ඔබත් “ඔබේ සැප මගේ සතුටයි” කියා සිතන කෙනෙක්ද?

    0
    29

    අප ඉතාමත්ම ආදරය කරන කෙනෙක් හෝ ආදරය කරන දෙයක් අහිමිවීම කියන්නේ අපව දැඩි දුකට පත් කරවන කාරණාවක්. “පියෙහි විප්පයෝගෝ දුක්ඛෝ” යනුවෙන් බුදුරජාණන් වහන්සේ ද මේ පිළිබඳව දේශනා කර තිබෙනවා.

    මේ සම්බන්ධයෙන් උපදෙස් දෙන ඇතැම් අය පවසන්නේ තමන්,තමන් තුළින් ම සතුට සොයන්නේ නම්, තමන් තමාටම ආදරය කරන්නේ නම් බාහිර අයගේ වෙනස් වීම් අපට එතරම් අදාළ නොවන බවයි. එනිසා අපි අද කතා කරන්නේ මේ ගැනයි.

    සතුට කියන දේ තුළ තේරුම් දෙකක් තිබෙනවා. ඉංග්‍රීසියෙන් pleasure සහ happiness යනුවෙන් වචන දෙකක් ගැන ඔබ අසා ඇති.
    මෙයින් pleasure කියන්නේ වින්දනයට. happiness කියන්නේ සතුට. මේ දෙකටම පොදුවේ අපි කියන්නෙ සතුට කියලයි. නමුත් මේ දෙක අත්දැකීම් දෙකක්.
    වින්දනය කියන දේ අප කරන, කියන සහ ලබන දේවල්වලින් අපට ලැබෙන දෙයක්. මෙය ක්ෂණිකව ඇතිවන ආවේගයක් වශයෙනුත් දක්වන්න පුළුවන්.

    ඇස, කන, නාසය, දිව, ශරීරය යන පංච ඉන්ද්‍රියයන්ගෙන් එකක් හෝ කීපයක් හෝ සියල්ලම හෝ පිනවන විට අපිට මේ වින්දනය ලැබෙනවා. උදාහරණයක් විදිහට ඔබ කැමති කෑමක් ඔබට කන්නට ලැබුණොත් ඔබේ දිව එයින් වින්දනයක් ලබනවා. ඔබ ආදරය කරන පුද්ගලයා සමග ඔබ ඉතාමත්ම කැමැත්තෙන් සිප වැළඳ ගන්නාවිට, කායික සම්බන්ධතාවයක යෙදෙන විට ඔබ ලබන වින්දනය අනෙක් සියල්ලටම වඩා වැඩියි.

    ඊට හේතුව ඔබ කැමති කෑමක් ගන්නා විට එයින් වින්දනය ලබන්නේ ඔබේ දිව පමණයි. දිව නිසා මනසත් මෙහිදී වින්දනයක් ලබනවා. නමුත් කායික සම්බන්ධතාවයක් යනු පංච ඉන්ද්‍රියයන්ම කෙටි වේලාවක් තුළ එකවර පිනවන්නක් නිසා එහි වින්දනය වැඩියි. කායික එක්වීම් යනු ලෞකික ආශ්වාදයෙහි උපරිම තලයට යාමක් ලෙස දක්වන්නේ එනිසායි. මේ අනුව වින්දනය කියන්නේ ඕනෑම දෙයකින් පසුව ලැබිය හැකි දෙයක්.

    නමුත් සතුටෙහි ඊට වඩා වෙනසක් තිබෙනවා. සතුට ඕනෑම දෙයකින් ලබන්න පුළුවන්. තමාට ලැබෙන ජයග්‍රහණ, බලාපොරොත්තු ඉෂ්ට වීම්, තමාට වටිනාකමක් ලැබීම, ප්‍රිය කරන දේවල් ලැබීම, කැමති අය මුණ ගැසීමට ලැබීම මේ ඕනෑම දෙයකින් සතුටක් ලැබිය හැකියි. ඒ අනුව සතුට ඕනෑම මොහොතක තිබිය හැකි සහ ඇතිවිය හැකි දෙයක්.
    කොහොම වුණත් වින්දනය කියන්නේ කෙටිකාලීන දෙයක්.

    නමුත් සතුට ඊට වඩා දිගුකාලීනව පවතිනවා. ඒවගේම සතුට යමක් අත්පත් කර ගැනීම තුළින්ම ලබන දෙයක් නොවෙයි.
    සාර්ථක ජීවිතයකට යහපත් මනුෂ්‍ය සම්බන්ධතා අවශ්‍යයි. එය ප්‍රේමනීය සම්බන්ධතා ම නොවෙන්න පුළුවන්.

    මනුෂ්‍යයන් කියන්නේ තනිව ජීවත් වන්න පුළුවන් අය නොවෙයි. ඒ නිසා ජීවිතය පවත්වාගෙන යාමේදී විවිධ ආකාරයේ සම්බන්ධතා අපට අවශ්‍ය වෙනවා. එයින් අපට සතුට වගේම වින්දනයත් ලබන්න පුළුවන්. නමුත් තමන්ගේ සතුට අනෙක් අය බවට පත්කර ගත්තොත් එතන වේදනාවක් හට ගන්නවා. ඒ කියන්නේ අනිත් අයගෙන් අපි සතුට ලබන එකේ කිසි වරදක් නෑ. නමුත් මගේ සතුට වන්නේ එයම නම් ඒක ලොකු ප්‍රශ්නයක් වෙනවා.
    අපි සරල උදාහරණයක් ගනිමු.


    ඔබ ඔබේ පෙම්වතා ට බොහෝසෙයින් ආදරය කරනවා ඇති. ඒක යහපත් දෙයක්. නමුත් ඔබේ එකම සතුට ඔහු පමණක් නම් එතන පොඩි ගැටලුවක් තියෙනවා. මේ තත්ත්වය තුළ ඔහුගෙන් සුළු අඩුපාඩුවක්, පුංචි වෙනස්කමක් සිදු වුණත් එහිදී පලුදු වෙන්නේ ඔබේ සතුටයි. එම පලුදු වීම තුළ ඔබ මහත් වේදනාවට පත්වෙනවා.

    මෙවැනි අය තමන් ගැන අමතක කරලා අනුන් වෙනුවෙන් කැප වෙනවා. ඒ තමන්ගේ සැමියා, බිරිඳ, පෙම්වතා, පෙම්වතිය, දරුවන් මේ ඕනෑම කෙනෙක් වෙනුවෙන් විය හැකියි. මෙය සෞඛ්‍ය සම්පන්න මානසික සුවයට හේතු වන දෙයක් නොවෙයි. අනෙක් අය නිසා ඔබ සතුටු වීම යනු ඔබේ සතුට යැපෙන්නේ අනුන් මතයි. ආදරය ලැබීම සහ දීම සතුට දනවන දෙයක්. නමුත් සතුට සඳහා අනෙක් අය කෙරෙහි ඕනෑවට වඩා විශ්වාසය තැබීම කියන්නේ ඔබ ඒ දෙයම පෙරළා පුද්ගලයාගෙනුත් අපේක්ෂා කිරීමක්.

    නමුත් ඒක එහෙම වෙන්නේ නෑ. ඒක තමයි ලෝක ස්වභාවය. ඔබ ආදරය කරන අනෙක් අය ඔබ සමග හැමදාමත් එක විදිහටම ඉන්නේ නෑ. අප ආදරය කරන අප කැමති ඕනෑම පුද්ගලයකු වගේම ඕනෑම ද්‍රව්‍යයක් වුවද වෙනස් වෙනවා. ඒක ලෝක ස්වභාවයක් නිසා වෙනස් වන අයට දොස් කීම පලක් නැති දෙයක්. ඒ නිසා ඔබේ සතුට යැපෙන්නේ ඒ පුද්ගලයන් මත නම් ඔබ නියත වශයෙන්ම යම් දිනක බොහෝ වේදනාවට දුකට පත්විය හැකියි.

    මෙලෙස අනෙක් අය මත සතුට තබාගෙන සිටීම නිසා සිදුවිය හැකි දේවල් පිළිබඳ සොයා බලමු.

    * තමන් ප්‍රිය කරන පුද්ගලයා හෝ පුද්ගලයන් හැමදාමත් තමන් සමග ආදරෙන් ඉඳීවියැයි විශ්වාසයෙන් සිටි විට මානසිකව කඩා වැටීමක් ඇතිවී සතුට නැතිවී ගොස් දැඩි දුකක් ඇතිවෙනවා. මේ කාරණය අපි ඉහතද විස්තර කළා.

    * අනෙක් අය මත තම සතුට තබාගෙන හිඳීමෙන් ඊළඟට අහිමි වී යන්නේ තමන්ගේ ස්වාධීනත්වය යි. තමන්ගේ අවශ්‍යතා සහ වටිනාකම් කැප කර අනෙකාගේ සතුට සහ වටිනාකම් වෙනුවෙන් කැපවීම යනු තමන්ගේ ස්වාධීනත්වය අහිමි වී යාමයි. එනම් තමන්ට තමන් අහිමි වීමයි. ⁣යම් ⁣දිනෙක ඒ පුද්ගලයා වෙනස් වුවහොත් ඔබට මංමුලා වූවාක් වැනි ස්වභාවයක් දැනී විශාල වේදනාවක් හට ගන්න පුළුවන්.

    * තව කෙනෙක් මත තම සතුට යැපෙන විට ඒ අයව සතුටින් තබන්නට ඔබ නොයෙකුත් කැපකිරීම් කරන්නට පෙළඹෙනවා. එවිට ඔබේ කාලය ශ්‍රමය ධනය සියල්ල ඔබ කැප කරන්නේ එම පුද්ගලයා හෝ පුද්ගලයන් වෙනුවෙනුයි. නමුත් මනුෂ්‍ය සම්බන්ධතා පවත්වා ගැනීම එතරම් පහසු දෙයක් නොවෙයි. මනුෂ්‍යයන් නිතරම වෙනස් වන සුළුයි. එනිසා එම සබඳතා වෙනුවෙන් ඔබට බොහෝ මහන්සි වෙන්නට සිදු වේවි. ඔබ ඒ අය වෙනුවෙන් දිගටම කැපකිරීම් කරන විට එම පුද්ගලයා හෝ පුද්ගලයන් ඊට හුරු වෙනවා.

    අවසානයේ ඒ පුද්ගලයා/ පුද්ගලයන් සිතන්නේ එය ඔබ අතින් අනිවාර්යයෙන් ඉටු විය යුතු දෙයක් ලෙසයි. මෙහිදී සිදුවී තිබෙන්නේ ඔබ ඔහු/ඇය/ඔවුන් වෙනුවෙන් පාවිච්චි වීමයි. යම්හෙයකින් එම කැප කිරීම් ඔබට හැමදාටම කරන්නට නොහැකි වුවහොත්, නැතහොත් ඔබව පාවිච්චි කිරීම හැමදාම ඔවුන්ට කළ නොහැකි වුවහොත් ඔවුන් ඔබ කෙරෙහි බොහෝ උරණ වෙනවා. “මම කිසි දෙයක් එයාගෙන් ආපසු බලාපොරොත්තු වෙන්නේ නැතුවයි මේ විදියට කැප වෙන්නේ” කියලා ඔබ සිතන්න පුළුවන්. නමුත් ඇත්ත ඒක නෙවෙයි. ඔබ ඒ සියලු කැපකිරීම් කරන්නේ ඔබේ සතුට එය බවට ඔබ විශ්වාස කරන නිසයි. යම් දිනෙක එම පුද්ගලයා / පුද්ගලයන් වෙනස් වූ විට ඔවුන්ගේ සතුට තමන්ගේ සතුට කරගන්නට ගොස් අවසානයේ ඔබ, ඔබට ම විශාල අලාභයක් කරගන්නවා.


    * ඕනෑම පුද්ගලයෙකුගේ මානසිකත්වය සියලු ආකාරයෙන් වර්ධනය විය යුතුයි. මෙය ස්වයං වර්ධනය ලෙස හඳුන්වන්න පුළුවන්. ඒක එම පුද්ගලයාගේ ජීවිතයේ දියුණුවට අයිති දෙයක්. නමුත් අනෙක් අය මත තම සතුට තැබීම තුළ එම ස්වයං වර්ධනය නොසලකා හැරෙනවා. තමා තුළින් නොව බාහිරින් සතුට සෙවීම නිසා ඒ අය තමාගෙන් ඈත් වී ගිය විට මුළු ජීවිතේම මහා හිස් බවක් දැනිය හැකියි. එම අභ්‍යන්තර හිස් බව ඇති වන්නේ තමාට කියා යමක් කර ගැනීමට නොහැකි වීම නිසයි.

    මේ සඳහා ඇති විසඳුම් මොනවාද? ඒ ගැන ඊළඟ ලිපියෙන් කතා කරමු.

    උපදෙස්
    ප්‍රවීන මනෝ චිකිත්සක ආචාර්ය සුරංග අමරකෝන්

    ඉන්දු පෙරේරා

    LEAVE A REPLY

    Please enter your comment!
    Please enter your name here