සිවානු ලෙච්චුමනන්; මලෛයහ දෙමළ ජනයාගේ බිම් කඩක අයිතිය වෙනුවෙන් දිවි දීම – 48 වැනි මතක ආවර්ජනය | ඉෂංඛා සිංහආරච්චි

    0
    22

    මලෛයහ දෙමළ ජනතාවගේ දෙසිය වසක ඉතිහාසය මෙන්ම  සමාජ දිවියද මල් ඇතුරූ මාවතක නොවිණි. සෑම අයිතියක්ම දිනා ගැනීමට ජීවිතයත් හා මරණයත් අතර අරගලක යෙදෙන්නට  මේ සියවස් දෙක පුරාම ඔවුන්ට සිදුවිණි.


    බ්‍රිතාන්‍ය යටත්විජිත පාලකයන් ඉදිකරදුන්  කුඩා ලයින් කාමරවලින් ඔබ්බට විත් තමන්ගේම වූ බිම් කඩක, නිවසක දිවි ගෙවන්නට ඔව්හු සිහින දුටුහ. ඒ වෙනුවෙන් අරගල කළහ. මලෛයහ දෙමළ ජනයාගේ ඉඩම් අයිතිය වෙනුවෙන් වූ  අරගලයේ  ප්‍රධාන සන්ධිස්ථානයක් සටහන් වන්නේ 70 දශකයේ අග බාගයේය. එවකට පැවති සිරිමා බණ්ඩාරනායක ආණ්ඩුව විසින් වතුකරයේ  තේ වගා නොකරන ඉඩම් සිංහල ගැමියන් අතර බෙදා දීමේ ව්‍යාපෘතියක් දියත් කරමින් තිබිණි.

    ඊට එරෙහිව පැන නැගුනු අරගලයේදී  සිවන් ලක්ෂුමන් තරුණ වතු කම්කරුවා පොලිස් වෙඩි පහරින් මරා දමා අදට 48 වසකි. ඊට දශක කිහිපයක් අවෑමෙන්  මලෛයහ දෙමළ ජනයාගේ ඉඩම් අයිතිය පිළිගත් ආණ්ඩු පර්චස් 10 බැගින් ලබා දීමට තීරණය කෙරිණි. එහෙත් එය ක්‍රියාවට නගද්දී ඔවුන්ට ලැබුනේ පර්චස් 07 කි. මේ ඉඩම් බොහොමයකටම අයිතිය කියන්නට කම්කරුවන්ට ඔප්පු ලබා දී නොමැත. වත්මන් ජාතික ජනබලවේග ආණ්ඩුවේ වැවිලි කර්මාන්ත ඇමැති සමන්ත විද්‍යාරත්න පාර්ලිමේන්තුවේදී කියා සිටියේ මලෛයහ ජනයාට පර්චස් 10 ක බිම් කඩක් ලබා දෙන බවය. එය ඔවුන්ට ලස්සන ජීවිතයකට එක් පියවරක් වනු නිසැකය.

    `අපේ කඩුව -කොබ්බෑ කඩුව`    

    1970 සහ 77 අතර කාලයේ ඉඩම් ප්‍රතිසංස්කරණ නිතිය පැනවීමෙන්  පසු  කාලය තුළ මලෛයහ දෙමළ ජනයාට එරෙහිව සංවිධානාත්මක මැර ප්‍රචණ්ඩත්වය  මුදා හැර තිබිණි. 1972 අංක 1 දරන ඉඩම් ප්‍රතිසංස්කරණ නීතිය යටතේ, ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිෂන් සභාවට පවරා ගැනුනේ අක්කර 50 ඉක්ම වූ ඉඩම්ය. ඉඩම් ප්‍රතිසංස්කරණ නීතියට 1975 දී  එක් කළ  සංශෝධනයක් මගින් විදේශීය සමාගමකට අයත් වතු ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිෂන් සභාව යටතට මෙසේ ගෙන එන ලදී.

    1970 මහ මැතිවරණයෙන් ජය ගත් ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂය, ලංකා සමසමාජ පක්‍ෂය සහ ශ්‍රි ලංකාවේ කොමියුනිස්ට් පක්‍ෂය ප්‍රමුඛ තුන් හවුල නොහොත් සමගි පෙරමුණ මේ වන විට බිඳ වැටී අවසන්ය. සමසමාජය හා කොමියුනිස්ට් පක්‍ෂය ආණ්ඩුවෙන් ඉවත්ව පැවතියේ තනි ශ්‍රීලංකා නිදහස් පක්‍ෂ ආණ්ඩුවකි.

    ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ දේශපාලනඥයන් පාර්ලිමේන්තුවේදීත්, ඉන් පිටතදීත් කළ කතාවලදී කියා සිටියේ මීට වසර සියයකටත් පෙර යටත්විජිත පාලකයන් විසින් සිංහල ගොවීන්ගෙන් පැහැරගත් ඉඩම්, ඉඩම් ප්‍රතිසංස්කරණ නීතිය මගින් ඔවුන්ට යළි ලබාදුන් බවයි. මේ ගැටුමට නායකත්වය දුන් ඉඩම් අමාත්‍ය හෙක්ටර් කොබ්බෑකඩුව, මලෛයහ දෙමළ ජනතාව හා ඔවුන්ගේ නායකයින් පාර්ලිමේන්තුවේදී හෙළා දුටුවේය. පාර්ලිමේන්තුවෙන් පිටත ඔහුගේ සෑම කතාවකම  මලෛයහ දෙමළ ජනයාට එරෙහිව වෛරී ස්වරයක් පෙන්නුම් කළේය. එබැවින් සිංහල ජනතාව අතරද කෝපය උත්සන්න විය. ඉඩම් ප්‍රතිසංස්කරණ නීතිය ක්‍රියාත්මක වූ දිනයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරු විසින් ආණ්ඩුවේ ප්‍රසිද්ධ වැඩ දෙපාර්තමේන්තුවේ ලොරි වලින් මැරයන් වතුකරයට රැගෙන ගිය අතර මැරයෝ දුටු දුටු සෑම කම්කරුවෙකුටම පහර දුන්නෝය.

    ලයින් කාමරවලට පැන පහර දුන් මේ දේශපාලන මැර සේනා මලෛයහ දෙමළ ජනයාගේ සොච්චම් දේපළ පවා කොල්ල කෑහ. එවක ගම්පොළ පාර්ලිමේන්තු මන්ත්‍රී ඩි.එම්. ජයරත්න [ පසුව රාජපක්‍ෂ පාලන සමයේ දී මොහු අග්‍රාමාත්‍යධූරය හෙබවීය] වාග් ප්‍රහාරවලදී ඉතාමත් ඝෝෂාකාරී වෙමින් මලෛයහ දෙමළ ජනයාට භෞතිකව ප්‍රහාර එල්ල කරන්නට ද ඔහු වී ඇත. මේ මැර සේනා වතු පුරා ගමන් කළේ  “අපේ කඩුව – කොබ්බෑකඩුව“ ලෙස සටන් පාඨ උස් හඬින් කියමින්ය.

    මලෛයහ දෙමළ ජනයාට එරෙහිව ශාරීරික හිංසනය නරක අතට හැරුණේ 1972 හා 1975 අතර කාලයේ ආන්ඩුවේ “කප්පාදු” වෙන් දිවයින පුරා හටගත් ආහාර හිඟය හේතුවෙනි. ආහාර හිඟය වතුකරයට එල්ල කෙළේ දැඩි බලපෑමකි. එය කෙතරම් උග්‍ර වූවාද කිවහොත් බොහෝ පුද්ගලයින්, විශේෂයෙන් වැඩිහිටි පිරිමින් සහ කාන්තාවන් කුසගින්නෙන් මිය ගියහ.  

    මේ සාගතය තුල මලෛයහ ජනයා තම දේපළ ටික විකුණා ගැනීමට නැත්නම් පාරේ සිඟමන් යැදීමට අවට නගරවලට ඇදී එන අයුරු නිරීක්ෂණය කළ හැකි විය. මෙම ශෝචනීය අවස්ථාවෙහිදී පවා වෙළඳුන් ඔවුන්  සූරාකෑමට ලක් කළ අතර දේශපාලනඥයෝ මේ මගින්  දේශපාලන වාසි ලබා ගැනීමට උත්සුකවුහ.

    ඉඩම් ප්‍රතිසංස්කරණ නීතිය යටතේ අත්පත් කරගත් ඉඩම්වලින් කොටසක් බෙදා දෙන ලද්දේ ශ්‍රීලනිපයේ සිංහල දේශපාලන ආධාරකරුවන් අතරය. වතුකරයේ පදිංචියට පැමිණි මෙම පිරිස ශ්‍රීලනිප රජය පැවති කාලය පුරාවටම වතුකරයේ දෙමළ ජනතාවට හිරිහැර කළහ.


    වතු කම්කරුවන්ට එරෙහි ප්‍රචණ්ඩත්වය

    එම කාලය තුළ දරුණුතම ප්‍රචණ්ඩ ක්‍රියා සිදු වූයේ 1976 දී ගම්පොළ ඩෙල්ටා සහ සංගුහාර් වතුවල දෙමළ කම්කරුවන්ට එරෙහිවය. එහිදී යළිත් වරක් ගම්පොළ මන්ත්‍රී ඩි.එම්. ජයරත්න මෙම ප්‍රහාර මෙහෙයවීය. ආයුධ සන්නද්ධව මෙම වතුවලට ඇතුල්වූ මැරසේනා කාන්තාවන් සහ ළමයින් ඇතුළු කම්කරුවන් ඔවුන්ගේ ලයින් කාමරවලින් පිටතට ඇද දමා අමානුෂික ලෙස පහර දුන්හ. බොහෝ කම්කරුවන් බරපතල තුවාල ලැබීය.

    එපමණක් නොව මැරයන් වත්තේ සිටි හරකුන්, එළුවන් හා කුකුලන් මරාදමා ලයින් කාමර ගිනිබත් කළේය. වැරදිකරුවන්ට එරෙහිව කිසිදු නීතිමය පියවරක් නොගෙන කම්කරුවන් හානිපුර්ණය ලබා නොදුන් ආණ්ඩුව මෙම වතු දෙක අවට ඉඩම් අක්කර 10,000ක් තම පාක්ෂික සිංහල ජනයා වෙත  ලබා දීමට කටයුතු කෙරිණි. නමුත් සංවිධානය වූ  මලෛයහ කම්කරුවන්ගේ  විරෝධය හමුවේ ඉඩම් බෙදා දීම සඳහා මැනීම වැළැක්වීය.

    නුවරඑළිය-මස්කෙළිය මැතිවරණ කොට්ඨාශය නිර්මාණය කරන ලද්දේ අගමැතිනි සිරිමා බණ්ඩාරනායකගේ පුත් අනුර බණ්ඩාරනායක පාර්ලිමේන්තුවට තෝරා පත් කර ගැනීමේ අරමුණු මැතිවරණ ව්‍යාපාරය ද දියත් වුයේ  උඩරට සිංහල -බෞද්ධ හැඟීමකින් යුතුව ය.

    “මෙය ඉතා හොඳින් තේරුම් ගෙන ඒ අනුව ක්‍රියා කළ අනුර, ඔහුගේ ජාතිවාදී ස්වරූපය ප්‍රසිද්ධියේ පෙන්නුම් කරමින්, උඩරට සිංහල වීරයෙකු ලෙස පෙනී සිට මලෛයහ දෙමළ ජනතාවට ජාතිවාදී අපහාස එල්ල කළේය. ඔහුට සහාය දක්වමින්, ඔහුගේ මාමණ්ඩියක වූ තවත් ‘උඩරට සිංහල වීරයෙකු’ වන කොබ්බෑකඩුව, උඩරට සිංහලයන්ට අයත් භූමිය නැවත ලබාගෙන සිංහල ජනතාවට බෙදා දීමට බාධා කරන්නට කිසිවෙකුට ඉඩ නොතබන බවද පැවසුවේ තොණ්ඩමන්ට අභියෝග කරමින්.

    `එයාගේ වැඩ නවත්වන්නේ නැත්නම් එයාට ඉතුරු වෙලා තියෙන අක්කර 52 ඉඩම් ටික රජයට පවරාගෙන මේ රටින් පිටුවහල් කරන්න දැඩි ක්‍රියා මාර්ග ගන්න වෙයි.` එහෙත් මෙහිදී පහර දුන්නේ තොණ්ඩමන්ට නොවේ. කඳුකරයේ කම්කරුවන්ට ය.” යනුවෙන් කඳුකරයේ වෘත්තීය සමිති හා දේශපාලන නායකයෙකු වූ බී.ඒ. කාදර් සිය මතක සටහනක දක්වා තිබිණි.

    මෙසේ ඉඩම් කැබලි කොට සිංහල ජනයා අතර බෙදා දීම මගින් තමන්ගේ ජීවනෝපාය  අහිමි වීමේ තර්ජනයක් ඇති වේ යැයි වතු කම්කරුවන්ට හැඟුණු බැවින්, වෘත්තීය සමිති ඉක්මවා යමින් කඳුකරය පුරා විරෝධතා පැන නැගිණි. මෙම අරගලය හරහා කඳුකර ජනතාවගේ ඉඩම් අත්පත් කර ගැනීම තාවකාලිකව නතර විය.

    ලෙච්චමනන්ට පොලිස් වෙඩි ප්‍රහාර

    1977 මැයි 11 වැනිදා තලවාකැලේ ඩෙවොන් වත්තේ ඉඩම් අත්පත් කර ගැනීමට එරෙහිව පැවති විරෝධය මර්දනයට පැමිණි පොලිසිය, එම ස්ථානයෙන් ඉවත්වන ලෙස දැන්විය. එහෙත් ඉවත්වීම ප්‍රතික්ෂේප කළ කම්කරුවන් වෙත එල්ල කළ පොලිස් වෙඩි පහරින් වටගොඩ ඔක්ෆෝඩ් වත්තේ සිවනූ ලෙච්චුමනන් නමැති තරුණ කම්කරුවා ඝාතනය කළේය. බී. ඒ. කාදර් සහ ඩී. අයියාතුරෛ යන දෙදෙනාම වාර්තා කොට ඇත්තේ ඔහු ජාතික කම්කරු සංගමයේ සාමාජිකයෙකු බවය.

    ලෙච්චුමනන් ඝාතනය මුළු කඳුකරයම ගිනියම් කරන්නට විය. වතුකරයේ සියලුම වතුවල කම්කරුවන් වැඩ වැරුහ. අවසානයේ පරාජය පිළිගත් ආණ්ඩුව ඉඩම් බෙදාදීමේ නියෝගය අවලංගු කළේය.

    වෙඩි තැබීමේ සිද්ධියට එරෙහිව කම්කරුවන්, ගොවීන්, බුද්ධිමතුන් සහ සිසුන් ඇතුළු විවිධ පුද්ගලයින් කඳුකරයේ විරෝධතාවලට එක් වූහ. හැටන් හයිලන්ඩ් සහ බොස්කෝ විද්‍යාල සිසුන්ගේ විරෝධතාවය මෙන්ම නාවලපිටියේ සිසුන්ගේ විරෝධතාවය ආණ්ඩු විරෝධී රැල්ලක් බවට පෙරළුනි.  සිසු උද්ඝෝෂණයන්ට සහාය දුන් ගුරුවරු පැය 24 ක් ඇතුලත වෙනත් ප්‍රදේශ කරා මාරු කරනු ලැබුවේ දේශපාලන පලිගැනීම් ලෙසය.

    එහෙත් එහි වාසිය අත්පත් කර ගත්තේ කඳුකරයේ වෘත්තීය සමිති දේශපාලනයේ යෙදුනු ලංකා කම්කරු කොංග්‍රසය හා එක්සත් ජාතික පක්‍ෂ නායකත්වය ය.

    ලේච්චුමනන් ඝාතනය කර දෙමසක් ගතවීමෙන් අනතුරුව ආණ්ඩුව විසුරුවා මහ මැතිවරණයක් කැඳවිණි. එහිදී එක්සත් ජාතික පක්‍ෂය මැති සබේ දැවැන්ත බලයකට හිමිකම් කිව් අතර ලංකා කම්කරු කොංග්‍රසය ද පසුව එහි හවුල් කරුවෙකු විය.

    දේශීය හා විදේශීය ප්‍රතිගාමී බලවේගවල සහාය ඇතිව බලයට පත් එක්සත් ජාතික පක්‍ෂය විසින් ගෝලීයකරණය වූ ආර්ථිකයක් ක්‍රියාත්මක කිරීමේ උත්සාහයන් ඉතා සැලසුම් සහගත අයුරින්  සිදු කෙරිණි. කෘෂිකාර්මික ඉඩම් අත්හැර දමා නිදහස් වෙළඳ කලාප හඳුන්වා දෙන ලදී. මෙම සියලු උත්සාහයන්, විදේශීය සහ දේශීය ඉහළ පන්තිවල අභිලාෂයන් ඉටු කිරීම අරමුණු කරගත් ඒවා විය.

    ඒ හා සමානව, විදේශීය සහ දේශීය ප්‍රභූන්ගේ සුඛ විහරණය වෙනුවෙන් ධනය රැස් කිරීම සඳහා රට විවෘත කළ යු.එන්.පී. ආණ්ඩුව කඳුකර ජනතාවට එරෙහිව ඔවුන්ගේ වාර්ගික මෙන්ම ජාතික අනන්‍යතාවයද  විනාශ කිරීමට පියවර ගත්තේය.


    එහෙත් සියවස් දෙකක් පුරා ගෙන ගිය අරගලයේ යම් ජයග්‍රහණයක් ලෙසත්, මලෛයහ දෙමළ ජනයාගේ බිම් කඩක අයිතිය වෙනුවෙන් දිවි දුන් ලෙච්චුමනන්ට සාධාරණයක් ලෙසත්, අද පර්චස් 10 ක හෝ බිම් කඩක අයිතිය දිනා ගෙන තිබේ.

    “1976 මාර්තු මාසයේදී කොත්මලේ පාර්ලිමේන්තු මන්ත්‍රී වීරසේකර මහතාගේ ප්‍රධානත්වයෙන් යුත් කමිටුවක් බව පවසමින් පිටස්තර පුද්ගලයන් විසින් පුන්ඬළුඔය චොයිසි වත්තට පහර දුන්නා. කම්කරුවන් වතුයායෙන් එළෙව්වා.ඒ  කමිටුව “ජනතා කමිටුව“ කියලා වත්ත බෙදා ගත්තා. බලපොකුණ වතුයායේ කම්කරුවන්ට ද අත්වුණේ ඒ ඉරණමයි. ගම්පොළ ඩාට්‍රි සහ ඔරියන් වතුවලින් ද, මූල්ගම වතුයායෙන් ද, කම්කරුවන්ව ඒ විදිහටම පන්නා දැම්මා. 1976 මැයි මාසයේදී සංගුහාර් සහ ඩෙල්ටා වතුවලින් කම්කරුවන් නෙරපා, ඒ  වතු සිංහල ජනපදිකයන්ට  බෙදා දීම අරමුණ වී තිබුණා. ඒ අවනීතියට අනුවයි මහනුවර උඩුවෙල හා  කෑගල්ල කරඬුපොන වතු වල කම්කරුවන්ටත් සැලකුවේ.“ යැයි  ලංකා කම්කරු කොංග්‍රසයේ වතු  වෘත්තීය සබඳතා නිලධාරියෙකු වූ  එම්. කේ. සුබ්බයියා කම්කරුවන්ට පහර දීම ගැන පසු කලක සන්සෝනි කොමිසම හමුවේ සඳහන් කළේය.

    (සටහන | ඉෂංඛා සිංහආරච්චි)
    නිදහස්  මාධ්‍යවේදිනි
    [email protected]

    [මෙම ලිපිය ‘සිළුමිණ’ පුවත් පතේ පළ වුවකි]

    [මුලාශ්‍ර; බී.ඒ. කාදර් / දෙමළ තොරතුරු මධ්‍යස්ථානය- එක්සත් රාජධානිය/ 1984  – මායන්  විජේ /  Where Serfdom Thrives -The Plantation Tamils of Sri Lanka/ 1987 ]

    මෙම ලිපිය නිදහස් ලේඛකයෙකු/ලේඛිකාවක විසින් සම්පාදනය කර ඇති අතර ලිපියේ අන්තර්ගත කරුණු, තොරතුරු, සංඛ්‍යාලේඛන සහ මූලාශ්‍ර වල නිරදව්‍යතාවය පිළිබඳව වගකීම එම ලේඛකයා/ලේඛිකාව විසින් දරනු ලබයි.

    LEAVE A REPLY

    Please enter your comment!
    Please enter your name here