ජාත්‍යන්තර මට්ටමේ මාධ්‍යවේදියෙක්, කළාකරුවෙක්, දේශපාලන හා කලා සංස්කෘතික විචාරකයෙක්,කවියෙක් මෙන්ම මානව හිමිකම් ක්‍රියාධරයෙක් වුනු රිචඩ් ද සොයිසා මරා දමා මේ වන විට විසි හය වසක් ඉක්ම ගොසිනි.
1990 පෙබරවාරි 17 වැනිදා අළුයම අවිගත් කණ්ඩායමක් විසින් නිවසේ සිටියදී තම මව ඉදිරියේ පහර ගත් ඔහුගේ මළසිරුර හමුවුයේ ෆෙබරවාරි 18 වැනිදා මොරටුව කොරලවැල්ල වෙරලේදිය.
ජාත්‍යන්තර අවධානයට පාත්‍රවූ රිචඩ්ගේ මරණය පිළිබඳව විධිමත් පරීක්ෂණයක් එවකට විපක්ෂය විසින් ඉල්ලා සිටිය ද එක්සත් ජාතික පක්‍ෂ ආණ්ඩුව විසින් එය ප්‍රතික්ෂේප කෙරුනී. රිචඩ් ද සොයිසා පැහැර ගෙන ගොස් ඝාතනය කිරීම ගැන විමර්ශන කොමිසමක් පත්කරණ ලෙස විපක්ෂය විසින් යළි ඉල්ලා සිටියේ ඊට වසරකට පසුවය. ඒ පිලිබන්දව වූ යෝජනාව ගැන පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරමින් පැවති විවාදයෙදී රිචඩ් මරා දැමීම ගැන තොරතුරු මෙන්ම, ඔහුට එරෙහිව අවලාද රැසක් පක්‍ෂ විපක්‍ෂ පාර්ශවයන් වෙතින් ඉදිරිපත් කෙරිණි. එවක විපක්‍ෂ නායකාව වූ සිරිමා බන්ඩාරනායකගේ ප්‍රධානත්වයෙන් සෙසු පක්‍ෂ නායකයන්ගේ ද සහයෝගයෙන් මෙම විමර්ශන කොමිසම් යෝජනාව ඉදිරිපත් කර තිබුණි. අදට විසි පස් වසකට පෙර පැවති මෙකි විවාදයට එක්වූ බොහෝ දේශපාලනඥයන් මියගොස් ඇති අතර තවත් බොහෝ දෙන දේශපාලනයෙන් සමුගෙන ඇත. ඉන් කිහිප දෙනෙකු අදත් සක්‍රිය දේශපාලනයේ නිරතවෙති.
රිචඩ් ද සොයිසා පැහැරගෙන ගොස් මරා දැමීම ගැන විමර්ශන කොමිසම යෝජනාවට ආණ්ඩු පක්‍ෂය එකහෙලා විරෝධය ප්‍රකාශ කළේය. ඒ වනවිටත් අධිකරණය හරහා විමර්ශණ පැවැත්වෙන බැවින් කොමිසමක අවශ්‍යතාවක් නොමැති බවට ආණ්ඩු පක්‍ෂය නියෝජනය කරමින් කේ.එන්.චොක්සි කරුනු දැක්විය. පොල් පෙරේරා, ජෝන් අමරතුංග, එච්.ආර්. පියසිරි, චන්ද්‍රා රණතුංග,හරින්ද්‍රනාත් දුනුවිල වැනි මැති ඇමැතිවරුන් ද කියා සිටියේ විමර්ශන කොමිසමක් අවශ්‍ය නොවන බවය. එවකට සභානායක වූ රනිල් වික්‍රමසිංහ පෙන්වා දුන්නේ මෙම යෝජනාව මගින් රිචඩ් ද සොයිසා පැහැර ගොස් මරා දමා ඇතැයි කීම මගින් මිනීමැරීමක් ගැන පුර්ණ විනිශ්චයක් ලබා දී ඇති බවය.
”මෙම යෝජනාව නීතියට පටහැනියි. මම නීතිය කඩ කරන්න යන්නේ නැහැ. නීතියේ ආධිපත්‍යය උල්ලංඝනය කළ නොහැකි බව මගේ ස්ථාවරය…පොලිස් පරීක්ෂණයෙන් පවා ඔබට පෙනෙන දෙය නම් මෙය බොහෝ අභිප්‍රායන් සම්බන්ධ ඉතා සංකීර්ණ නඩුවක්, පොලිසිය ඒ සියල්ල සොයා බලනවා. ලිංගික හැසිරීම් පිළිබඳ කිසිවක් මෙහි කියවීම මගේ අරමුණ නොවේ, නමුත් මම කියන්නේ , විවිධ හේතූන් මත සිදුවන සියල්ල, විමර්ශනය කළ යුතුයි, මරණය වටා ඇති තත්වයන්. ඒ නිසා ඔවුන් “රිචඩ් ද සොයිසාගේ මරණය වටා ඇති තත්වයන්” ගැන යෝජනාව ඉදිරිපත් කළේ නැහැ. ඒ වෙනුවට, ඔවුන් එය පූර්ව විනිශ්චය කිරීමට උත්සාහ කළා. ඔවුන් තමන් විසින්ම නිර්මාණය කරන ලද උගුලට වැටිලා .“ඔබලා මානව හිමිකම්වලින් දේශපාලනය කිරීමට උත්සාහ කරනවා. රිචඩ් ද සොයිසා – ඔහු මාධ්‍යවේදියෙක්. ඔහුට ඔහුගේම වූ ජීවන රටාවක් තිබුණා. මේ ඕනෑම දෙයක් ඔහුගේ මරණයට දායක විය හැකියි. මේවායින් ඕනෑම එකක් – හේතුව වෙන්න පුළුවන්. ඔහු ඕනෑම දෙයකට සැක කරන්න ඇති. ඔහුට පහර දීමට කැමති අය ඉන්න පුළුවන්. පළිගැනීමේ ප්‍රශ්නයක් තියෙන්න පුළුවන්. මේ සියලු කාරණා – විමර්ශනය කළ යුතුයි. නමුත් ඔබලා උත්සාහ කරන්නේ මානව හිමිකම් මාධ්‍යවේදියෙකු, ප්‍රසිද්ධියේ මරා දැමූ බවට නඩුවක් ඉදිරිපත් කිරීමටයි. නමුත් අවාසනාවකට ඔබට එය තහවුරු කළ නොහැක.“යැයි ඔහු අවධාරණය කළේය.

පැහැරගත් රිචඩ් තමන් භාරයේ ඉන්නා බවට පොලිස්පති මගින් නියෝජ්‍ය කතානායක ගාමිණි ෆොන්සේකා ප්‍රකාශ කළ බව මන්ත්‍රී අනිල් මුණසිංහ අවධාරණය කළේය. “නියෝජ්ය කථානායකතුමාට ~ ගාමිණී ෆොන්සේකා මහත්මයාට මේ ගැන කිව්වාම, එතුමා පොලිස්පතිට කථා කළා. ඔහු පොලීසියේ උදවියට කථා කරල. ආයෙමත් ගාමීණීට කථා කරල කිව්ව, ” බය වෙන්න එපා. එයා අපේ භාරයේ ඉන්නේ ” කියා. දැන් තමුන්නාන්සේලා ඒගැන කියන්නේ මොකක්ද ? තමුත්තාන්සේලා කියනවද රජයේ මැදිහත්වීමක් තැතැයි කීයා.“ ඔහු ප්‍රශ්න කළේය.
“නීතිපති රාජ්‍ය වෙනුවෙන් එතැනට පැනලා ඒ අධිකරණ ක්‍රියාවලිය අවසන් කළා

රිචඩ් ඝාතකයන් පිළිබඳව අධිකරණ විමර්ෂණ කෙරෙමින් තිබියදී, එය වලක්වුයේ ආණ්ඩුව බැවින් මෙවැනි කොමිසමක අවශ්‍යතාව මතුව ඇති බව එක්සත් සමාජවාදී සන්ධානයේ මන්ත්‍රී වාසුදේව නානායක්කාර විවාදයට එක්වෙමින් පැවසීය.
“අධිකරණයේ සුකුරුත්තම තියෙන්නේ රිචඩ් ද සොයිසා ගැන සොයන කොමිසමකට විතරයි.අධිකරණය මිනීමැරුමක් ගැන විමර්ෂණය කරන්න යන වෙලාවේදී, ඒ ගැන කරුනුඑහෙන් මෙහෙන් හෙලිදරව වීගෙන එනකොට නීතිපති රාජ්‍ය වෙනුවෙන් එතැනට පැනලා ඒ අධිකරණ ක්‍රියාවලිය අවසන් කළා.එහම එවුන් අද ඇවිත් අපිට කියනවා අධිකරණයට තියෙන බලයට අහිතක් වෙනනිසා කොමිසමක් පත් කරන්න බැහැ කියලා.
එවකට ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂය නියෝජනය කළ මන්ත්‍රීවරයෙකු වූ ලක්ෂමන් කිරිඇල්ල, ඇමැති චොක්සිට පිළිතුරු ලබා දෙමින් මානව හිමිකම් ආරක්ෂා කිරීමට අධිකරණය සමත්වී නොමැති බවය. “මානව හිමිකම් සංවිධාන යුරෝපයට, ජීනීවා නුවරට, ඇමරිකාවට, එංගලන්තයට ගිහිල්ලා නේද, මේ රටේ මානව අයිතිවායිකම් ආරක්ෂා කරන්ත හදන්නේ? අධිකරණයට පුලුවන්ද, මේ රටේ මානුෂික අයිතිවායිකම් ආරක්ෂා කරන්න ? ඉඩම් නඩුවලට, බූදල් නඩුවලට. දික්කසාද නඩුවලට නම්. මේ රටේ අධිකරණ හොඳයි. නමුත් දේශපාලන සහ මානව හිමිකම් ආරක්ෂා කරන නඩුවලට සහනයක් දෙන්න අධිකරණවලට ශක්තියක් නැහැ. ඒකට හේතුවක් තිබෙනවා. මානුෂික අයිතිවායිකම් ආරක්ෂා කීරීමේ නඩුවලදී පොලිසියේ සහයෝගය අවශ්‍ය වෙනවා.නමුත් ඒ අවස්ථාවලදී පොලිසියේ සහයෝගය මේවාට ලැබෙන්නේ නැහැ.
රිචඩ් මරා දැමීම ගැන පැවති නඩුවේ දී නීතිපතිවරයාගේ පාර්ශවික මැදිහත් වීම ගැන සඳහන් කරන කිරිඇල්ල මන්ත්‍රීවරයා පැවසුවේ මනෝරානි සරවනමුත්තු සිය පුත්‍රයා පැහැරගෙන ගියවුන් හඳුනාගෙන ඇතත්, එම ප්‍රකාශය ප්‍රමාද වී ලබා දුන් එකක් බවට ආණ්ඩුව පැවසීම යුක්ති සහගත නොවන බවය.

“හරි හෝ වැරදි, අම්මා ඇවිත් කිව්වාම මෙන්න මෙයා තමයි මගේ පුතා අරගෙන ගියේ කියා, නීතිපතිවරයාට කියන්ත බැහැ ඒ අම්මා කියන්නේ බොරුවක් කියා. ඒක ජුරි සභාවක් ඉදිරියේ තීරණය කරන්න ඕනා. රිචඩ්ගේ අම්ම ඇත්ත ද නැත්තද කියන්නේ තීරණය කරන්න නීතිපතිට අයිතියක් නැහැ.“ඔහු පෙන්වා දුන්නේය.
හොඳින් ක්‍රියාත්මක වන අධිකරණය තුල රිචඩ් ද සොයිසාගේ විමර්ෂණය කළ නොහැක්කේ මන්දැයි ආණ්ඩු පක්‍ෂ මන්ත්‍රී චොක්සි ට පිළිතුරු දුන් දී.මු. ජයරත්න කියා සිටියේ එම ප්‍රකාශය ගැන තමන් ලැජ්ජා වන බවය.
“තෙල්දෙනියේදී ඉස්කෝල ළමයින්ට වෙඩි තියලා මෑරුවා. ඒ මරාපු ළමයින් වෙනුවෙන් උසාවියේදී නඩුවට කථා කරපු පරාක්‍රම රණසිංහ, කරලියද්ද පෙරකදෝරු මහත්වරු කෝ? කෝ සාක්ෂිකාරයෝ ? ඒගොල්ලත් අද ජීවතුත්ව ඉන්නවාද?
රිචඩ් ද සොයිසා ඝාතනය ගැන විමර්ශන පිළිබඳව සඳහන් කරමින් ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රී හරින්ද්‍රනාත් දුනුවිල විසින් වෛද්‍ය සරවනමුත්තු විසින් කර ඇති ප්‍රකාශයන්ගේ පරස්පරතා පෙන්වා දුන්නේ අනතුරුවය.

“පැහැර ගැනීම දුටු හත් දෙනෙකුගේ ප්‍රකාශ පොලිසිය සටහන් කරගෙන ඇත. මෙම සාක්ෂිකරුවන්ගෙන් හය දෙනෙකුට පැහැරගත් අය හඳුනා ගැනීමට නොහැකි වී තිබේ. වෛද්‍ය සරවනමුත්තු මහත්මිය හඳුනා ගැනීමට අදාළ ප්‍රබල සාක්ෂිකාරියයි. පොලිසියට ප්‍රකාශ හතරක් ද, අධිකරණයට දිවුරුම් පෙත්සම් පහක් ද ඇය ඉදිරිපත් කර තිබේ. ඊට අමතරව ඇය මරණ පරීක්ෂණයෙදී සාක්ෂි ලබා දී තිබේ. ඇගේ කට උත්තර, දිවුරුම් ප්‍රකාශ සහ සාක්ෂිවල අන්තර්ගතය පරීක්ෂා කිරීමේදී, පැහැරගත් අය පිළිබඳව පරස්පරතා තිබේ.“යැයි ඔහු පවසන්නේ විමර්ශන කොමිසමකට එරෙහි වෙමින්ය.

මහේස්ත්‍රාත් අධිකරණයේ පැවති නඩුව විභාගයට නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටී නීතිඥ අනුර මැද්දෙගොඩ උපුටා දක්වමින්, ඔහු ක්‍රියා කළ අයුරු අනුමත කරමින්, පොල් පෙරේරා මන්ත්‍රීවරයා කියා සිටියේ පැමිණිල්ලේ පාර්ශවයේ ඉල්ලීම මත නඩු විභාගය අවසන් කළ බවය. මෙහිදී වෛද්‍ය මනෝරානි සරවනමුත්තු වෙනුවෙන් පෙනී සිටී නීතිඥ බැටී වීරකෝන් ඉල්ලා ඇත්තේ අපරාධ නඩු විධාන සංග්‍රහයේ 138 වගන්තියට අනුව සාක්ෂි විමසීමය. එහෙත් ඊට එකඟ නොවූ නීතිපති නියෝජිත අනුර මැද්දෙගොඩ කියා සිටියේ 124 වගන්තිය යටතේ සාක්ෂි විමසන ලෙසය.
“උසාවියේ සිටින සෑම කෙනෙකුටම එරෙහිව චෝදනා එල්ල කරමින් සිටියදී, අනුර මැද්දගොඩ මහතා ඉතා නිර්භීතව තම දෙපාර්තමේන්තුවේ ගෞරවය ආරක්ෂා කළේය.“
පාලක එක්සත් ජාතික පක්ෂයට අවශ්‍ය පරිදි නීතිපතිවරයා තීන්දු ගන්නා බවට චෝදනා කළ ශ්‍රීලංකා නිදහස් පක්‍ෂ මන්ත්‍රී නිමල් සිරිපාල ද සිල්වා කියා සිටියේ ලබා දුන් සාක්ෂි ප්‍රතික්ෂේප කිරීමට නීතිපතිට නීතියෙන් ඉඩක් නොමැති බවය.
“සරවනමුත්තු මහත්මියගේ කට උත්තරය පමා වුණා කියමු හිතමු. ඒත් සමහර වෙලාවට මාස ගණන් පමා වෙලා උසාවියට කට උත්තර දෙනවා. එසේ ගිහින් ප්‍රමාදයට හේතුව කියන්න පුළුවන්.ඒ හේතුව අධිකරණයට පිළිගත හැකි නම් සාක්ෂියේ සාර්ථකබව පිළිගන්න හැකි නම් කිසිම හානියක් නැහැ. ඒ නිසායි බලය අධිකරණයට දීලා තියෙන්නේ.“
“රිචඩ් ද සොයිසා විජේවීර හමුවුණා

ජනාධිපති රණසිංහ ප්‍රේමදාස ප්‍රමුඛ එක්සත් ජාතික පක්‍ෂ ආණ්ඩුව වෙත රිචඩ් ද සොයිසා පහර ගෙන ගොස් ඝාතනය කිරීමේ චෝදනා එල්ලවන්නට වුයෙන්, ඔහුගේ සිරුර හමුවීමත් සමගම `ලංකා පුවත් සේවය` උපුටා දක්වමින් ශ්‍රීලංකා ගුවන්විදුලි සංස්ථාවේ ප්‍රවෘත්ති විකාශයකින් කියා සිටියේ රිචඩ් ද සොයිසා ජනතා විමුක්ති පෙරමුණට සම්බන්ධ බවය. මුලින්ම `ලංකා පුවත් සේවය` ප්‍රචාරය මෙම පුවත සම්පාදනය කර තිබුනේ පොලිසිය මුලාශය කොට ගෙනය.
“ඔහු ජවිපෙ සාමාජිකයෙකු නොවේ. ඔහු මානවවාදියෙකු සහ මාධ්‍යවේදියෙක්. ඔබලාගේ නඩුවට ගැලපෙන පරිදි දැන් පවසන්නේ ඔහු ජවිපෙ සාමාජිකයෙකු බවයි. මා පැවසූ පරිදි ඔහු ජවිපෙ සාමාජිකයෙකු වුවද, ඔහුගේ ජීවිතය උදුරා ගැනීමට ඔබලාට අයිතියක් නැත. ඔබේ දෑත් පිරිසිදු නම් කොමිසමක් පත් කිරීමට බිය වන්නේ ඇයි?“යැයි එවක විපක්‍ෂ නායිකා සිරිමා බණ්ඩාරනායක ප්‍රශ්ණ කළාය.
පාසැල් වියේ සිටම රිචඩ්ගේ මිතුරෙකු වූ මංගල සමරවීර මන්ත්‍රීවරයා කියා සිටියේ රිචඩ් ජවිපෙ විවේචකයෙකු බවය.

“මට ඔහු සමග දීර්ඝව සාකච්ඡා කරන්න අවස්ථාව ලැබී තියෙනවා. මා දන්නේ ඔහු ජනතා විමුක්ති පෙරමුණට විරුද්ධ බවයි. 1987 දී ඉන්දු-ශ්‍රී ලංකා ගිවිසුමට ඔහු සහාය දැක්වුවා. අපි එකඟ නොවුනත්. ජවිපෙ විවේචනය කරමින් ලිපි පවා ලිව්වා, ඔබේ ජනාධිපතිවරයා [ ප්‍රේමදාස] ප්‍රසිද්ධ ප්‍රකාශ නිකුත් කරමින්, “මම කිසිම දෙයකට ජවිපෙට දොස් නොකියමි” යැයි පවසමින් සිටියදී පවා. ඔබේ ජනාධිපතිවරයා ජවිපෙ ගැන කිසිවක් කීමට බිය වූ විට පවා ඔහු ජවිපෙ විවේචනය කළා. ඒ නිසා රිචඩ් ද සොයිසා මහතා ජවිපෙවාදියෙකු බව පැවසීම විකාරයක්. ඔහුගේ මරණයට සතියකට පමණ පෙර අපි හමුවුණා.දිගු කතා බහකින් පස්සේ ඔහු සැබෑ මානවවාදියෙකු ලෙස සිදුවෙමින් තිබෙන දේ ගැන භීතියට පත්ව සිටින බව පැවසූ අයුරු මට තවමත් මතකයි. ඔයා මොකද කරන්නේ? රටේ භයානක දේවල් සිදුවෙමින් තියෙනවා, විපක්ෂය මොකද කරන්නේ?” රිචඩ් විපක්ෂයට දොස් පැවරු බව මංගල සමරවීර සිහිපත් කළේය.
ඉන්දීය සාම සාධක හමුදා උතුරු -නැගෙනහිර පලාතට ගෙන්වීමේ දී ඊට පක්‍ෂ පාර්ශවයන් හා රජය සමග රිචඩ් ද සොයිසා සිටි බවට එවක ශ්‍රීලංකා නිදහස් පක්‍ෂ මන්ත්‍රීවරයෙකු වූ මහින්ද රාජපක්‍ෂ මෙම විවාදයට එක්වෙමින් පැවසීය. ඉන්දීය හමුදා පැමිණීමට සහාය දැක්වීම නිසා ඔහුට තර්ජන එල්ලවූ බව ද මහින්ද රාජපක්‍ෂ සිහිපත් කළේ එවැනි තර්ජන එල්ලවූ අවස්ථා ගැන හොඳින් දන්නා බව කියමින්ය.
“ඔහු මම පෞද්ගලිකව දන්නවා.කිහිපවතාවක් මා හමුවන්නට තංගල්ලට ඇවිත් තියෙනවා. අතුරුදහන්වුවන්ගේ දෙමාපියන්,දරුවන්, ඥාතින් එක්ක සාකච්ජා කළා. ඔහුට තිබුනේ මානව හිතවාදිකමක් විතරයි. ඔහුට තිබුනේ නැහැ ජවිපෙ එක්ක සම්බන්ධයක්. අපි ඒක හොඳාකාරව දන්නවා.“
පාසල් සිසුන් පංති වර්ජනය කිරීම ඔහුන්ගේ අධ්‍යාපනයට හා අනාගත දියුණුවට බාධාවක් බව රෝහණ විජේවීර හමුවී රිචඩ් ද සොයිසා විරෝධය දක්වූ බව මහින්ද රාජපක්‍ෂ තව දුරටත් පැවසීය.

“ඔහු විජේවීරගේ සහෝදරයා ආනන්ද විජේවීර තංගල්ලේදී හමුවුණා. ඒ කාලේ ආනන්ද වගේම ඔහුගේ ඥාතින් ප්‍රසිද්ධියේ හිටියේ. ඔහුගේ මාර්ගයෙන් විජේවීර හමුවූ අවස්තාවලදී තමයි පාසැල් සිසුන්ගේ පංති වර්ජනය ගැන විරුද්ධව කතා කළේ.ඔහු ඒ ගැන ඔහුගේ දින පොත්වල සටහන් කර තිබෙනවා.මේ ප්‍රශ්න දෙස මේ විදිහට බැලුවේ මාධ්‍යවේදියෙකුට වඩා ඔහු තුල තිබු මානව හිතවාදය නිසායි.“
ඉතාමත් අසාධාරණ ලෙස රිචඩ්ගේ ඝාතනය වසා දමමින් රට රැවටීමේ මගක් ලෙස ආණ්ඩුව ඔහුට ජනතා විමුක්ති පෙරමුණේ ලේබලය අලවමින් සිටින බවට චෝදනා ඉදිරිපත් කළේ මහජන එක්සත් පෙරමුණේ නායක දිනේෂ් ගුණවර්ධන විසිනි.
“එහෙම ලේබල් කරලා තමන්ගේ දේශපාලන සතුරෝ අදත් උස්සන් යනවා. ආගිය අතක් නැහැ. මගේ මිත්‍ර බන්දුල ගුණවර්ධන මන්තීතුමාත් දන්නවා රිචඩ් ද සොයිසා මහත්මයා ජතතා විමුක්ති පෙරමුණට කිසිම සම්බන්ධකමක් නැති බව, මේ ආණ්ඩුවේ ප්‍රධාන ඇමතිවරයකු වන ලලිත් ඇතුලත්මුදලි මහත්මයාත් ඵ්බව හොඳට දන්නවා.“
“හෙරොයින් වලට එරෙහි ව්‍යාපාරය මෙහෙයවූයේ රිචඩ් ද සොයිසා

විශේෂයෙන් ආණ්ඩුපක්ෂයේ ඇමැති ජෝන් අමරතුංග සහ එච්.ආර්. පියසිරි විසින් පොලිස් වාර්තා ලෙසත්, දිනපොත් සටහන් ලෙසත්, ඇතැම් ලිපි ඉදිරිපත් කරමින් රිචඩ් ද සොයිසා වෙත නොයෙකුත් අවලාද නැගීය.
විෂ පෙවූ ලිපි ලේඛන පාර්ලිමේන්තුවට ගෙන එමින් ආණ්ඩුවේ කුණු කන්දේ මූලාරම්භය පෙන්නුම් කරන බවත්, තමන් සතුවත් එවැනි ලිපි තිබෙන බවට රිචඩ් ද සොයිසාට එල්ල වූ අවලාද වලට මංගල සමරවීර මන්ත්‍රීවරයා පිළිතුරු සැපයුවේ ආණ්ඩු පක්ෂයේ බාධා කිරීම් මැදය. “ ජෝන් අමරතුංග මහතා රිචඩ් ද සොයිසා හෙරොයින් වලට ඇබ්බැහි වූවෙකු බවට වක්‍රව චෝදනා කළා. මේ රටේ ප්‍රමුඛ පෙළේ හෙරොයින් විරෝධීයෙකු වන වෛද්‍ය දියනාත් සමරසිංහ මහතා සමඟ මෙය පරීක්ෂා කරන ලෙස ගරු අමාත්‍යවරයාගෙන් සහ රජයේ මන්ත්‍රීවරුන්ගෙන් ඉල්ලා සිටිනවා. වෛද්‍ය දියනාත් සමරසිංහ මහතා සමඟ වසර ගණනාවක් මේ රටේ හෙරොයින් වලට එරෙහි ව්‍යාපාරය මෙහෙයවූයේ රිචඩ් ද සොයිසා ය. මම හිතන්නේ මෙය දැන් මිය ගොස් සිටින පුද්ගලයෙකුට කරන අසාධාරණයක්. අපහාසයක්.
“ජෝන්,අමරතූංග ඇමතිතුමා කෑලෑ පත්තරයක් ගෙනල්ලා කියවලා රිචඩ් ද සොයිසාගේ ජීවන චරිතයට පහර ගහන්න උත්සාහ කළා. එතුමා ඇමතිවරයෙකු හැටියට උත්සාහ කළේ ලෝක ප්‍රසිද්ධ පැහැදිලි පිරිසිදු පුද්ගලයෙකුගේ නම කැත කරලා මේ රටට කැත නාමයක් ගෙන දෙන්නයි. රිචඩ් ද සොයිසා කියන්නේ ලංකාවේ පමණක් නොවෙයි . මුළුමහත් ලෝකයම පිළිගත් පුද්ගලයෙක්.“යැයි දී.මු ජයරත්න මන්ත්‍රීවරයා පැවසීය. මේ අතර ලක්ෂමන් කිරිඇල්ල මන්ත්‍රීවරයා කියා සිටියේ රිචඩ් ද සොයිසා ඝාතන විමර්ශන කොමිසමක් හරහා ඔහු මත් ලෝලියෙක් ද යන්නත් සොයා ගැනීමට ඇමතිවරයාට හැකි බවය.
විවාදයට එක්වූ නිමල් සිරිපාල ද සිල්වා මන්ත්‍රීවරයා පෙන්වා දුන්නේ ජනාධිපති ප්‍රේමදාස විසින් අනුගමනය කරන ක්‍රියා පිළිවෙතට පටහැනිව ඔහුගේ පාර්ලිමේන්තු මැති ඇමැතිලා වැඩ කරන බවය.

“ජනාධිපතිතුමා බොහොම හොඳ පුද්ගලයෙක්. මම රිචඩ් ද සොයිසා මහත්මයාගේ මළදෙගරට යනකොට එතුමාත් එතැනට ආවා. ටෙලිවිෂන් එකෙන් ඇවිත් ෆොටෝත් ගත්තා මල් වඩමකුත් තිබ්බා. රාජ්ය ගෞරවදක්වූවා. එහෙම තම් තමුන්නාන්සේලා අද කියන්නේ මොකක්ද? “රිචඩ් ද සොයිසා කුඩුකාරයෙක්. වැරදි කළ කෙනෙක්.” එහෙම නම් තමුන්නාන්සේලාගේ ජනාධිපතිතුමා උපහාර දක්වන්න ගියේ කුඩුකාරයෙකුටද? එහෙම තමයි “කන්න ඕනෑ වුනාම කබරගොයාත් තලගොයා වෙනවා.” විනාශ කරන්න
උවමනා වුණාම “තලගොයාත් කබරගොයා වෙනවා.” මෙන්න මේකයි තමුන්නාන්සේලාගේ දෙබිඩි ප්‍රතිපත්තිය.“
“මේ කවුද – මොනවාද කරන්නේ
ලක්ෂමන් පෙරේරා, දෙහිවල -ගල්කිස්‌ස නගර සභාවේ එක්සත් ජාතික පක්‍ෂය නියෝජනය කළ නගර සභිකයෙකි. එමෙන්ම `මේ කවුද මොකද කරන්නේ “ නම් වේදිකා නාට්‍යයේ නිෂ්පාදකවරයාය. නිවසේ සිටියදී එහි පැමිණි සන්නද්ධ කණ්ඩායමක් විසින් ඔහු පැහැරගෙන ගොස් අතුරුදහන් කරනු ලැබුයේ රිචඩ් ඝාතනයට සති කිහිපයකට පෙරය. “මේ නාට්‍ය කෙලින්ම ජනාධිපතිතුමා ගැන ගහපු එකක්. එකෙන් උපහාසයට ලක්වෙලා තියෙන්නේ ජනාධිපතිතුමා කියා කියනවා. ලක්ෂ්මන් පෙරේරාගේ මරණය ගැන කතා කරන්නේ නැහැ. මොවුන් දෙදෙනා සම්බන්ධවූ නාට්‍ය ජනාධිපතිතුමාට උපහාසය වූ නිසා පලිගන්න කළා ද කියා ඇයි අහන්නේ නැත්තේ.“යැයි වාසුදේව නානායක්කාර මන්ත්‍රීවරයා සභාව හමුවේ ප්‍රශ්න කළේය.
ලක්ෂ්මන් පෙරේරාගේ නාට්‍යයේ කතාව ගොඩ නැගෙනුයේ, එක්සත් ජාතික පක්ෂයේ 128 දෙනා එක් පැත්තකටත්, ජනාධිපතිතුමා සහ ආර්යාවත් සම්බන්ධ කරමින් යැයි නිමල් සිරිපාල ද සිල්වා සදහන් කරයි.

“කථාව ලීවේ රිචඩ් ද සොයිසා. ඵහෙම නම් එක්සත් ජාතික පක්ෂය සහ ඔවුන්ගේ දේශපාලනය අවඥාවට ලක් කළ මේ පුද්ගලයන් කෙරෙහි. සෑහෙන විරුද්ධත්වයක් තිබෙන බවට මතයක් තියෙනවා. එනිසා මේ මරා දැමීමට කාරණාවක් විය හැකියි.“
මන්ත්‍රී අනිල් මුණසිංහට අනුව ලක්ෂමන් පෙරේරාගේ ඝාතනය ගැන එක්සත් ජාතික පක්‍ෂය ලැජ්ජා විය යුතුය. තමන්ගේ නගර සභිකයෙක් මරා දැමූ පසු, කවුද මැරුවේ, මොනවට ද මැරුවේ යන්න ගැන සොයා බලන්නට කිසිදු ක්‍රියා මාර්ගයක් ගෙන නොමැති බව ඔහු පෙන්වාදුන්නේය.
“මම ටිකක් අනුකම්පා කරනවා, අපේ ලලිත් ඇතුලත්මුදලි ඇමතිතුමාට. එතුමාට ඉතීන් කරන්න දෙයක් නැහැනේ .එතුමා මොනවා කරන්නද. වැඩිය ඇවිස්සුවොත් එතුමාට ඔතන ඉන්න වෙන්නෙත් නැහැනේ.“
මේ ආකාරයේ නීතිය උල්ලංඝනය කිරීමට, මිනීමැරීමට සහ ව්‍යසනයකට ඉඩ දුන්නොත්, සියල්ලෝම එකම ගිනි කන්දක පුළුස්සා දමනු ඇති බවට තේරුම් ගතයුතු යැයි විවාදයට එක්වූ සී.වී. ගුණරත්න මන්ත්‍රීවරයා අවධානය කළේය.
“මම වරක් දෙහිවල-ගල්කිස්‌ස නගර සභාවේදී අනාවැකිමයක් කිවා එක්සත් ජාතික පක්ෂ සාමාජිකයින්ට. “ඔබ එක්සත් ජාතික පක්ෂයට අයත් නිසා ඔබ සැමවිටම ආරක්ෂිතයි.” කියලා දැන් බලන්න ලක්ෂ්මන් පෙරේරා මහතාට මොකද වුණේ කියලා.
රිචඩ ද සොයිසා පැහැරගෙන ගොස් මරා දැමීමම ගැන විමර්ශන කොමිසමක් අපේක්‍ෂා කරන්නේ විපක්ෂය පමණක් නොව බ්‍රිතාන්‍ය මන්ත්‍රී මණ්ඩලය, එක්සත් ජාතීන්ගේ මානවහිමිකම් කවුන්සිලය, ලෝ එශියා සංවිධානය, පැරිස් ආධාර කණ්ඩායම මෙන්ම රිචඩ් ගේ ජාත්‍යන්තර මාධ්‍ය ආයතනය වූ ජාත්‍යන්තර පුවත් ආයතනය වන බව විපක්ෂනායිකා සිරිමා බණ්ඩාරනායක පෙන්වා දුන්නාය.
ශ්‍රීලංකා නිදහස් පක්‍ෂය, එක්සත් සමාජවාදී සන්ධානය, මහජන එකසත් පෙරමුණ, ශ්‍රීලංකා මුස්ලිම් කොංග්‍රසය, ද්‍රවිඩ එක්සත් විමුක්ති පෙරමුණ, ඊරෝස් සංවිධානය නියෝජනය කළ මන්ත්‍රීවරුන් 71 දෙනෙකු විමර්ශන කොමිසමක් වෙනුවෙන් සිය ජන්දය ප්‍රකාශ කර තිබිණි. එක්සත් ජාතික පක්‍ෂය නියෝජනය කළ මන්ත්‍රීවරු 120 දෙනෙකු ඊට එරෙහිව ජන්දය ලබා දීමෙන් යෝජනාව පරාජයට පත්විය. එදා දෙපාර්ශවයක සිට විවාද කරගත් දේශපාලඥයෝ අද එක පෙරමුණකට ගොනුවී සිටිති. පසුව බලයට පැමිණි චන්ද්‍රිකා බණ්ඩාරනායක පාලන සමයේදී රිචඩ්ගේ ඝාතනය ගැන විමර්ෂණය කළද, ඉන් රිචඩ් ද සොයිසාට නම් යුක්තිය ඉටුවූයේ නැත.

(සටහන | ඉෂංඛා සිංහආරච්චි)
Ishankha Singha Arachchi
Freelance Journalist





