ප්‍රේමවතී මනම්පේරිගේ චරිතය වටා ‘කතරගම ප්‍රේමා’ නමින් වේදිකා නාට්‍යය නිර්මාණය කිරීමට ප්‍රවීණ වේදිකා නාට්‍ය ශිල්පී සරත් දික්කුඹුර සමත් වෙයි. 1971 වර්ෂයේ කැරැල්ල සහ 2022 වර්ෂයේ දී ඇති වූ අරගලය යන දේශපාලන කැරැලි පිළිබඳ රටේ තරුණ පිරිස දැනුම්වත් කිරීම මෙහි අරමුණයි. කතරගම ප්‍රේමා වේදිකා නාට්‍යය අධ්‍යක්ෂණය කළ සරත් දික්කුඹුර සමඟ කළ පිළිසඳරයි.
‘කතරගම ප්‍රේමා’ වේදිකා නාට්‍යයේ තේමාව මොකක්ද ?
දේශපාලනයේදී පවතින රජය පෙරළා දමන්නට ජනතාව තුළින් ඇතිවන ප්‍රසිද්ධ විරෝධය කැරැල්ල කියලා අපි හඳුන්වනවා. 1971දී පවතින රජය ඒවගේ කැරැල්ලක් ඇති කළා. එහිදී ජීවිත දහස් ගණනක් රටට අහිමි වුණා. ඒ කැරැල්ල අවසන් වුණා. ජීවිත නැති වුණා. ඒත් රටට දේශපාලනමය වෙනසක් ඇති වුණේ නැහැ. ඒවගේම 2022දී ජනතාව අරගලයක් කළා. තරුණ පිරිස එහි මූලිකත්වය ගත්තා. ඒක සිදු වුණේ ඉතාම සාමකාමීවත් ජීවිත සහ දේපළ කිසිවකට හානියක් සිදු නොවන අයුරිනුයි. මේ දෙකම සිදු කළේ පවතින රජය පෙරළා දැමීමේ චේතනාව පෙරදැරිවයි. ඒවගේ අරගල තුළින් ජීවිත අහිමිවීම ඉතාම ශෝචනීයයි. එහෙම ජීවිත දේපළ අහිමි කරලා යම් පණිවුඩයක් ඒක ආරම්භ කළ අය සතුව සදහටම තිබිය යුතුයි. ඒත්, අපිට දකින්න තිබෙන්නේ රැල්ලට පෙරළාගෙන ඉදිරිපත් වෙලා ක්‍රියාකාරි වුණත් ඊට පසුව රටේ ජනතාව අතර අරමුණක් හෝ ක්‍රියාකාරිත්වයක් දකින්නට නැතිවීමයි. ප්‍රේමවතී මනම්පේරි සාහසික ලෙස මියගියා. ඇය රට වෙනුවෙන් කිරීමට වෙර දැරුව කාරණාව ඉදිරියට ආවේ නැහැ. ඒ ජීවිතය රටට නැති වීම ඇයට, ඇයගේ පවුලට සහ රටට පාඩුවක්.
මම කාරණා දෙකක් පෙරදැරිව නාට්‍ය හැදුවා. 1971දී කැරැල්ල මැඬලන්නට එවකට සිටි රජය මිනිසුන් මරා දැමුවා. මනම්පේරි ඒවගේ සාහසික ඝාතනයක්. ඒවගේම 2022 අරගලයේදී ලේ බිඳුවක්වත් නොසොල්වා නායකයා යන්න ගියා. ඒවගේ රටක බලය අල්ලන්න ගියාම, සමහරු මිනී මරනවා සහ සමහරු දාලා යනවා. රටට වෙන සෙතේ මොකක්ද කියලා අනාගතයේදි රටභාර ගන්න සිටින පිරිස දැනගත යුතුයි. ඒනිසා පාසල් දරුවන්ටයි, විශ්වවිද්‍යාල දරුවන්ටයි මම මේ නාට්‍යය ඉලක්ක කළා. තරුණයෝ බලාපොරොත්තු වුණ දේ රටේ ඉතිරි වෙනවාද? රටට අත්වන ඉරණම පිළිබඳ වගබලාගැනීම වැනි ගැඹුරු හරයක් නාට්‍යයෙන් දෙන්නට උත්සාහ කළා.
ඒ වගේම රටක් කැරැල්ලකට, අරගලයකට යද්දි මිනිසුන්ට රැවටෙනවා. අපිට අවශ්‍ය මොනවාද කියලා හරියටම පැහැදිලි කරගත යුතුයි නැත්නම් අපි ජාත්‍යන්තර කුමන්ත්රණවලට හසුවෙනවා. ඒවගේම කොහොමද බුද්ධිමත්ව රටේ දේශපාලනයට සම්බන්ධ වන්නේ යන කාරණා පැහැදිලිව නාට්‍ය තුළ කතා කරනවා.
ඔබ මනම්පේරියගේ කතාව තුළින් ප්‍රේක්ෂකයාට දෙන්නට උත්සාහ කරන්නේ මොනවාද ?
හමුදාවේ ඉහළින් ලැබුණු අණක් නිසා පහළ හිටිය නිලධාරියෙක් ක්‍රියාත්මක වෙලා කතරගම ප්‍රේමාව මරා දමුවා. ඉහළ නිලධාරියෙක් කිවුව පමණින් පහළ සිටින නිලධාරියා මානව හිමිකම්, සාධාරණකම් නොතකා ඉහළින් ආපු අණ ක්‍රියාත්මක කිරීම ලොකු වරදක්. මානව හිමිකම් තිබෙන රටක ඒවගේ ක්‍රියාත්මක වීම නීතිගරුකද? උසස් නිලධාරියකු දෙන අණක් ක්‍රියාත්මක කිරීමේදී ඊට පහළින් එය ක්‍රියාත්මක කරන නිලධාරියා සිද්ධිය පිළිබඳ නිවැරදි අවබෝධයකින් තොරව අණට කීකරුවීම තහනම් බව නඩු තීන්දුවකින් ලබා දී තිබෙනවා. එහිදී අණ ක්‍රියාත්මක කළ නිලධාරියා වරදකරුවකු වන බවත් එම තීන්දුවේ තිබෙනවා. එම තර්කය නීති පොතට පවා ඇවිත් තිබෙනවා. ඒ පිළිබඳ සාකච්ඡා කරන්න මනම්පේරි ඝාතනය යොදාගනු ලැබුවා.
රංගන ශිල්පීන් තෝරා ගැනීමේදී සැලකිල්ලක් දැක්වූයේ කුමන කාරණාවලටද?
ප්‍රවීණ සහ වර්තමාන වේදිකා නාට්‍ය ශිල්පීන් යන දෙගොල්ලන්වම යොදාගත යුතුයි කියලා මගේ අරමුණක් තිබුණා. ඒ නිසා ක්ලීටස් මෙන්ඩිස්, කුමාරි මුණසිංහ, අජිත් ලොකුගේ, ශාලිකා එදිරිසිංහ (මනම්පේරිය ලෙස), දොන් ගයි, ජීවන් හඳුන්නෙත්ති වැනි ප්‍රවීණයනුත්, යෂ් වීරසිංහ (ගාමිණී බාස් ලෙස), ඉෂාන් මෙන්ඩිස්, මලීෂා බණ්ඩාර, විජේසිරි මැණික්පුර සහ සමන්ති මානගේ යන ශිල්පීන් සහ ශිල්පිනියන් දායක කර ගත්තා. ඒ අය රටේ ප්‍රසිද්ධ කලාකරුවන් නිසා මගේ නාට්‍ය ජනප්‍රිය වීමට හේතුවක් ලෙස බලපෑවා.
නාට්‍යය කරන්න තිබුණු අභියෝග මොනවාද ?
මට මේ නාට්‍යය කරන්න අවශ්‍ය මූල්‍ය පහසුකම් තිබුණේ නැහැ. ඒ අවස්ථාවේදී මගේ මිත්‍ර ප්‍රේමදාස ජයකොඩි මට උදවු කරන්න ඉදිරිපත් වුණා. ඔහු අපේ රටේ කලා කටයුතුවල යෙදුණු කෙනෙක්. ඒත් දැන් අවුරුදු 30කට වැඩි කාලයක් ඉතාලියේ ජීවත් වෙනවා. ඔහු මට රුපියල් ලක්ෂ 15ක් ලබා දෙමින් නාට්‍ය නිෂ්පාදනයට දායක වුණා.
1978දී තවත් කලා ශිල්පියෙක් ‘කතරගම රූමතිය’ නමින් වේදිකා නාට්‍යයක් කරලා තිබුණා. ‘මේ නාට්‍යය කරන්න දෙන්න බැහැ’ කියලා ඔහුගේ පුතා මට අභියෝග කළා. ඒක මම මුහුණ දුන්න ඊළඟ අභියෝගයයි. ඒ පුද්ගලයා මට විරුද්ධව අපරාධ විමර්ශනයේ පැමිණිල්ලක් කළා. මට ඒක බේරගන්න අපරාධ විමර්ශන ඒකකයේ පෙනී සිටින්නටත් වුණා. තුන් වතාවක් මට එහි ඉදිරිපත් වෙමින් කරුණු පැහැදිලි කරන්නට වුණා. ‘ප්‍රේමවතී මනම්පේරි මුළු රටේම වස්තුවක්’ බවත් මම නිලධාරින්ට පැහැදිලි කළා. මේ නාට්‍යය එම නාට්‍යයම නොවන බව සහ ප්‍රේමවතී මනම්පේරිගේ පවුලේ අයගෙන් යම් විරෝධතාවක් නොමැති නිසා මගේ නාට්‍ය කරගෙන යාමට බාධාවක් නොමැති යැයි අවසානයේදී එහි නිලධාරීන් තීරණය කළා. පසුව රැඟුම් පාලන නිලධාරීන්ටත් ඔවුන් මේක දැනුම් දුන්නා. ඒ අනුව මට නාට්‍ය කිරීමට අවස්ථාව ලැබුණා.
පාසල් දරුවන් මේ නාට්‍යය නරඹන නිසා නිර්වස්ත්‍රව ඇවිදින ජවනිකා සහ හමුදා නිලධාරීන් ගිනිඅවි භාවිත කරන ජවනිකා, මනම්පේරිව හමුදාවෙන් රැගෙන යන ජවනිකා ආදිය ඉදිරිපත් කිරීමේදී තාක්ෂණිකව වගේම නාට්‍යයට ගැළපෙන අයුරින් නිර්මාණය කිරීම යම් අභියෝගයක් වුණා.
මේ නාට්‍ය යම් ඇගයීම්වලට භාජනව වූවාද ?
මම සම්මාන බලාගෙන වේදිකා නාට්‍ය නිර්මාණය කරන්නෙක් නොවෙයි. අද තිබෙන වේදිකා නාට්‍ය නරඹලා යම් දෙයක් ගෙදර ගෙනයාමට හැකියාවක් නැහැ. නරඹලා විනෝද වෙලා හිස් හිතින් යාමට ප්‍රේක්ෂකයාට සිදු වෙනවා. ඒවගේම මවුපියන්ට සහ දරුවන්ට එකට රසවිඳින්නට නොහැකි දෙපැත්ත කැපෙන වදන්වලින් පිරි හරයක් නැති නාට්‍ය වැහිවැහැලා.
වැඩි ප්‍රේක්ෂකයන් ප්‍රමාණයක් ආකර්ෂණය හොඳම සම්මානයයි. ඒත් මෙවර මම සම්මාන සඳහා ඉල්ලුම් කළා. මොකද මේ නාට්‍යයේ රංගනයට දායක වන කලා ශිල්පීන් සහ ශිල්පිනියන්ට සම්මාන අවශ්‍යයි. ඔවුන් ලොකු කැපකිරීමක් නාට්‍ය වෙනුවෙන් කරනවා.
ඉදිරියේදී කිරීමට බලාපොරොත්තු වන කලා නිර්මාණ මොනවාද?
මම අවුරුදු 39කට වැඩි කාලයක් රජයේ සේවයේ රැකියාව කළා. ඉන් පසුව කලා ජීවිතයට ඇවිත් චිත්‍රපට දෙකක් කළා. වේදිකා නාට්‍යත් කිහිපයක් කළා. දැන් අත්දැකීම් ගොඩක් තිබෙනවා. ඒත් ජීවිතේ ඉදිරියට ඉතිරි ටික කාලය යි.
ඒ කාලය තුළ මගේ අත්දැකීම් තුළින් රටට යමක් දීම ජීවිතේ අරමුණක් වී තිබෙනවා. කලාවෙන් මුදල් හොයන්නත් බැහැ. ඉදිරියේදී නිකොලෝයි ගොගොල්ගේ ‘ද මැරේජ් ඉන්ද ප්ලේ’ වේදිකා නාට්‍යය කරන්න උත්සාහ දරනවා.
ඉරෝෂා දීපානි