අයිතිය ගැනවත් කතාකරන්න අපි බයනම්, අපේ මනුස්සකමෙන් තියන ප්‍රයෝජනය මොකද්ද – ශාන්ති

    0
    61

    එයාගෙ නම ශාන්ති. ශාන්ති සෙන්තිල්කුමාර් ජීවත්වෙන්නෙ කේරලයේ ප්ලාචිමාඩා ( Plachimada)කියන කුඩා ගමේ. කේරල පලාත ඉන්දියාවේ තියන බොහෝම සරුසාර බිමක්. ඇති තරම් නිල් පැහැති වතුර ගලාගෙන යන .. ගොවිතැනට සුදුසු සරුසාර පසක් ඇති කේරලයේ දේශගුණය ලංකාවට සමාන බව ඒ පලාතේ සංචාරය කරපු අපේ මිත්‍රයො දන්නවා ඇති.

    පෙරියාර් හෝ පම්පාර් ගංඟාවල පාවෙන පොල් අතු අවන්හල්වල දවසක් ගෙවන්න.. හවස් වරුවේ කතක් කාලි නර්තන ප්‍රසංගයක් බලන්න.. කුළුබඩු යහමින් එකතුකරපු මාළු රහ බලන්න කේරලය කදිමයි. මේ සරුසාර කේරල ප්‍රාන්ථයේ ජීවත්වෙන ශාන්ති ගැනයි මේ පොඩි කතාව. ශාන්තිගෙ සැමියා කරන රැකියාවෙනුත් ගෙදර වත්තේ වගාවෙන් ලැබෙන සුළු ආදායමෙනුත් පහසුවෙන් ජීවත්වෙන්න මේ පවුලට හැකියාව ලැබෙනවා.

    වයස අවුරුදු තුන හතර අතර දරුවන් දෙන්නෙක්ගෙ මවක් වූ ශාන්ති වගාවට බොහොම දක්ශයි. වත්ත පහල වගා ලිඳේ වතුර වෙන අවුරුදුවලට වඩා අඩුවෙන්නෙ මොන හේතුවක් නිසාද ශාන්ති හිතනවා. වැස්සෙන් අඩුවකුත් නෑ.. වෙන කාලවලට වඩා වැඩිපුර වගා කරෙත් නෑ… ඒත් මිදුලෙ මට්ටමටම වතුර තිබුනු ලිඳේ වතුර අඩුවෙන්නෙ කොහොමද. ඒ මදිවට වතුර බොන්න බෑ.. අමුතු අප්‍රසන්න රහක් එනවා. තමන්ගෙ අසල්වැසි නිවෙස්වල කාන්තාවන් එක්ක කතාබහ කරන ශාන්තිට තේරෙනවා ඒ අයටත් තමන්ගෙ ප්‍රශ්ණෙම තියෙන බව. දේශගුණ විපර්‍යාස නිසා ඔහොම වෙනවා.. හැමතැනම පරිසර දූශණය… ගම්මු කතාවෙනවා.

    ඇති තරම් පිරිසිඳු වතුර ගලාගෙන ගිය ප්ලාචිමඩා ගම්මානයේ මිනිස්සුන්ට සිද්ධවෙනවා බෝතල් කරපු වතුර මිළදීගෙන පානය කරන්න. ලිඳේ වතුරෙන් ඇඟ පත හෝදන ශාන්තිගෙ කුඩා දරුවන් දෙන්නාගෙ හමේ කලු පැල්ලම් පොඩි බිබිලි මතුවෙන්න ගන්නකොට ශාන්ති බොහොම කලබලවෙනවා. දොස්තර මහත්තයා කියන විදිහට වතුර හෝ කෑමබීම විසවීමක් නිසා මෙහෙම වෙන්න පුළුවන්. අන්තිමේදී ලිඳේ වතුර නෑමටවත් සුදුසු නැතිවෙද්දි ගම් වැසියො හැමෝම වගේ මේ ගැන කතාකරන්න ගන්නවා. මේ වතුර ප්‍රශ්ණය ඇතිවෙන්නෙ අපේ අළුත් අසල්වැසියා නිසා වෙන්න බැරිද ශාන්තිට කල්පනාවෙන්නෙ ඉබේටම. මුළු ගමටම රැකියා දෙන.. ආදායම සරුකරන ගමේ අලුත් සාමාජිකයා ගැන කවුරුත් කතාකරන්නෙ බොහොම පැහැදීමෙන්. අනිත් කාරනේ මේ අලුත් අසල්වැසියා ලෝකෙම ප්‍රසිද්ධ බොහොම බලවත් කෙනෙක්.

    මේ වගේ කෙනෙක්ට චෝදනා කරන එක ටිකක් බරපතලයි. ඒත් තමන්ගෙ අදහස ගැන ගම් වැසියො එක්ක කතාකරන්න ශාන්ති පසුබට වෙන්නෙ නෑ. අපේ වතුර විස වෙන්නෙත් ලිංවල වතුර අඩුවෙන්නෙත් දේශගුණ විපර්‍යාස නිසා නෙවෙයි.. ඒත් අපේ ගමේ අලුත් සාමාජිකයා නිසා. ජීවිත කාලෙටම අහපු නැති දැකපු නැති විදිහට වතුර විස වෙන්න වෙන හේතුවක් මට පේන්නෙ නෑ. ගෑනු දන්න මගුලක් නෑ.. උඹලා ඉන්නෙ ලමයි බලන්නයි, වගා කරන්නයි… ගමේ පිරිමි ශාන්තිට හිනාවෙනවා. අපිට රැකියා දුන්න .. අතමිට සරුකරපු සමාගමට චෝදනා කරන්න උඹ කවුද.? ඒත් ප්ලාචිමඩා ගමේ කාන්තාවන්ට ශාන්ති කියන කාරනේ වැටහෙනවා. අහල පහල කාන්තාවො විස්සක් විතර එකතු කරගන්න ශාන්තිට පුළුවන් වෙනවා. තමන්ගෙ සැමියන් රස්සාවට ගියාට පස්සෙ.. දරුවො ඉස්කෝලෙ ගියාට පස්සෙ මේ අය තමන්ගෙ ගමේ අළුතින් පිහිටවපු සමාගමේ ලොකු මහත්තුරු මුනගැහෙන්න යන්නෙ ලොකු බලාපොරොත්තුවක් ඇතිව. ගේට්ටුවේ ඉන්න සෙකුරිටි මහත්තුරු මේ කාන්තාවන්ව නවත්තනවා.

    මහා ලොකු ගේට්ටු දාලා.. ඉඩම වටේටම විශාල තාප්ප ඉදිකරපු සමාගමට ඇතුවෙන එක ලේසි නෑ. පැයක් දෙකක් උත්සාහ කරත් මේ අයට හැකියාව ලැබෙන්නෙ නෑ සමාගමේ ලොකු මහත්තුරු හම්බවෙන්න. ඊ ලඟ දවසෙ ප්ලාචිමඩා ගමේ කාන්තාවො කොම්පැනිය ඉස්සරහට යන්නෙ අතින් ලියපු පුවරු තුන හතරකුත් ඇතිව. අපේ වතුර අපිට ඕනෙ.. ගමේ වතුර දූශණය නොකරව්.. ඒ බොඩ්වල සඳහන්. ගේට්ටුව ඉස්සරහ කෑගහන මේ කාන්තාවන් තමන්ට කරදරයක් බව ආරක්ශක නිළධාරීන් නගරෙ පොලීසියට දැනුම් දෙනවා. ගමේ පිරිමි කාන්ඩෙ කීප දෙනෙකුත් මේ ගෑණු කන්ඩායමට එකතුවෙන්නෙ මේ ප්‍රශ්ණෙ මොකක් හෝ නොතේරෙන යමක් ඇතිබව තේරුම් ගන්න හින්දයි. පොලීසිය මැදිහත් වුනත් කාන්තාවො නෙවේ පහු බහින්නෙ. ඒ අය වාදකරනවා තමන්ට ඇති අපහසුකම් ගැන කියමින්. ලෝකෙම පිලිගත්ත මහා සමාගමකට චෝදනා කරන්න උඹලට පුළුවන්ද පොලීසියේ මහත්තුරු තර්ජනය කරනවා. අන්තිමේදී පොලිස් ප්‍රධානියෙක් හා ගමේ දේශපාලන ප්‍රධානියා මැදිහත්වෙලා සමාගමේ ලොකු මහත්තුරු හම්බවෙන්නෙ මේ කාන්තාවන්ට අවස්ථාවක් සලසලා දෙන්නෙ දවස් කීපයකට පස්සෙ. මේ වතුර ප්‍රශ්ණෙට වග කියන්න ඕනෙ අපි නෙවේ.

    පන්චායත් ඒ කියන්නෙ ගමේ පාලන අධිකාරියෙන් මේකට විසඳුම් හොයන්න ඕනෙ. කාන්තාවන්ට ලැබෙන්නෙ මේ වගේ පිලිතුරක්. පහුවදා උදේම පන්චායත් කාර්‍යාලයට යන ප්ලාචිමඩා කාන්තාවන්ට විසඳුමක් ලැබෙන්නෙ නෑ. අනිල් ක්‍රිශ්ණා පන්චායත් ප්‍රධානියා. එයා කියන විදිහට මේ වතුර ප්‍රශ්ණෙ විසඳගන්න ඕනෙ අළුත් සමාගම එක්ක. මේ මුලු පලාතටම තියන එකම කර්මාන්ත ශාලාව මේක විතරයි. දාහකට ආසන්න රැකියා සංඛ්‍යාවක් ලැබෙන මේ සමාගමට විරුද්ධවෙන එක සුදුසුද?

    ගම් ප්‍රධානියා කල්පනා කරනවා. වාසනාවකට අනිල් ක්‍රිශ්ණා තේරුම් ගන්නවා ගමේ කාන්තාවන් කරන චෝදනාවල හරයක් තියන බව. ඒ නිසයි පන්චායත් නිළධාරීන් කීපදෙනා මේ කාන්තා කන්ඩායම එක්ක එකතුවෙන්නෙ. පහුවදා මේ හැමෝම එකතුවෙලා සමාගමේ ප්‍රධානීන් මුනගැහෙනවා. මේ ගැන අපි හොයලා බලනවා.. අසනීප වුනු දරුවන්ට ප්‍රථිකාර කරන්න අපි ආධාර දෙනවා .. මෙහෙම කියන්නෙ සමාගමේ ඉහල නිළධාරීන්. සතියක් දෙකක් ගතවෙනවා… රෝගී වුනු දරුවන් වෙනුවෙන් සොච්චම් මුදලකුත් .. පානය සඳහා වතුර බෝතල් තොගයකුත් හැරෙන්න ගම් වැසියන්ට ලැබෙන දෙයක් නෑ.

    මේ නිසයි හැම උදේ වරුවකම නොකඩවා සමාගම ඉස්සරහාට ගිහින් උද්ඝෝශනය කරන්න ප්ලාචිමඩා කාන්තාවො තීරණය කරන්නෙ. සමාගමේ ආරක්ශක නිළධාරීන්ගෙන් ලැබෙන්නෙ තර්ජන.. අපහාස.. පොලු පාරවල්. මේ කන්ඩායම එකතුවෙලා සමාගමේ ගේට්ටුව ඉස්සරහා පාරෙන් එහා පැත්තෙ පොඩි පොල් අතු මඩුවක් හදනවා. හැමදාම උද්ඝෝශණ කරන්න එන්න තරම් වෙලාවක් ගමේ ගෑණුන්ට නැහැ. දරුවො බලන්න ඕනෙ.. වගා කරන්න.. කෑම බීම හදන්න.. ගෙදර දොරේ වැඩවලට මේ අයට වෙලාව ඕනෙ. මේ නිසා මේ කාන්තාවො මාරුවෙන් මාරුවට උද්ඝෝශනයට යනවා. ගමේ වතුර ගමට දිය යුතුයි…. වතුර දූශණය නවතනු.. ගමෙන් පිටවෙනු.. සොභාදහම වනසන්න එපා.. අපේ දරුවන් ලෙඩකිරීම නවතනු.. මේ වගේ පුවරු දවස පුරාම සමාගමේ ගේට්ටුව ඉස්සරහා දකින්න පුළුවන්.

    දහ පහලොස් දෙනෙක්ගෙන් පටන්ගත් උද්ඝෝශණයට ටිකෙන් ටික පිරිස එකතුවෙනවා. කාන්තාවන් පමණක් නෙවෙයි අහල පහල ගම්වලිනුත් එන පුරුෂ පක්ශයේ සහයෝගය මේ කාන්තාවන්ට ලැබෙනවා. තර්ජනය කිරීම්.. පහරදීම් විතරක් නෙවෙයි උද්ඝෝශණයේ ඉදිරියෙන් ඉන්න කාන්තාවන්ගෙ ගෙවල්වලට ගිනිතැබීම් සිද්ධවෙනවා. ප්‍රාදේශීය පොලීසියට අමතරව ප්‍රාන්ථ පොලීසිය කැඳවන්න තරම් මේ ගැටුම දුරදිග යනවා. මුළු කර්මාන්තශාලාව වටේටම පොලිස් රැකවරණය ලැබෙනවා. සමාගමේ නිෂ්පාදන කටයුතු සිද්ධවෙන්නෙ පොලිස් ආරක්ශාව යටතේ.ශාන්ති සෙන්තිල්කුමාර්ගෙ සටන ගැන ඉන්දීය මාධ්‍ය කතාකරන්න පටන් ගන්නවා.

    මේ ගැටුම ගැන මධ්‍යම රජය සතුටුවෙන්නෙ නැත්තෙ ලෝක ප්‍රසිද්ධ සමාගමක් තරහා කරගන්න තියන අකමැත්ත නිසයි. ප්ලාචිමඩා කාන්තාවන්ගේ ගැටුමට අවුරුද්දකටත් වඩා වයසයි. මේතා පද්කාර් ගැන කවුද නොදන්නෙ.? බැංගලෝරයේ ඉදිකරපු ටාටා සමාගමෙන් සිදුවෙන පරිසර දූශණය ගැන උද්ඝෝශණය මෙහෙයවන්නෙ මේතා. අන්තිමේදී ටාටා සමාගමට සිදුවෙනවා බැංගලෝර වැසියන්ට වන්දි ගෙවන්න. මේතා පද්කාර් වැනි ප්‍රසිද්ධ ක්‍රියාකාරීන් ප්ලාචිමඩා උද්ඝෝශණයට එකතුවෙද්දි බීබීසී.. ග්‍රීන් පීස් වැනි ආයතනවල අවධානය මේ ප්‍රශ්ණයට යොමුවෙනවා.

    ග්‍රීන් පීස් ආයතනයේ මැදිහත්වීමෙන් කරපු පර්‍යේශණයකදී තහවුරු වෙන්නෙ ප්ලාචිමඩා ගම්මානයේ ඇලදොලවල වතුර දූශණය වී ඇති බවයි. ගම් ප්‍රදේශයේ ඇති ජලයේ PH අගය ඉතාම පහල බව ඒ ආයතන දැනුම් දෙනවා. වතුර මට්ටම පහල බැසීම වගේම ජල දූශණයටත් වගකියන්න ඕනෙ මේ භහුජාතික සමාගම. කර්මාන්ත ශාලාවෙන් බැහැර කරන අපිරිසිඳු ජලයෙන් මේ ප්‍රදේශයේ ජලය අපිරිසිඳු වී ඇති බවට බී බී සී සේවය ලෝකයට වාර්ථාකරනවා. 2000 අවුරුද්දෙ පටන් ගන්න මේ සටන අවුරුදු හතරක් පුරාම දිවෙනවා. සමහර කාන්තාවො අත් අඩංගුවට ගන්නවා.. සමහරුන්ට නඩු පැවරෙනවා… තවත් කාන්තාවන්ට මගදි පහර දෙන්නෙ මැරයන් විසින්.

    ඒත් සටන නවතින්නෙ නෑ. අවුරුද්ද පුරාම සීතල වතුර ගලාගෙන ගිය මේ ගමේ වතුර අද විසවෙලා.. වගා කරන්න බෑ.. වතුර බොන්න බෑ.. ගමේ දරුවො අසනීප වෙලා. මේ භහුජාතික සමාගම මේ ගමට සාපයක්.. කේරල රූපවාහිනිය වාර්ථා කරනවා. අන්තිමේදී අන්තර්ජාතික සමාගමට සිද්ධවෙනවා ප්ලාචිමඩා ගමේ තමන්ගෙ කර්මාන්තශාලාව වහලා දන්න. ඒ 2004 වසරෙ අන්තිමට. මේ භහුජාතික සමාගමේ නම කොකාකෝලා. කොකාකෝලා පැරදුනේ අවුරුදු විසි හතරක් වූ ගැමි කාන්තාවක් ඉදිරියේ. කේරල ප්‍රාන්ථ රජය නඩු පවරනවා කොකෝ කෝලා සමාගමට විරුද්ධව. ගම් වැසියන්ට සිදුවූ හානිය වෙනුවෙන් යූරෝ මිලියන 32 ක වන්දියක් ඉල්ලමින් පැවරෙන මෙම නඩුවෙන් තමන් පරදින බව කොකෝ කෝලා සමාගමට වැටහෙනවා.

    ඒ සඳහා අඩු මුදල් ප්‍රමාණයක් ගෙවන්න සමාගම සූදානම් වුනත් කේරල රජය ඒ ප්‍රධානය පිලිගන්නෙ නැහැ. කොකා කෝලා කර්මාන්තශාලාව වසා දැමීමෙන් වසර කීපයකට පස්සෙ නැවතත් මේ ගමේ වතුර බොන්න පුළුවන් තරම් පිරිසිදු වෙන්න පටන් ගන්නවා. කොකාකෝලා කියන්නෙ ඇල් කොහොල්වලට වඩා හානිකර බීමක් බව කවුද නොදන්නෙ. මේ ලෝකයේ පරිසර දූශණයට වගකිවයුතු ප්‍රධානම සමාගම් දෙක නෙස්ලේ සහ කොකාකෝලා. එයිනුත් කොකාකෝලා පරිසර දූශනය අතින් වගේම සෞඛ්‍යයට හානිකිරීම අතින්ද පසුවන්නේ ඉදිරියෙන්. එක කොකාකෝලා ලීටරයක් නිපදවන්න අඩුම තරමෙ වතුර ලීටර් තුනක්වත් අවශ්‍යයි.

    කොකා කෝලා නිපදවා බැහැරකරන අපිරිසිදු ජලයේ රසායනික සංගටක විශාල ප්‍රමාණයක් අඩංගුයි. (Sugar Residues- Sucrose high Fructose corn syrup, Sodium hydroxide, Caustic soda , Potassium Sorbet, BOD etc ) අද කොකාකෝලා ලීටරයක මිල පිරිසිඳු වතුර ලීටරයක මිළට වඩා අඩුයි මධ්‍යම හා දකුණු ඇමරිකානු රටවල් බොහොමයක වගේම අප්‍රිකානු රටවලත්. වතුර වෙනුවට කොකාකෝලා .. කුඩා දරුවන් වගේම තරුණ පරපුරත් කොකාකෝලාවට ඇබ්බැහිවෙනවා. අවාසනාවකට විවිධ රටවල සමාජ ක්‍රියාකාරීන් කොකාකෝලා හෝ මැක්ඩොනල්ඩ්වට විරුද්ධව හඬ නගන්නෙ නැහැ.

    කොකා කෝලා නිපදවා බැහැරකරන අපිරිසිදු ජලයේ රසායනික සංගටක විශාල ප්‍රමාණයක් අඩංගුයි. (Sugar Residues- Sucrose high Fructose corn syrup, Sodium hydroxide, Caustic

    ලෝක පරිසර සමුළු හෝ සම්මන්ත්‍රණ සඳහා අනුග්‍රහය දක්වන්නෙ නෙස්ලේ වැනි සමාගම්. පරිසර ක්‍රියාකාරීන්ට විදේශ පරිසර සමුළුවලට සහභාගීවීමේ අවස්ථාවන් යෝජනා කරන්නෙත් කොකා කෝලා හෝ නෙස්ලේ වැනි සමාගම් විසින්. ඒත් එක්කම පරිසර දූශණය ගැන.. වනාන්තර ගැන කතා කරන ක්‍රියාකාරීන්ට සම්මාන හා නම්බු නාම දෙන්න අනුග්‍රහය දක්වන්නෙත් මේ සමාගම් විසින්ම වීම තරම් විහිළුවක් තවත් තියෙනවද.?

    මේ එක්තරා ආකාරයක ගනුදෙනුවක්. ශාන්ති සෙන්තිල්කුමාර් ගැන අන්තර් ජාලයේ හෝ සමාජ මාධ්‍යයේ තොරතුරු හොයාගන්න අපහසු ඇයි.? ප්ලාචිමඩා ගම්මානයේ අරගලය ගැන තොරතුරු මාධ්‍යයේ වාර්ථා නොවන්නෙ ඇයි.? කාට හෝ එහෙම හිතෙනවා නම් ඒක පුදුමයක් නෙවෙයි. අද ශාන්ති රජයේ සෞඛ්‍ය සේවිකාවක්. විශේෂයෙන් දරුවන්ගෙ සෞඛ්‍ය ගැන ඇය උනන්දුයි. ඒත් එක්කම කොකා කෝලා සමාගමෙන් සම්පූර්ණ වන්දි මුදල ලබාගන්න සටන ශාන්ති තවමත් අතෑරලා නැහැ.

    මෙවැනි විනාශකාරී බීම ගැන ඇය තරුණ පරපුර දැනුවත් කරනවා. අත් හැර දැමූ කර්මාන්ත ශාලාව 2020 කෝවිඩ් සමයේදී ප්‍රතිකාර මධ්‍යස්තානයක් බවට හැරවීමේ කාර්යයේදීත් ශාන්ති ලොකු වැඩ කොටසක් ඉටුකරනවා. කොකා කෝලා.. පෙප්සි.. නෙස්ලේ වැනි සමාගම් ගැන කතා කරන්න හැමෝම බයයි. එහෙම වෙන්නෙ කොහොමද… මේ අපේ ගම් බිම්.. අපි බොන වතුර ටික.. අපි වගාකරන බිම…ඒ අයිතිය ගැනවත් කතාකරන්න අපි බයනම්, අපේ මනුස්සකමෙන් තියන ප්‍රයෝජනය මොකද්ද.. ශාන්ති ප්‍රශ්ණ කරනවා. කොකා කෝලා පරදවපු ශාන්ති සෙල්තිකුමාර් වැනි කාන්තාවන් වඩාත් අවශ්‍ය යුගයකයි අපි ජීවත්වන්නේ.

    ස‍ටහන උපුටා ගැනීම : Malcolm Sang මුහුණු පොතෙන්

    LEAVE A REPLY

    Please enter your comment!
    Please enter your name here