හිසරදයේ සිට කාංසාව දක්වා වන ආතතියට සම්බන්ධ විවිධ රෝග ලක්ෂණ බොහෝ වැඩිහිටියෝ නිරතුරුව ම අත්දකිති.
ආතතිය යම් දුරකට ප්‍රයෝජනවත් වුව ද, නිදන්ගතව පවතින ආතතිය නිසා ශරීරයට හානියක් විය හැකි ය.
එය ඍජුව ම මානසික හා කායික ආබාධයන්ට තුඩුදිය හැකි බව වෛද්‍ය විශේෂඥයින් පෙන්වා දෙයි. මානසික හා කායික නිරෝගීතාවට අනර්ථකාරී වන ආතතිය මගින් ජීවන තත්ත්වය පහළ දමයි.
එනමුත්, පාලනය සියතට ගෙන ආතතිය යනු වෙහෙසකාරී නොවන, ඔරොත්තු දීමේ හැකියාව වැඩිදියුණු කරන්නක් බවට පත් කිරීමේ හැකියාවක් ද පුද්ගලයෙකුට පවතී.
ආතතිය යනු කුමක් ද? අප ඊට ගොදුරු වන්නේ ඇයි?

ආතතිය යනු, අභියෝගයන්ට සහ අපේක්ෂාවන්ට ප්‍රතිචාර දැක්වීම සඳහා ශරීරය සූදානම් කරන ස්වභාවික ප්‍රතික්‍රියාවකි.
ඉදිරියේදී ඇති විය හැකි දුෂ්කර අවස්ථාවකට මුහුණ දීම සඳහා ශරීරය සූදානම් කරන හෝමෝන මුදාහැරීම ආතතියෙන් ප්‍රේරණය කෙරේ.
කෙටිකාලීනව ගත් කල, මෙම ප්‍රතිචාර දැක්වීම මගින් කිසියම් දෙයක් කෙරෙහි අවධානය යොමු කිරීම සහ ඒ පිළිබඳ ක්‍රියාකාරීත්වය ඉහළ නංවයි.
නමුත්, දිගින් දිගට ම ආතතියෙන් සිටීම නිසා කාංසාව, හදවත් රෝග මෙන් ම ප්‍රතිශක්තිය දුර්වල වීම වැනි බරපතළ සෞඛ්‍ය ගැටලු ඇති වන බව ඇමෙරිකානු මනෝවෛද්‍ය සංගමය පවසයි.
රැකියාව, මුදල් ආශ්‍රිත ගැටලු සහ පෞද්ගලික සබඳතා වැනි ආතතිය ඉහළ නංවන හේතු බොහෝවිට වැළැක්විය නොහැක. මෙහිදී ප්‍රධානතම වෙනස වන්නේ, ආතතිය පවතින කාලසීමාවයි. උග්‍ර ආතතිය කෙටිකාලීන වන අතර, එය ප්‍රතිලාභ සහිත ය. එහෙත් නිදන්ගතව පවතින ආතතිය ශරීරයට දීර්ඝ කාලීන පීඩා ඇති කරයි.
උග්‍ර ආතතිය සහ නිදන්ගත ආතතිය අතර වෙනස

“උග්‍ර ආතතිය කියන්නේ සුවිශේෂී අවස්ථාවකට ප්‍රතික්‍රියාවක් වෙන කෙටිකාලීන එකක්. සමහර අවස්ථාවලදී එය ප්‍රයෝජනවත් වෙන්න පුළුවන්,” මනෝචිකිත්සකවරියක සහ උපදේශනය හා මනෝචිකිත්සාව පිළිබඳ බ්‍රිතාන්‍ය සංගමයේ සාමාජිකාවක වන රැචල් වෝරා බීබීසී වෙත පැවසුවා ය.
“ඇඩ්‍රිනලින් සහ කෝටිසෝල් මුදාහරිමින් එය සටන් කිරීම හෝ පැන යාම යන දෙකින් එකකට ප්‍රතිචාර දක්වනවා. එමගින් අපට අවධානය තියුණු කර ගන්නත්, ප්‍රතිශක්තීකරණය තාවකාලිකව ඉහළ නංවා ගන්නත් හැකි වෙනවා.”
නිසි පරිදි පාලනය කර ගතහොත් උග්‍ර ආතතියෙන් කිසිදු දීර්ඝකාලීන පීඩාවක් හට නොගන්නා අතර, හදිසි අභියෝගවලට සාර්ථකව මුහුණ දීමේ හැකියාව පුද්ගලයින්ට එමගින් ලබා දේ. නමුත්, කලක් තිස්සේ පවතින ආතතිය නිසා ශරීරයට දීර්ඝකාලීනව බලපාන පීඩා ඇති කරයි.
දිගු කාලයක් තිස්සේ පවතින ආතතිය නිසා ඉහළ යන ආතතියට සම්බන්ධ හෝමෝන මට්ටම්වලින් හදවත් රෝග හටගැනීමේ අවදානම ඉහළ යන අතර, ප්‍රතිශක්තීකරණ පද්ධතිය දුර්වල කිරීමත්, ආහාර ජීර්ණ ක්රියාවලියෙහි ආබාධ, එනම් පීඩාකාරී බඩවැල් රෝගය (irritable bowel syndrome – IBS) සහ ආමාශයේ තුවාල හටගැනීම ද සිදුවිය හැකි බව වෝරා පැහැදිලි කළා ය.
කාංසාව සහ විශාදය කෙරෙහි නිදන්ගත ආතතියෙන් ඇති කෙරෙන බලපෑම නිසා මානසික ක්‍රියාකාරීත්වය අඩුවීම, නින්ද යාමෙහි ගැටලු සහ ශාරීරිකව වයසට යාම ඉක්මන් වීම වැනි ගැටලු මතු වෙයි. කාලය සහ විසඳීම අතර පවතින මෙම මූලික වෙනසෙහි බලපෑමෙන් නිදන්ගත ආතතිය ක්‍රමක්‍රමයෙන් ශරීරයේ අභ්‍යන්තර අවයවවලට හානි වන බව වෝරා පෙන්වා දෙයි.
ආතතියෙන් ශරීරයට බලපෑම් ඇති වන්නේ කෙසේ ද?
එක්සත් රාජධානියේ ජාතික සෞඛ්‍ය සේවාව පැහැදිලි කරන පරිදි, කෝටිසෝල් සහ ඇඩ්‍රිනලින් ප්‍රමුඛ ආතතියට අදාළ හෝමෝන මුදාහැරීම නිසා ශරීරය ප්‍රතික්‍රියා රාශියක් දක්වයි. පහත සඳහන් ප්‍රතික්‍රියා ඒ අතර වෙයි.
- ඔක්සිජන් සහිත රුධිරය පේශීන් කරා ඉක්මනින් ළඟාවීම සහතික කිරීම සඳහා හදවත ස්පන්ධනය වන වේගය සහ රුධිර පීඩනය ඉහළ යාම.
- රුධිරයේ අඩංගු සීනි ප්‍රමාණය ඉහළ යාම නිසා ක්ෂණිකව ශක්තිය වැඩිවීමක් සිදු වේ.
- ආහාර ජීර්ණය සහ ප්‍රතිශක්තිකරණ ක්‍රියාකාරිත්වය අඩාළ කිරීම මගින් ක්ෂණික අභියෝගවලට මුහුණ දීම සඳහා ශරීරයේ ශක්තිය යොමු කිරීම.
කෙසේ වෙතත්, කලක් තිස්සේ පවතින ආතතිය හානිදායක ය. ආතතිය නිදන්ගත තත්ත්වයට පත්වීම නිසා:
- කෝටිසෝල් මට්ටම නොවෙනස්ව පැවතීම නිසා, විශේෂයෙන් උදරය අවට ස්ථුලතාව ඇති වේ.
- දිගු කලක් තිස්සේ ආතතියට අදාළ හෝමෝනවලට නිරාවරණය වීම නිසා ධාරණ ශක්තිය සහ චිත්ත ඒකාග්‍රතාව බිඳී යයි.
- නින්දට බාධා පැමිණීම හේතුවෙන් ශරීරයේ යථා තත්ත්වයට පත්වීමේ හා ප්‍රකෘතිමත් වීමේ හැකියාවට බාධා පමුණුවයි.
හදවත් රෝග, ආහාර ජීර්ණයේ අක්රමවත්භාවය සහ මානසික සෞඛ්‍යයට අයහපත්ව බලපෑමෙන් කාංසාව හා විෂාදය වැනි ආබාධ හටගැනීමට ද කලක් තිස්සේ පවතින ආතතිය හේතු වන බවට ජාතික සෞඛ්‍ය සේවාව අනතුරු අගවා ඇත.
ආතතියෙන් ප්‍රතිලාභයක් තිබේ ද?
“ප්‍රතිරෝධය කියන්නේ, ඔබට තිබෙන හෝ නොතිබෙන දෙයක් නොවෙයි. එය කලක් තිස්සේ වර්ධනය කරගත යුතු දක්ෂතාවක්,” යැයි කැලිෆෝනියා විශ්වවිද්‍යාලයේ සහය පර්යේෂක මහාචාර්ය, ආචාර්ය ගොල්නාස් ටබිබ්නියා පවසයි. අභියෝග මගහැර යාම වෙනුවට ඒවා සමග ක්‍රියාකාරීව සිටීමෙන් ප්‍රතිරෝධය ගොඩනංවා හැකි බව ඇය පෙන්වා දුන්නා ය.
ආතතිය යනු හානිදායක නොවන, ප්‍රයෝජනවත් දෙයක් ලෙස දැකීමෙන් මිනිසාගේ කායිකව ඇති වන ආතති ප්‍රතිචාරය පහත වැටෙන බව ආචාර්ය ටබිබ්නියාගේ අදහස යි. ආකල්පමය වශයෙන් ඇති වන සුළු වෙනසකින් පවා ආශ්චර්යවත් දේ සිදුවිය හැකි අතර, කාංසාව පහත හෙළමින් චිත්ත ක්‍රියාකාරීත්වය වැඩිදියුණු කිරීමට ඉන් හැකියාව ලැබේ.
“කිසිවක් නොකර මගහැර යාම වෙනුවට ක්‍රියාකාරීව ආතතිය සමග සටන් කිරීමෙන් අනාගත ආතති අවස්ථා වඩාත් හොඳින් පාලනය කර ගැනීමට මොළය හැඩගස්වා ගැනීමට හැකිවෙනවා”, යැයි ඇය වැඩිදුරටත් කියා සිටියා ය. “ඒක හරියට ඔබ ජිම් එකේ ඉන්නවා වගෙයි. බර එසවීම පීඩාකාරී යි. නමුත් එයින් අපිව වඩාත් ශක්තිමත් කරවනවා.”
ආතතිය හා කාංසාව අතර වෙනස කුමක්ද?

ආතතිය හා කාංසාව අතර පවතින ප්‍රධාන වෙනස්කම් පැහැදිලි කරන මෙන් කාංසාව පිළිබඳ ආබාධවලින් පෙළෙන පිරිස්වලට ආධාර ලබා දෙන ජාතික පුණ්‍යායතනයක් වන Anxiety UK වෙතින් බීබීසීය ඉල්ලීමක් කළේ ය.
එම ආයතනය පවසන පරිදි, වැඩක් කිරීමට ලබා දී ඇති නිශ්චිත කාලයක්, රිය පැදවීමේ පරීක්ෂණයක් හෝ විභාගයක් වැනි පිටස්තර තත්ත්වයකට දක්වන ප්‍රතික්‍රියාවක් ලෙසින් ආතතිය අර්ථ දැක්විය හැකි ය. එය අදාළ අභියෝගයට සමානුපාතික වන අතර, එම අභියෝගය නිරාකරණය වීමෙන් පසුව ආතතිය පහව යයි.
එනමුත්, හඳුනාගත හැකි හේතුවක් නොමැතිව වුව ද කාංසාව පැවතිය හැක. කාංසාව යනු අනතුරුදායක අවස්ථාවන්හිදී පරීක්ෂාකාරීව සිටීම සඳහා මිනිසාට උපකාරී වන සාමාන්‍ය මනෝභාවයකි. එය ගැටලුකාරී බවට පත්වන්නේ, අධිකව පවතින විට හෝ එදිනෙදා ජීවිතයට බලපෑම්කාරී වන විටදී ය.
ආතතිය මෙන් ම කාංසාව ද දයාව කෙරෙහි බලපාන සහ සටන් කිරීම හෝ පැන යාමේ හෝ ප්‍රතිචාර දැක්වීමට සම්බන්ධ ස්නායු පද්ධතිය සක්‍රීය කරයි. බියගැන්වීම්වලට ප්‍රතිචාර දැක්වීම සඳහා පරීක්ෂාකාරී වීම සහ ශක්තිය ඉහළ නැංවීම එමගින් සිදු කෙරේ.
ඉන් කියැවෙන්නේ, ආතතිය මෙන් ම කාංසාව ද හදවතෙහි ගැස්ම ඉහළ යාම, ඩහදිය දැමීම හා වෙව්ලීම වැනි ලක්ෂණ ඇති කරන නමුත්, සාංකාව නිසා හටගන්නා ආබාධ නොවැළැක්විය හැකි හා ප්‍රබල බව ය.
උග්‍රව පවතින කාංසාව සහ භීතියට පත් අවස්ථා පාලනය කර ගැනීම සඳහා ආශ්වාස හා ප්‍රශ්වාස ව්‍යායාම කිරීම සුදුසු බවට Anxiety UK නිර්දේශ කරයි. සරල නමුත් වඩාත් ඵලදායී ක්‍රමයක් වන්නේ, ආශ්වාස කරනවාට වඩා වැඩි කාලයක් ප්‍රශ්වාස කිරීම සඳහා ගත කිරීම යි. ශරීරය ලිහිල් කොට ස්නායු පද්ධතිය සන්සුන් තත්ත්වයකට ගෙන ඒමට ඉන් සංඥාවක් ලැබේ.
ඵලදායී ලෙස ආතතිය කළමනාකරණය කර ගන්නේ කෙසේ ද?

ආතතිය නිසා ශරීරයට ඇති කෙරෙන හානිදායක බලපෑම අඩු කිරීම සඳහා චර්යාත්මක භාවිතයන්හි ඇති හිතකර බව පර්යේෂණවලින් ඔප්පු වී ඇත.
ශාරීරික ව්‍යායාම කිරීම නිසා ආතතිය ඇති කරන හෝමෝන පහත දැමීමට සහ මනෝභාවය, යහපත් සිහිය සහ භාවනා කිරීම මගින් මොළයට නැවත වරක් සන්සුන්භාවය අත්වන බව හෙළිව ඇත. එමෙන් ම, භාවාත්මක ප්‍රතිරෝධය තවදුරටත් ශක්තිමත් කළ හැකි ආකාරයේ වැදගත් භූමිකාවක් සමාජමය සහය මගින් ලැබෙන බව පර්යේෂණවලින් පෙන්වා දෙයි.
යහපත් සිහිය, කෘතවේදීත්වය සහ කාරුණික ක්‍රියාවන් මෙන් ම ශාරීරික ව්‍යායාම, එළිමහනේ කාලය ගත කිරීම සහ පවුලේ සාමාජිකයින් හා මිත්රයින් සමග අන්‍යෝන්‍ය වශයෙන් කටයුතු කිරීම වැනි විද්‍යාත්මකව අනුබලය දෙන උපායමාර්ග අනුගමනය කිරීමේ වැදගත්කම ආචාර්ය ටබිබ්නියා අවධාරණය කරයි.
යහපත් මානසික තත්ත්වය පුහුණු කරන්නෙකු සහ ලන්ඩන්හි ක්‍රියාත්මක 7Breath ආයතනයේ නිර්මාතෘවරයා ද වන යූකි සගායම් මේ සම්බන්ධයෙන් පූර්ණ ප්‍රවේශයක් ලබා ගැනීමේ අවශ්‍යතාව අවධාරණය කරයි.
“ආතතිය පාලනය කරනවා කියන්නේ ශරීරයේ ලිහිල් බව ඇති කිරීම විතරක් නෙවෙයි. ඒක ඔයාගේ මානසික හා ශාරීරික සුවතාවට ආධාර කරන ජීවන ක්‍රමයක්. ශරීර සුවතාවට මුල් තැන දෙනකොට ආතතිය පාලනය කරන එක ලේසි වෙනවා,” යනුවෙන් ඇය පැවසුවා ය.
යහපත් මනස, නින්ද, සංචලනය සහ නිසි පෝෂණය යනු ආතතිය පාලනය කිරීම සඳහා අත්‍යවශ්‍ය අංග බව ඇය අවධාරණය කළා ය.
“බඩවැල්වල ඇති ක්ෂුද්‍ර ජීවීන් වුණත් ආතතිය පාලනය කර ගන්න ලොකු හයියක් දෙනවා. සමස්ත නීරෝගීභාවය ලබා ගන්න නම් හිතකර ආහාර වර්ග තෝරා ගැනීමට මුල් තැන දෙන්න ඕනෑ,” යූකි පැවසුවා ය.
ආතතිය පාලනය කර ගැනීම යනු ක්ෂණික විසඳුම් සොයා ගැනීමක් නොවන බව අවධාරණය කළ ඇය, ප්‍රතිරෝධය වර්ධනයට සහය වන දෛනික පුරුදුවලින් පමණක් එය කළ හැකි බව වැඩිදුරටත් පෙන්වා දුන්නා ය.
ආතතිය ශක්තියක් බවට පත්කර ගන්නේ කෙසේ ද?

ආතතිය ජීවිතයේ නොවැළැක්විය හැකි කොටසකි. නමුත් එය ඇති කරන පීඩාවන් එසේ නොවන බව විශේෂඥයෝ පවසති.
“ආතතිය යහපත වෙනුවෙන්” යනුවෙන් ආකල්පමය තෝරා ගැනීමක් සිදුකරන පුද්ගලයින්ගේ කාර්යසාධනයෙහි දියුණුවක්, කායික හා මානසික විඩාව පහත වැටීමක් මෙන් ම වඩාත් හොඳ භාවාත්මක දියුණුවක් දක්නට ලැබෙන බව අධ්‍යයනවලින් හෙළිව ඇත.
තර්ජනයක් නොව අභියෝගයක් ලෙසට ආතතිය සකස් කර ගැනීම හරහා එමගින් ශරීරයට ඇති කෙරෙන බලපෑම සැලකිය යුතු ආකාරයෙන් වෙනස් කර ගත හැකි බව Harvard Business Reviewහි පළවූ පර්යේෂණ වාර්තාවක දැක්වේ.
“හානිදායක දෙයක් විදිහට නැතිව ප්‍රයෝජනවත් දෙයක් හැටියට මිනිස්සු ආතතිය දැක්කොත්, කායිකව ඊට දක්වන ප්‍රතිචාරය අඩුවෙනවා,” යනුවෙන් ආචාර්ය ටබිබ්නියා අවසන් වශයෙන් පැවසුවා ය.
“ආතතිය දකින විදිහ වෙනස් කර ගත්තොත්, ඒක අභියෝගයක් නොවෙයි ලැබිලා තියෙන අවස්ථාවක් හැටියට සලකලා පුද්ගල වර්ධනය හා මානසික නම්‍යශීලීත්වය ඇති කර ගන්න පුළුවන්.”
කර්තෘ – ආර්මන් නර්සේසියන්
(මූලාශ්‍රය – BBC News සිංහල ඇසුරිනි)