමල’, ‘වැදි බිම’, වගේ චිත්‍රපටවල මම නැටුම් ජවනිකාවලට සිටියා. ‘ආත්ම පූ‍ජා’ චිත්‍රපටය ඇතුළු චිත්‍රපට කිහිපයක ම චරිත නිරූපණයත් කළා. මෑතකදී ‘සැලමුතු පින්න’ චිත්‍රපටයේ මවක‍ගේ චරිතය රඟපෑවා.”

නර්තන ගුරු වෘත්තිය කර ගත් ඇය පාසල් කිහිපයකම සේවය කළාය.

“ඉගෙන ගත්ත පාසලට ම ගුරුවරියක් හැටියට යන්න ලැබීම ගැන මට ලොකු සතුටක් තිබුණා. මං ඉගෙන ගත්ත කාලේ පාසලේ සිටි ගුරුවරු කිහිපදෙනෙක් ම මම ගුරුවරියක් හැටියට මගේ පාසලට යද්දිත් ගුරුවරුන් ලෙස ම පාසලේ සිටියා. ඒ අයත් මං ගැන ගොඩාක් සතුටු වුණා. මට ගොඩාක් සහාය දුන්නා. එතැනින් මම කැලණිය මහා විද්‍යාලයට මාරු වුණා. කැලණි විහාරයේ වාර්ෂික පෙරහරට සිංහල සේනාවයි, පෘතුග්‍රීසි සේනාවයි හැටියට කණ්ඩායම් දෙකක් එකතු කරලා නර්තන නිර්මාණයක් හැදුවා. ඒ සඳහා මම ම සංගීත නිර්මාණයත් කරලා පෙරහරට ඉදිරිපත් කළා. ඊට පස්සේ ගුරු උපදේශිකාවක් හැටියට කොට්ඨාස අධ්‍යාපන කාර්යාලයට සම්බන්ධ වුණා. අද මම විශ්‍රාම වැටුපක් ලබමින් බොහොම නිදහසේ ජීවත් වෙනවා. අලුත් දරුවන්ගෙන් මම ඉල්ලා සිටින්නේ තමන්ට කියලා ගමනක් යන්න තමන්ගේ ම ගීත එළි දක්වන්න කියලා යි. ඒ වගේ ම මුල් ශිල්පීන්ගේ හිත් රිදවන්න එපා කියලාත් මම ඉල්ලීමක් කරනවා.”

silumina

Author

Share