මේ කාලයේ පරිවර්තන පොත් ගැන ඒ හැටි විශ්වාසයක් තැබිය නොහැකි ය. එක්කෝ මුල් කෘතියේ අන්තර්ගතය විකෘති වෙයි. නැතහොත් මුල් කතුවරයාගේ දැක්ම හා යටි – අරුත් පරිවර්තකයාගේ සිතැඟි අනුව වෙනස් වෙයි. පරිවර්තන නවකතාවලට ඉල්ලුමක් ඇතත්; ඒ ඔස්සේ සාහිත්‍ය සේවාවක් ඉටු වන්නේ යැයි සිතිය නොහැකිය. මේ අතර තම වගකීම මැනැවින් වටහාගෙන බරපතළ පරිවර්තන ක්‍රියාවකට යොමුවන අය ද සිටිති. චිත්‍රා අමරසේකර ඊට නිදසුනක් ලෙස පෙන්වා දෙන්නට කැමැත්තෙමු.!
තෝරාගත් සමාජ කණ්ඩායමක මානව සබඳතා සජීවී ලෙස නිරූපණය කිරීමත් එම සබඳතාවල පවත්නා සංකීර්ණ ස්වභාවය විවරණය කිරීමත් නූතන නවකතාවේ එක් පරමාර්ථයක් ලෙස දැක්විය හැකිය. එය මහාද්වීප හතෙහි ම නවකතාකරණයට පොදු ලක්ෂණයක් සේ සැලකිය හැකි ය. මේ ක්‍රියාවලිය ජීවිතය ගැඹුරින් ස්පර්ශ කිරීමටත් සමාජය මැනැවින් ග්‍රහණය කරගැනීමටත් උපස්ථම්භක වන්නේ යැයි තර්කයක් ගොඩනැඟිය හැකි ය. ඒ අර්ථයෙන් සලකා බලන කල්හි නවකතාව වනා හී සමාජ පරිණාමයට අදාළ බලවත් සාධකයකි.
තෝරාගත් සමාජ කණ්ඩායමක මානව සබඳතා සජීවී ලෙස නිරූපණය කිරීමත් එම සබඳතාවල පවත්නා සංකීර්ණ ස්වභාවය විවරණය කිරීමත් නූතන නවකතාවේ එක් පරමාර්ථයක් ලෙස දැක්විය හැකිය. එය මහාද්වීප හතෙහි ම නවකතාකරණයට පොදු ලක්ෂණයක් සේ සැලකිය හැකි ය. මේ ක්‍රියාවලිය ජීවිතය ගැඹුරින් ස්පර්ශ කිරීමටත් සමාජය මැනැවින් ග්‍රහණය කරගැනීමටත් උපස්ථම්භක වන්නේ යැයි තර්කයක් ගොඩනැඟිය හැකි ය. ඒ අර්ථයෙන් සලකා බලන කල්හි නවකතාව වනා හී සමාජ පරිණාමයට අදාළ බලවත් සාධකයකි.
ඉහතින් සඳහන් කරන ලද මානව සබඳතා දෙස විමසිල්ලෙන් බලන කල සරල වර්ගීකරණයක් ඇතිකර ගත හැකිය. ඒ පහත සඳහන් ලෙසින්ය.
(I) මවුපිය-දූදරු සබඳතා
(II) පවුලේ ඥාති සබඳතා
(III) අඹු-සැමි සබඳතා හා ගැටුම්
(IV) මිත්‍ර සන්ථවය
(V) යෞවනයේ ප්‍රේම සබඳතා
යථෝක්ත පළමුවන වර්ගයේ තවත් සුවිශේෂ ප්රවර්ගයක් ලෙස දැක්විය හැක්කේ දියණිය හා මව අතර පවත්නා සබඳතාවයි. මේ සම්බන්ධයෙන් රචනා වී ඇති ප්‍රකට නවකතා ගණනාවකි. මීට අදාළ වැදගත් නවකතාකාරියක ලෙස පර්ල් එස්. බක් හැඳින්විය හැකි ය.
ඇය විසින් රචනා කරන ලද ‘ආබාධිත දියණී’(Child who never grew) නවකතාව ඊට කදිම නිදසුනක් ලෙස පවතී. මවක සිය දරුවා රැකගැනීම සඳහා ගෙනයන කොන්දේසි විරහිත අරගලය මේ කෘතිය ඔස්සේ නිරූපණය වන්නේ හදකම්පා කරවන අයුරින්ය. එහි එන දියණිය විශේෂ දැරියකි. ඇයගේ ශාරීරික දුබලතා මෙන් ම මන්ද – මානසික ස්වභාවය ද දරුවා අත්හැරීමට හෝ නොසලකා හැරීමට හෝ හේතුවක් වී නැත.

පොදුවේ ගත් කල ඕනෑම මවකගේ හදවතින් උතුරා – දෝරේ ගලන ස්නේහය එම කතාවට පාදක වී ඇත. අමෙරිකාවේ ඉපිද චීනයේ වැඩි කාලයක් ජීවත් වූ පර්ල් එස්.බක් ඉහත කතාව රචනා කරන්නේ 1960 ගණන්වල ය. එහෙත් අදටත් නැවුම් බවකින් යුතුව විඳින්නට හැකි කෘතියක් ලෙස “ආබාධිත දියණී” කතාව නිසැක ලෙස ම ඔසොවා තැබිය හැකි ය.
මේ ප්‍රවර්ගයට ම අයත් තවත් ප්‍රබන්ධයක් අප සිහියට නැඟේ. එම කෘතිය BETTY ලෙසින් හඳුන්වා ඇත. අමෙරිකාවේ නිව්යෝර්ක් නුවර දී 2021 දී පළ කර ඇති BETTY නවකතාව සම්මාන ගණනාවක් දිනාගෙන ඇත. මේ කතාව දියණියක කියනු ලබන අතර සිය මව තමා ඇති -දැඩි කිරීම සඳහා ද, කුටුම්බය පවත්වා ගැනීම සඳහා ද ගෙනයනු ලබන මහා අරගලය දියණිය විසින් හෘද සංවේදී ලෙස ගොඩනඟනු ලැබේ. එය සත්‍ය කතාවක් මත පදනම් වූ ප්‍රබන්ධයක් බව කියනු ලැබේ. සිය මව ගැන සටහනක් තබන Tibbany Mc Daniel ලේඛිකාව සිය මව පිළිබඳ ඔසොවා තැබීම සිදු කරන්නී පහත සඳහන් අයුරින් ය.

“You give me a wall
And I’ll give you a hole’
You give me a window
And I’ll give you a break
You give me water
And I’ll give you blood.”
යථෝක්ත ප්‍රවර්ගයට අයත් නවකතාවල දී භාවිතයට ගනු ලබන ශිල්පීය ලක්ෂණ දෙස බලන විට යම් පොදු සාම්‍යයක් ද දැකගත හැකි ය.
(I) ආත්ම කථනයක් ලෙස කතාව විකාශය කිරීම
(II) උත්තම – පුරුෂ දෘෂ්ටිකෝණය යොදාගැනීම
(III) අතිශය සංවේදී භාෂාවක් භාවිත කිරීම
(IV) කථකයාගේ, මානසික පීඩනය සිහින හා උපකල්පන පාඨකයා වෙත ඉදිරිපත් කිරීම
අද අපගේ විමසුමට ලක්වන්නේ සමයවර්ධන ප්‍රකාශන සමාගම විසින් මුද්‍රණය කරන ලද පරිවර්තන කෘතියකි. එය “දේදුනු ගහ යට” නම් වන අතර පරිවර්තනය පළපුරුදු ලේඛිකාවක වූ චිත්‍රා අමරසේකරගේ ය. මුල් කෘතිය “The Lament of the Dhobi Woman” වන අතර මුල් කතුවරිය කරීන් රොබට්ස් නම් වාර්තාකාරියකි. ඇයට හිමිව තිබුණේ සංචාරක ජීවිතයක් බව කියනු ලැබේ. කොළඹදී උපත ලබා ඇති කරීන් සිය වෘත්තීය කටයුතු සඳහා මැද පෙරදිග රටවල් කිහිපයක සංචාරයේ යෙදී ඇති අතර පසුව ස්ථිර පදිංචිය සඳහා අමෙරිකාව තෝරාගෙන ඇත. කතුවරිය සිය ප්‍රබන්ධයේ පසුබිම ලෙස යොදාගෙන ඇත්තේ ශ්‍රී ලංකාව ය. ශ්‍රී ලංකාවේ ජනවාර්ගික යුද්ධයේ අත්දැකීම්, යටත් විජිතයක් ව පැවති ශ්‍රී ලංකාවේ අත්දැකීම් සේ ම ගම හා නගරය අතර ඇති පරතරයත් ලේඛිකාවගේ සැලකිල්ලට ලක් වී ඇත. අපේ සාම්ප්‍රදායික ගම හා ගමේ සංස්කෘතිය ද, කොළඹ ප්‍රභූ පන්තියේ දේශපාලන හා සමාජීය අත්දැකීම් ද මේ කතාවේ පසුබිමෙහි ඇත.

Lament යන්නට දිය හැකි සිංහල අර්ථ වන්නේ ශෝක ගීතය, ළතෝනිය, වැලපීම වැනි තේරුම් ය. මේ මුළු කතාව ම වැළපීමක් හෝ ශෝක ගීතයක් හෝ ලෙස දැක්විය හැකිය. සිය මවගෙන් දියණියකට සිදුවන වෙනස්කම් දියණියගේ ඇසින් බැලීම කෘතියේ ප්‍රධාන ඉලක්කය වී තිබේ. තම මව සැබෑ මවක ලෙසින් දරුවා තුරුලු කර ගැනීමට දක්වන මැළිකම හා ඇය නොසලකාහරින ආකාරය හෘද සංවේදී ලෙස නිරූපණය කරන්නට කතුවරිය උත්සුක වෙයි. කතාව ආරම්භ වන්නේ අතිශය සංවේදී අවස්ථාවකින්ය.
“මගේ අම්මාට මාව එපා දරුවකු වූයේ කවදාදැ’යි මම නොදනිමි. ඒ විශේෂ දිනය සතිය පමණක් නොව; එය වැසි සහිත දිනයක් ද නැද්ද එකල මගේ වයස කීය ද යන්න ගැනවත් කිසියම් හෝ හෝඩුවාවක් ඇති නම් කොයිතරම් හොඳ ද?”…..”
(01 පරිච්ඡේදය ආරම්භය)
මුල් කෘතියේ සරල – සංවේදී භාෂාව, ආත්ම කථනයේ රිද්මය මැනැවින් වටහාගෙන පරිවර්තන කාර්යය සිදුකර ඇති බවක් පෙනෙයි. මුල් කතුවරියගේ අධ්‍යාසයන් පරිවර්තිකාව හොඳින් තේරුම් ගෙන ඇති බවක් ද දැකගත හැකිය.
නවකතා පරිවර්තනයේදී ප්‍රධාන සාධක කිහිපයක් කෙරෙහි පරිවර්තකයාගේ අවධානය යොමු විය යුතු බව කියනු ලැබේ.
(I) අන්තර්ගතය හා යටි අරුත් නොවෙනස්ව ඉදිරිපත් කිරීම
(II) මුල් කෘතියේ භාෂා රටාව පසුබිමට අයත් සංස්කෘතිය යනාදිය මැනැවින් වටහා ගැනීම හා ඊට හානි නොකිරීම (අදහස විකෘති නොකිරීම)
(III) සංවාදවල රිද්මය යටි අරුත් හා තර්ක නිවැරැදි ලෙස දැක්වීම
(IV) මුල් කෘතියේ ඇති නම් -ගම් ස්ථාන ආදිය ගැන මනා අවබෝධයකින් යුතුව පරිවර්තන කාර්යය සිදු කිරීම
(V) මුල් කෘතියේ කර්තෘවරයාගේ දැක්ම – අරමුණු හා විශේෂතා හඳුනා ගැනීම
(VI) නවකතාවේ පසුබිම පිළිබඳව මෙන්ම කතුවරයාගේ ශෛලිය ගැන ද අධ්‍යයනයක යෙදීම
අද පරිවර්තන නමින් එළිදැක්වෙන බොහෝ කෘතිවල ඉහත ලක්ෂණ නැත. බහුල වශයෙන් සිදුවන්නේ වචනයෙන් වචනයට, වාක්‍යයන් – වාක්‍යයට පරිවර්තනය කිරීම ය. ඒවා පරිවර්තන නොව; පරිවර්තන නමින් එන වෙනත් පොත් ජාතියකි. චිත්‍රා අමරසේකරගේ මේ පරිවර්තනයට එබඳු චෝදනාවක් ඉදිරිපත් කළ නොහැකි ය. මුල් කෘතිය සමඟ සසඳන කල චිත්‍රා අමරසේකර මනා සංයමයකින් යුතුව ස්වකීය පරිවර්තන කාර්යය ඉටුකර ඇති බව නිසැක ලෙසම කිව හැකිය.කතාවේ මූලික සංවාදය ගොඩනැඟෙන්නේ ප්‍රධාන චරිත තුනක් සමඟ ය. එනම්; මව – දියණිය හා මෙහෙකාරිය වශයෙන් ය. මෙහෙකාරිය සීලවතී නමින් හැඳින්වේ. මව වන සාලාට වඩා දියණිය ගැන සොයා බලන්නී සීලවතී නම් මෙහෙකාරිය යි. කතාවේ ප්‍රධාන චරිතය වන දියණිය වැදූ මව හා හැදූ මව අතර මානුෂීය ගැටලුවක හිරවෙයි. එය හරියට ම හුණුවටයේ කතාව මෙන් සංකීර්ණ ගැටලුවකි. දියණියගේ ආකර්ෂණය නැඹුරු වන්නේ මව වෙතට නො ව; මෙහෙකාරිය වන සීලවතී දෙසටය.
“මගේ මිණුම් දණ්ඩ අනුව සීලවතී වචනයෙන් විස්තර කළ නොහැකි තරම් කරුණාවන්ත තැනැත්තියකි. ඇය අම්මාගේ කෙනෙහිලි මදි – පුංචිකම් ඉවසා දරාගෙන සිටින අයුරු මගේ සිතට ගෙන දුන්නේ අතිශය වේදනාවකි. ආපසු ගමට යන්න යැයි ඇගෙන් ඉල්ලීමට පවා සිතුණේ සීලවතීට ඇති ආදරය නිසා ය…”
(12 – පරිච්ඡේදය 174 පිටුව)
මේ දියණිය වරෙක කියා සිටින්නී සීලවතී නොවන්නට තමා පිස්සියක වීමට ඉඩ තිබුණ බවය. කුඩා බිලිඳියකගේ පටන් වසර හතළිහක් පමණ වයස්ගත ගැහැනියක වනතුරු දියණියගේ ආත්ම කථනය මේ කතාවට ඇතුළත් ය. මවගේ අනුග්‍රහයකින් තොරව සීලවතී නම් මෙහෙකාරියට ආදරය දක්වමින් ජීවිතයට මුහුණ දෙන දැරිය ලෝක ප්‍රකට චිත්‍ර ශිල්පිනියක වීමේ දිරිය කතාව “දේදුනු ගහ යට” නවකතාවට ඇතුළත් ය. එය එක අතෙකින් ජයග්‍රාහී කතාවකි. තව අතෙකින් දියණියක පිළිබඳ ශෝක ගීතයකි. මෙබඳු කතා ඔස්සේ අපගේ ජීවිත පරිඥානය පුළුල් වෙයි.
රන්ජන් අමරරත්න