– තමන්ගේ රට නියෝජනය කරමින් දක්ෂතා පෙන්වන්න යහපත් මානසික තත්ත්වයක් තියෙන්නම ඕන
– Ms. Global International – 2025 තරගය සඳහා ඉදිරිපත් වන තරගකාරිනිය තේරීමේ අවස්ථාව මට ලැබුණා කියන්නෙම දෛවෝපගත සිද්ධියක්
ඇය නේපාලයේ කත්මණ්ඩු නුවර පැවති Ms.Global International -2024 තරගයේ ජයග්‍රාහිකාවයි. රටවල් විසිදෙකක තරගකාරිනියන් හා තරග කරමින් ලෝකය ඉදිරියේ ශ්‍රී ලංකා නාමය බබළවන්නට සමත් වූ ඇය වරුණි රණතුංගය.
මෙවර පැවැත්වෙන Ms.Global International -2025 තරගයේ ජාතික අධ්‍යක්ෂවරිය ලෙස කටයුතු කිරීමට ද ඇය වාසනාවන්ත වූවාය. මෙවර පැවැත්වෙන Ms. Grand Universe – 2025 තරගය ඇතුළුව තවත් ජාත්‍යන්තර තරග ත්‍රිත්වයකම ජාතික අධ්‍යක්ෂවරිය ලෙස කටයුතු කරන ඇය නුදුරේදී පැවැත්වීමට නියමිත Ms. Grand Universe – 2025 තරගය සඳහා සූදානම් වෙමින් සිටියදී අප හා අදහස් බෙදා ගත්තාය.

“මෙවර පැවැත්වෙන Ms. Grand Universe – 2025 තරගයේ ජාතික අධ්‍යක්ෂිකාව විදිහට කටයුතු කරන්නේ මම. ඒක මට ලැබුණු සුවිශේෂී අවස්ථාවක් කිව්වත් හරි. ලබන මාසේ ඔඩිෂන් පවත්වන්න සූදානමින් මේ වනවිටත් ෆේස්බුක් හරහා ඒ සම්බන්ධයෙන් දැනුම්වත් කරමින් යනවා. තරගකාරිනියන්ගේ උස, බර සහ දැනුම පිළිබඳව අපි විශේෂ අවධානයක් යොමු කරනවා. ඕනෑම කෙනෙකුගේ දක්ෂතාව කියන එක ටැලන්ට් රවුන්ඩ් එකේදී කොහොමත් එළියට එනවා. ඒ තරගයත් එක්ක තමයි මේ දවස්වල ටිකක් කාර්යබහුල වෙලා ඉන්නේ.“
ඒ හැරුණුකොට මෙවර තවත් ජාත්‍යන්තර තරග ත්‍රිත්වයකම ජාතික අධ්‍යක්ෂවරිය ලෙස කටයුතු කරන බව ද ඇය අප හා පැවසුවාය.
“Ms.Grand Universe – 2025 පැජන්ට් එකට අමතරව තවත් ජාත්‍යන්තර පැජන්ට් තුනක ජාතික අධ්‍යක්ෂවරිය විදිහට කටයුතු කරන්න අවස්ථාව ලැබිල තියෙනවා. ඒ වගේම Ms. Global International – 2025 තරගය සඳහා ඉදිරිපත් වන තරගකාරිනිය තේරීමේ අවස්ථාව මට ලැබුණා කියන්නෙම දෛවෝපගත සිද්ධියක් විදිහටයි මං දකින්නේ. හේතුව Ms. Global International – 2024 කිරුළේ හිමිකාරිය මම. මෙවර කිරුළත් අපේ රටටම ගේන්න උපරිමයෙන්ම කැපවෙනවා. ඊට අමතරව Ms. Icon International තරගය වගේම Mrs. Earth International තරගයේ ජාතික අධ්‍යක්ෂවරියගේ වගකීම දරන්නෙත් මම. ඒකත් ලොකු වගකීමක්. ඊට අමතරව මෙවර මැලේසියාවේ පැවති Ms. Petite Global ජාත්‍යන්තර තරගයේ ජාතික අධ්‍යක්ෂිකාව ලෙස කටයුතු කරමින් ශ්‍රී ලංකාවට ජයග්‍රහණය ලබාදෙන්නත් කටයුතු කළා. මේ හැම තරගයකටම රටවල් පනහකට වඩා ඉදිරිපත් වීම තමයි අපට තියෙන ලොකුම අභියෝගය.“

දැන් දැන් පැෂන් එකක් බවට පත්ව තිබෙන බියුටි පැජන්ට් සංකල්පය පිළිබඳව තරගකාරිනියක් මෙන්ම ජාතික අධ්‍යක්ෂවරියක් ලෙස ඇය දැක්වූවේ මෙවන් අදහසකි.
“ඇත්තටම මේ බියුටි පැජන්ට් සංකල්පය ගැන මිනිස්සුන්ගේ හිතේ ඇඳිලා තියෙන්නෙ හොඳ ආකල්පයක් නොවෙයි කියන එක බොහෝ අවස්ථාවල පැහැදිලි වෙලා තියෙනවා. සමහර අය මේක වැරදි විදිහට භාවිත කරන නිසා මේකෙ ඇතුළෙ ඉන්නෙ උගත්කමක් නැති, අධ්‍යාපන මට්ටමක් නැති කොටසක් කියන එක බොහෝ දෙනෙකුගේ හිතේ ඇතිවෙලා තියෙනවා. අන්න ඒ ආකල්පය වෙනස් කරලා මේ තුළ ඉන්නෙ හොඳ අධ්‍යාපන මට්ටමක් තියෙන, මේ විෂය පිළිබඳ හොඳ දැනුමක්, අවබෝධයක් තියෙන පිරිසක් බව කියන්නයි මට ඕන.
ජාතික අධ්‍යක්ෂවරියක් විදිහට තමන් යටතේ පුහුණුවන තරගකරුවන්ට ජාත්‍යන්තරය පිළිගත් සහතිකයක් නිකුත් කිරීම ගොඩක් වැදගත්. රජයේ ලියාපදිංචි ජාත්‍යන්තරය පිළිගත් සහතිකයක් තමයි මම නිකුත් කරන්නේ. අවසන් වටයෙන් ජාත්‍යන්තර විනිසුරුවන්ගේ විනිශ්චයෙන් සුදුසුකම් ලබන තරගකාරිනියන් තමයි රට නියෝජනය සඳහා තේරෙන්නේ. මේ බියුටි පැජන්ට් සංකල්පය, මේ සංස්කෘතිය වෙනස්ම පැත්තකට ගෙනයෑම තමයි මගේ අදහස.
සාමාන්‍ය මේක් අප් එකක් කරන විදිහ, ව්‍යායාම ක්‍රම වගේම පෞරුෂ වර්ධනය වගේ රටක් නියෝජනය කරන්න අවශ්‍ය සියලුම දැනුම සහ අවබෝධය විශේෂ වැඩමුළු හරහා අපි ඔවුන්ට ලබාදෙනවා. අවසන් වටයේ ජයග්‍රාහිකාවන්ට රට නියෝජනය කිරීමේ අවස්ථාව වගේම ඉතාලි සවාරියක් ලබා දෙන්නත් අපි කටයුතු කරනවා.“
ලබන මස කොළඹදී පැවැත්වීමට නියමිත Ms.Grand Universe – 2025 තරගය, තරග වට ගණනාවකින් සමන්විතය. විවාහක, අවිවාහක, අවුරුදු 20ට අඩු වශයෙන් තරග අංශ කිහිපයකින් හා මිනි පැජන්ට් ගණනාවකින් යුක්ත බව ද ඇය පැවසුවාය.
“කැට් වෝක් එක පුහුණු කරන්නේ මම. පෞරුෂ වර්ධනය වගේම කායික, මානසික තත්ත්වය වැඩිදියුණු කරගන්න විදිහත් අපි පුහුණු කරනවා. ඒ වගේම ඔවුන්ට තියෙන ඕනෑම ගැටලුවක් නිරාකරණය කරගන්න විදිහ ගැනත් අපි උපදෙස් දෙනවා. ලෝකයක් ඉදිරියේ තමන්ගේ රට නියෝජනය කරමින් දක්ෂතා දක්වන්න නම් යහපත් මානසික තත්ත්වයක් තියෙන්නම ඕන. මේ හැමදේම හොඳින් සමබරව පවත්වාගන්නත් අපි පුහුණු කරනවා. ඇත්තටම මේ වගේ පැජන්ට් එකකට ඉදිරිපත් වෙනවා කියන්නෙත් තමන්ගේ අනාගත ජීවිතය යහපත් කරගැනීමක්.“
නාමලී ගමගේ