ලොව පුරා සිටින පුද්ගලයින් දැන් තම සහකරු/සහකාරිය සොයා ගැනීමේ ගැටලුවකට මුහුණ දී තිබේ. ඉරානය, මෙක්සිකෝව, පේරු, දකුණු අප්‍රිකාව සහ දකුණු කොරියාව වැනි රටවල විවාහයන් සඳහා යොමු වන්නේ ඉතා අඩු පිරිසකි.
චීනයේ 2014 දී මිලියන 13ක් වූ වාර්ෂික විවාහ සංඛ්‍යාව 2024 වන විට මිලියන 6 දක්වා පහත වැටි තිබේ.
ෆින්ලන්තයේ සමීක්ෂණ දත්ත පෙන්වා දෙන්නේ එකට ජීවත් වන යුවළ, විවාහ දිවියට එළඹීමට ආසන්න වනවාත් සමග වෙන්වීමට ඇති සම්භාවිතාව වැඩි බවයි.
එසේනම් ලෝකයේ බොහෝ තැන්වල සිටින පුද්ගලයින් දිගු කාලීන සබඳතාවක් ගොඩනඟා ගැනීමට අසමත් ව ඇත්තේ ඇයි?
බ්‍රසීලයේ සැන්ටා කැටරිනා හි ජීවත් වන; 36 හැවිරිදි ෆෙලිපේ පවසන්නේ සහකරුවෙකු සොයා ගැනීමට කළ හැකි සෑම දෙයක් ම උත්සාහ කළත් තමා කිසි විටෙකත් සම්බන්ධතාවයක් පවත්වා නොමැති බවයි.

පාසැලේදී ඔහු තමන් ආදරය කළ ගැහැනු ළමයින්ට පෙම් හසුන් ලිවීමට පුරුදු වූ නමුත් ඔවුන්ගෙන් ලද ප්‍රතිචාරය කිසි විටෙකත් ඔහු දිරිගන්වන සුළු නොවීය.
ඔහු විශ්වවිද්‍යාලයේ සිටිය දී ගැහැනු ළමයින්ට ඔවුන්ගේ අධ්‍යන කටයුතු වලට උදව් කිරීමට ඉදිරිපත් වූයේ ඔවුන්, ඔහු සමග වැඩි කාලයක් ගත කරනු ඇතැයි යන අපේක්ෂාවෙනි.
පසුව ඔහු අවුරුදු 30 ගණන්වල දී, කාන්තාවන් සමඟ සම්බන්ධ වන්නේ කෙසේදැයි සොයා බැලීම සඳහා චිකිත්සාවක් වෙත යොමුවිය.
නමුත් මේ දක්වා ඒ කිසිදු දෙයක් සාර්ථක වී නැත.
“මම තමන්ගේ ආදර ජීවිතය එක්ක කරන්න ඕනි මොකක්ද කියලා දන්නේ නැති මිනිහෙක්” ඔහු පවසයි.

lajja
ෆෙලිපේ පිටපත් රචකයෙකු ලෙස කටයුතු කරන අතර ඔහුගේ වයස 20 ගණන්වල වැඩි කාලයක් ගත කළේ ස්ථාවර රැකියාවක් නොමැතිව ය. ඔහු සිතන්නේ එය තමන්ට කාන්තාවන්ගේ සිත් දිනාගැනීමට තිබු අවස්ථාවට බලපෑමක් ඇති කළ බවයි.
“නමුත් ඒක මට විතරක් සිද්ධ වෙච්ච දෙයක් නෙමෙයි,” ඔහු පැවසුවේ , තවත් බොහෝ පිරිමින්ට තමන් අතරමං වූ බවක් හැඟෙන අතර ඔවුන් පෙම් සබඳතා පැවැත්වීම සම්පූර්ණයෙන්ම අත්හැර දමා ඇති බවයි.
ඇමෙරිකා එක්සත් ජනපදයේ දත්ත වලට අනුව විශේෂයෙන් පිරිමින්, දැන් වයස අවුරුදු 18 සිට 24 දක්වා වන වයසේ පසුවන පිරිමින් වෙනත් ඕනෑම කණ්ඩායමකට වඩා වැඩි කාලයක් තනිව ම ගත කොට තිබේ.
දැන්, තරුණයින් අන් අය සමඟ කාලය ගත කරනවා වෙනුවට සමාජ මාධ්‍ය, ක්‍රීඩා සහ රූපවාහිනිය නැරඹීමට කාලය ගත කරමින් සිටියි. ෆෙලිපේ සිටින බ්‍රසීලය, ලෝකයේ ඉහළම සමාජ මාධ්‍ය භාවිතය අනුපාතය සහිත රටවල් වලින් එකක් වේ.
තරුණයින් වැඩි කාලයක් ඔන්ලයින් ගැවසෙන හෙයින්, ඔවුන් එහි ‘ඩෙට්’ කරනවා ද විය හැකිය. නමුත් ‘ඩේටින් ඇප්’ හි භාවිතය ක්‍රමයෙන් පහත වැටෙමින් තිබේ.

වෙළඳපළ බුද්ධි සමාගමක් වන Sensor Tower ට අනුව, ලොව විශාලතම ඩේටින් ඇප් හය 2024 වසරේ දී තම බාගතකිරීම් වල 18% කින් පහත වැටීමක් නිරීක්ෂණය කොට තිබේ. එය ඔවුන්ගේ ඉතිහාසයේ සිදුවූ පළමු පහත වැටීමයි.
ඇරිසෝනා ප්‍රාන්ත විශ්ව විද්‍යාලයේ සම්බන්ධතා සහ තාක්ෂණ විද්‍යාගාරයේ අධ්යක්ෂ ලීසෙල් ෂාර්බි පවසන්නේ පරිශීලකයින්ට බොහෝ ගැළපීම් ලැබුණ ද අර්ථවත් සම්බන්ධතා නොමැති වීම හේතුවෙන් ඩේටින් ඇප් ගැන කලකිරීමෙන් වෙහෙසට පත්ව සිටින බවයි.
ඇය සොයාගත් එක් කරුණක් නම් පුද්ගලයින් එකිනෙකාට ගැළපෙන ආකාරයෙහි විශාල වෙනසක් සිදුවී නොමැති බවයි. බොහෝ ඇප් වල කාන්තාවන්ට වඩා පිරිමින් සිටී. වෛද්‍ය ෂරාබි පවසන්නේ පිරිමින්ට බොහෝ විට නොසලකා හැරීමේ හැඟීමක් දැනීමෙන්; කලකිරීමේ හැඟීමක් ඇතිවිය හැකි බවත්, කාන්තාවන් තමන්ට ලැබෙන ප්‍රතිචාරවලින් වෙහෙසට පත්වන බවත් ය.
ඩේටින් ඇප් හරහා පුද්ගලයින් වෙත පැවරී තිබෙන වගකීම් අඩු කර ඇති බවත්, එය රළු හෝ නොසැලකිලිමත් හැසිරීම් වලට තුඩු දී ඇති බවත්” ඇය සිතයි. “සෑම ස්වයිප් එකක් එක්කම, ඔයා ගනුදෙනු කරන්නේ මිනිස්සු එක්ක නෙවේ බඩුවක් එක්ක වගේ හැඟීමක් දැනෙනවා,” ඇය පවසයි.
නයිජීරියාවේ අබුජා හි ජීවත් වන හසානා කිසි විටෙකත් ඩේටින් ඇප් භාවිතා කොට නැත. එතකොට “මම මාවම වෙන්දේසි කරනවා වගේ දැනුණා,” ඇය පවසයි.

නමුත් ඇයගේ වටිනාකම් බෙදාහදා ගන්නා පිරිමින් ඇත්තේ ද අතලොස්සක් බැවින් ඩේටින් ඇප් එකක් වෙත එක්නොවී ආදරයක් සොයා ගැනීම ඇයට ද අභියෝගාත්මක ය.
“මම ස්ත්රීවාදියෙක් නිසා ඒක මට දැනුම් පිරිවැයක් වෙනවා. මට තවදුරටත් ඇස් වහ ගෙන ඉන්න බැරි සමහර දේවල් තියෙනවා” ඇය පවසයි.
26 හැවිරිදි වියේ පසුවන ඇය නීතිඥවරියක් වන නමුත් සාර්ථක රෙදි සේදුම් ව්‍යාපාරයක් මෙන්ම ගෘහස්ථ හිංසනයට ගොදුරු වූවන්ට සහාය දක්වන රාජ්‍ය නොවන සංවිධානයක් ද පවත්වාගෙන යයි.
ඉන්ටර්නෙට් වෙත පුළුල්ව ප්‍රවේශ වීමට ඇති අවස්ථාව නිසා නයිජීරියාවේ කාන්තාවන්ට ගෘහස්ථ ප්රචණ්ඩත්වය පෙර නොවූ විරූ ආකාරයෙන් වාර්තා කිරීමට නිදහස ලබා දී ඇති බව ඇය විශ්වාස කරයි. ඇය එයින් අදහස් කරන්නේ නරක සම්බන්ධතාවයක අන්තරායන් පිළිබඳව ඇගේ පරම්පරාව වඩාත් දැනුවත් බවයි.

ඇමෙරිකා එක්සත් ජනපදය, චීනය, දකුණු කොරියාව සහ යුරෝපයේ සමහර ප්‍රදේශවලින් කරන ලද සමීක්ෂණ දත්ත පෙන්නුම් කරන්නේ විශේෂයෙන් කාන්තා අයිතිවාසිකම් සම්බන්ධයෙන්ව ඩාත් ප්රගතිශීලී වෙමින් සිටින තරුණියන් අතර සහ තරුණයින් අතර වැඩි වෙමින් පවතින පරතරයක් ඇති බවයි.
සමාජ විද්‍යාඥ ආචාර්ය ඇලිස් එවන්ස් මෙය ” විශාල ස්ත්‍රී පුරුෂ විභේදනයක්” ලෙස හඳුන්වන අතර ඒ ගැන ග්රන්ථයක් ද ලියමින් සිටියි. ඇය සිතන්නේ අප ඔන්ලයින් හරහා සංස්කෘතිය පරිභෝජනය කරන අයුරු මෙම ප්‍රවණතාවයට එක් හේතුවක් විය හැකි බවයි.
“කාන්තාවන්ට තමන්ගේ වර්ධනය වන ස්ත්‍රීවාදී අවශ්‍යතාවලට ගැලපෙන දේ බලන්න පුළුවන් වුණත් ඒ හා සමානව පිරිමින් එකම වේගයකින් ඉදිරියට යන්නේ නෑ” ඇය පවසයි.
“එය එක්තරා විදියකට බය හිතෙන දෙයක්,” ඇය පවසයි.
හසනාට මෙයද සත්‍යයකි; ස්ත්‍රී විරෝධී අදහස් හෝ ස්ත්‍රී විරෝධී අදහස් සමග එකඟ වන සමාජ මාධ්‍ය ගිණුම් අනුගමනය කිරීමට උනන්දු වන පිරිමින් ඇය බොහෝ විට දැක ඇත.
ඉරානයේ 40 හැවිරිදි නාසිට ද එම ගැටලුව තිබේ. ඇය තනිකඩව සිටින අතර පසුගිය වසර 10 තුළ දී ආදරයක් සොයමින් සිටියාය.

“මම පොඩ්ඩක් විතර ස්ත්‍රීවාදී,” ඇය පවසයි. “මට වැඩ කරන්න ඕනි වගේම මගේ සහකරු තරම් ම මුදලක් උපයා ගන්න ඕනි.හැබැයි එතකොට එයාලා හිතනවා ආ මෙයාට මා එක්ක තරගයක් තියෙනවා කියලා”
නමුත් බොහෝ කාන්තාවන් තවමත් සාම්ප්‍රදායික ගතානුගතික භූමිකාවන්හි මුල් බැසගත් සහකරුවෙකු පිළිබඳ අපේක්ෂාවෙන් සිටියි.
නාසි සහ හසානා ඔවුන් තරම් මූල්‍යමය වශයෙන් සුරක්ෂිත නොවන කෙනෙකු සමඟ සම්බන්ධ වීමට මැලි වෙති.
කාන්තාවන් දෙදෙනාටම පශ්චාත් උපාධි සහ හොඳ වෘත්තීන් ඇත. ඔවුන්ට සමාන යැයි සැලකිය හැකි පිරිමින්ගේ සංඛ්‍යාව අඩුවෙමින් පවතී. බොහෝ රටවල, කාන්තා උපාධිධාරීන් දැන් පිරිමින්ට වඩා වැඩි වන අතර ගැහැනු ළමයින් පාසලේදී පිරිමි ළමයින්ට වඩා දක්ෂතා දක්වති.

තනිව සිටීම ගැන අඩුවෙමින් තිබෙන ගනානුගතික අදහස් මත, ආදරය කිරීමෙන් සම්පූර්ණයෙන්ම ඉවත් වීම පහසු වන බව ආචාර්ය එවන්ස් පවසයි.
“උසස් තත්ත්වයේ පුද්ගලික විනෝදාස්වාද ක්‍රම ඉහළ යාම කියන්නේ ‘ඩේටින්’ කම්මැලි නම්, ඔයාට ‘බ්‍රිජර්ටන්’ (Bridgerton) බලන්න, නාට්‍යයක් බලන්න හරි වීඩියෝ ගේම් එකක් ගහන්න හරි පුළුවන්” ඇය පවසයි.
ඇය විශ්වාස කරන්නේ එය නරක ගැලපීමක පැටලීමට පුද්ගලයින්ට ඇති පීඩනය අවම කරන බවයි.
නමුත් තරුණයින් අතර පවතින සම්බන්ධකම් අවම වීම පිළිබඳව ඇය කනස්සල්ලට පත්ව සිටී.
“පිරිමින් සහ ගැහැනුන්; සමීප සිතුවිලි බෙදාහදා ගනිමින්, ලෝකය පිළිබඳ ඔවුන්ගේ විවිධ දෘෂ්ටිකෝණයන් එකට බෙදා ගනිමින් එකට කාලය ගත කරන්නේ නැත්නම් සහකම්පනය වර්ධනය කරගන්න එක අමාරු වෙනවා ” ඇය පවසයි.
ඩේටින් ඇප් පිළිබඳව අධ්‍යනය කරන ආචාර්ය ෂරාබි, තාක්ෂණය සැබෑ ලෝකයේ ඇති සම්බන්ධතා සඳහා ඇති අවස්ථාව අඩු කර ඇති බව ට එකඟ වේ.

“තරුණ අය මට කිව්ව දෙයක් තමයි එයාල බාර් එකක කියුට් කෙනෙක් ඉන්නවා දැක්කොත්; එයා ළඟට යනවා වෙනුවට එයා ඩේටින් ඇප් එකක ඉන්නව ද කියලා බලනවා කියලා” ඇය පවසයි.
“මම හිතන්නේ, සමස්තයක් විදියට, අපි වෙනදාට වඩා මිනිස් සම්බන්ධතා වලින් අයින් වෙනවා කියලයි”
(සටහන | ස්ටෙෆනි හෙගාර්ටි)
බීබීසී ලෝක සේවය
උපුටා ගැනීම – BBC සිංහල සේවය