කාන්තාවන්ට පාප් පදවියට පත්විය නොහැක්කේ ඇයි? ජේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ කාලයේ පැවති පිළිවෙත කුමක් ද?

    0
    19
    කිතුණුවන්ගේ නායකයා වූ ෆ්‍රැන්සිස් පාප් වහන්සේ ස්වර්ගස්ථ වීමෙන් පසු, නව පාප්වරයෙකු තෝරා පත් කර ගැනීමේ ක්‍රියාවලිය ආරම්භ වීමට නියමිතව තිබේ

    කාන්තාවන්ට කතෝලික පල්ලියේ නායිකාවන් විය නොහැක. කතෝලික ආගම තුළ කාන්තාවන් පූජකවරුන් ලෙස පිළිගන්නේ නැත. මෙයට හේතුවන පසුබිම කුමක් ද?

    කිතුණුවන්ගේ නායකයා වූ ෆ්‍රැන්සිස් පාප් වහන්සේ ස්වර්ගස්ථ වීමෙන් පසු නව පාප්වරයෙකු තෝරා පත් කර ගැනීමේ ක්‍රියාවලිය ආරම්භ වීමට නියමිතව තිබේ. නව පාප් වහන්සේ තෝරා පත් කර ගැනීමට නියමිතව ඇත්තේ, කාදිනල්වරුන්ගේ ඡන්දයෙනි.

    නමුත් කතෝලික ආගමට අනුව, පාප් පදවියට පත්විය හැක්කේ පුරුෂයින්ට පමණකි. පල්ලියේ පූජකයන් විය හැක්කේ ද පුරුෂයින්ට පමණක් වන්නේ ඇයි?

    පසුගිය වසර දෙදහසක කාලය තුළ ලෝකයේ එලෙස අඛණ්ඩව පැවත එන එක ම නායකත්ව තනතුර වන්නේ කතෝලික ධර්මයේ නායකයා වන පාප් පදවියයි.

    ජේසුස් වහන්සේගේ ගෝලයන් 12 දෙනාගෙන් කෙනෙකු වන සාන්ත පීතර, කතෝලික පල්ලියේ පළමු නායකයා ලෙස සැලකේ. උන්වහන්සේගෙන් ඇරඹුණු පාප් පදවිය වසර 2,000ක් අඛණ්ඩව පැවතිණි. මේ දක්වා පාප්වරුන් 250කට වඩා සිට ඇති නමුත් කිසි දිනක කාන්තාවක එම පදවියට පත්ව නොමැත.

    කතෝලික ධර්මය තුළ කාන්තාවන්

    කතෝලික ආගම තුළ කාන්තාවන් පූජකවරුන් ලෙස පිළිගන්නේ නොමැත

    පාප්වරයෙකු ලෙස පමණක් නොව, කතෝලික ආගම තුළ කාන්තාවකට පූජකවරයෙක් හෝ බිෂොප්වරයෙකු වීමට නොහැකි ය.

    “කතෝලික ධර්මය තුළ, ආධ්‍යාත්මික නායකත්ව තනතුරට ළඟා වෙන්න අදියර කිහිපයක් තියෙනවා. පළමුව, කතෝලිකයෙකු වෙන්න ඕනේ, ඊළඟට පූජකවරයෙක්, ඊට පස්සේ බිෂොප්වරයෙක්, පසුව අගරදගුරුවරයෙක් වීම සහ කාදිනල්වරයෙකු වීම.”

    ලොයෝලා විද්‍යාලයේ මහාචාර්ය ක්ලැඩ්සන් සේවියර් පවසන්නේ, “කාදිනල්වරුන්ගෙන් කෙනෙකු පාප් පදවිය සඳහා තෝරා ගන්නවා, නමුත් කාන්තාවන්ට එම භූමිකාවට අවසර නැහැ. ඔවුන්ට කන්‍යා සොහොයුරියන් වෙලා පූජකවරුන්ට උදව් කරමින් කටයුතු කළ හැකියි. නමුත් ඔවුන්ට පූජකවරුන් වෙන්න බැහැ. මෙම සම්ප්‍රදාය වසර 2,000ක් තිස්සේ පැවත එන්නේ. පාප්වරයෙකුට එය වෙනස් කිරීමට අවශ්‍ය වුණත්, උන්වහන්සේට පවා එය වෙනස් කරන්න බැහැ.”

    2016දී විදෙස් සංචාරයක නිරත වී ආපසු පැමිණෙන අවස්ථාවක ගුවන් යානය තුළදී වාර්තාකරුවන්ට ඒ බව තහවුරු කළ ස්වර්ගස්ථ වූ ෆ්‍රැන්සිස් පාප් වහන්සේ ඒ පිළිබඳ අවස්ථා රැසකදී පැහැදිලි කර ඇත.

    කාන්තාවකට කවදා හෝ පාප් පදවියට පත්විය හැකිදැයි විමසූ විට, ෆ්‍රැන්සිස් පාප් වහන්සේ මෙසේ පැවසූහ, “දෙවන ජුවාන් පාවුළු පාප් වහන්සේ එය පැහැදිලි කළා. ඒක වෙනස් කරන්න බැහැ.”නැවත විමසූ විට, උන්වහන්සේ පිළිතුරු දුන්නේ, “ඔබ දෙවන ජුවාන් පාවුළු පාප් වහන්සේගේ ප්‍රකාශනය කියෙව්වොත් ඔබට වැටහෙනු ඇත්තේ එයයි.”

    ෆ්‍රැන්සිස් පාප් වහන්සේ සඳහන් කරන ප්‍රකාශය 1994දී එවකට දෙවන ජුවාන් පාවුළු පාප් වහන්සේ විසින් ලියන ලද ‘Ordinatio Sacerdotalis’ යන අපෝස්තලික ලිපිය යි.

    දෙවන ජූවාන් පාවුළු පාප් වහන්සේ

    පූජකත්වය පුරුෂයින්ට පමණක් වෙන් කිරීම සහ එයට හේතු පිළිබඳව දෙවන ජුවාන් පාවුළු පාප් වහන්සේ කතෝලික පල්ලියේ බිෂොප්වරුන්ට මෙම අපෝස්තලික ලිපියේ ලිවූහ.

    මෙම ලිපියේ, කාන්තාවන් පූජකත්වයට පත් කළ නොහැකි වීමට විවිධ හේතු උන්වහන්සේ ලැයිස්තුගත කළහ.

    පළමුවෙන් ම, මේ සම්බන්ධයෙන් කතෝලික පල්ලියේ පිළිවෙත උන්වහන්සේ පෙන්වා දුන්නහ.”ක්‍රිස්තුස් වහන්සේ තම (ගෝලයන්ට) ඉගැන්වීම, විශුද්ධ කිරීම සහ ඇදහිලිවන්තයන් පාලනය කිරීමේ කාර්යයන් ඉටු කිරීම සඳහා භාර දුන් පූජක පැවිදි කිරීම, ආරම්භයේ සිට ම කතෝලික පල්ලියේ පිරිමින් සඳහා සැමවිට ම වෙන් කර ඇත,” ලිපියේ සඳහන් වේ.

    ඇන්ග්ලිකන් පල්ලියේ පූජක තනතුරට කාන්තාවන් පත් කිරීම සම්බන්ධයෙන්, කැන්ටබරි අගරදගුරු ආචාර්ය එෆ්.ඩී. කෝගන් වෙත VI වන පාවුළු පාප් වහන්සේ ලිපියක් ලිවූහ. එම ලිපියේ, VI වන පාවුළු පාප් වහන්සේ සඳහන් කළේ, “ශුද්ධ ලියවිල්ලේ වාර්තාවලට අනුව, ක්‍රිස්තුස් වහන්සේ තම ගෝලයින් තෝරා ගත්තේ පිරිමින් අතරින් පමණක්” බවයි. දෙවන ජුවාන් පාවුළු පාප් වහන්සේ තම ප්‍රකාශනයෙන් මෙය පෙන්වා දුන් අතර, පැවිදි විය හැක්කේ පිරිමින්ට පමණක් බව ප්‍රකාශ කළහ.

    දෙවන ජුවාන් පාවුළු පාප් වහන්සේ තවත් වැදගත් කරුණක් පෙන්වා දුන්හ. උන්වහන්සේ තම ලිපියේ සඳහන් කළේ, “දෙවියන් වහන්සේගේ මව සහ පල්ලියේ මව වන භාග්‍යවත් කන්‍යා මරිය තුමිය අපෝස්තලික මෙහෙවර හෝ දේවසේවා පූජකත්වය ලබා නොගත් බවයි. කාන්තාවන්ට පූජකයෙකු ලෙස පැවිදි වීමට අවසර නොලැබීම කාන්තාවන්ට අඩු ගෞරවයක් හෝ ඔවුන්ට එරෙහිව වෙනස්කම් කිරීමක් ලෙස අර්ථ දැක්විය නොහැක. ඊට පටහැනිව, එය විශ්වීය දෙවියන්ගේ ප්‍රඥාවට ආරෝපණය කරන ලද සැලැස්මක් විශ්වාසවන්තව පිළිපැදීමක් ලෙස සැලකිය යුතුය.”

    අවසාන වශයෙන්, දෙවන ජුවාන් පාවුළු පාප් වහන්සේ සිය අපෝස්තලික ලිපියේ මෙසේ සඳහන් කළහ: “පල්ලියේ දිව්‍ය ව්‍යුහයට අදාළ කාරණයක් පිළිබඳ සියලු සැකයන් දුරු කිරීම සඳහා, කාන්තාවන් පූජකත්වයට පත් කිරීමට පල්ලියට බලයක් නොමැති බවත්, මෙම විනිශ්චය පල්ලියේ සියලු ම විශ්වාසවන්තයින් විසින් දැඩි ලෙස පිළිපැදිය යුතු බවත් මම ප්‍රකාශ කරමි.” මෙම ලිපිය ගැන සඳහන් කරමින් ෆ්‍රැන්සිස් පාප් වහන්සේ ප්‍රකාශ කළේ, කතෝලික ධර්මයේ කාන්තාවන් පූජකත්වයට පත් කිරීමට ඉඩ නොදෙන බවයි.

    කෙසේ වෙතත්, 2016 අගෝස්තු මාසයේදී, ෆ්‍රැන්සිස් පාප් වහන්සේ කාන්තාවන් උපස්ථායකවරුන් ලෙස පත් කිරීම සලකා බලන බව පෙන්වා දුන්හ. උපස්ථායකවරුන් යනු, කතෝලික ධර්මයේ පූර්ව පූජක පැවිදි කිරීමකි. කෙසේ වෙතත්, කාන්තාවන් කිසි විටෙකත් පූජකවරුන් ලෙස පත් නොකරන බව පාප් වහන්සේ එම අවස්ථාවේදී ද පැහැදිලි කළහ.

    ජේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ ජීවිතය තුළ කාන්තාවන්ගේ කාර්යභාරය

    ‘යේසුස් වහන්සේගේ ජීවිතයේ විවිධ කාලවලදී මාර්තා සහ බෙතානියේ මරියා ගැන බොහෝ ශුද්ධ ලියවිලිවල සඳහන් වේ’
     

    මේ සම්බන්ධයෙන් වතිකානයේ සිට බීබීසීයට අදහස් දක්වමින් වතිකාන ගුවන් විදුලියේ දෙමළ අංශයේ ප්‍රධානී සෙල්වරාජ් පවසන්නේ, මෙය ජේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ කාලයේ සිට ම පැවති සිරිතක් බවයි.

    “පුරුෂයන් පූජකයන් ලෙස පත් කිරීමේ පුරුද්ද ජේසුස් ක්‍රිස්තුන් වහන්සේගේ කාලයේ සිට පැවත එන්නක්. ජේසුස් වහන්සේගේ කාලයේ උන්වහන්සේගේ අනුගාමිකයන් අතර කාන්තාවන් සිටියත්, උන්වහන්සේ හඳුනාගත්තේ පිරිමි ගෝලයන් 12 දෙනෙකු පමණයි,” සෙල්වරාජ් පවසයි.

    නමුත් බයිබලයේ සඳහන් වන්නේ, බොහෝ කාන්තාවන් ජේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ ජීවිතය තුළ වැදගත් භූමිකාවන් ඉටු කළ බවයි, ග්ලැඩ්සන් සේවියර් පවසයි.

    “විශේෂයෙන්, ජේසුස් වහන්සේගේ මව වන මරියා, බයිබලයේ ඉතා වැදගත් ලෙස සඳහන් කර ඇත. ඉන්පසු, මාර්තා සහ බෙතානියේ මරියා ගැන බොහෝ ශුද්ධ ලියවිල්ලේ පදවල ජේසුස් වහන්සේගේ ජීවිතයේ විවිධ කාලවලදී සඳහන් කර ඇත,” ඔහු පවසයි.

    කාන්තාවන්ට පූජක පදවිය ලබා දිය නොහැකි බව, පීතෘ මූලික අදහස්වල අඛණ්ඩ පැවැත්මක් බව චෙන්නායි විශ්ව විද්‍යාලයේ මහාචාර්ය භට්ටාචාර්ය පවසයි.

    “ජේසුස් වහන්සේගේ ගෝලයන් 12 දෙනා ම පිරිමින් බව ඔවුන් පවසනවා. ජේසුස් වහන්සේට බොහෝ ගෝලයන් සිටියා. ඔවුන් අතර කාන්තාවන් සිටියා. නමුත් ඔවුන් පහසු ප්‍රවේශයක් ගන්නවා. ජේසුස් වහන්සේ සමග වැඩ කළ අය අතර සැලකිය යුතු කාන්තාවන් සංඛ්‍යාවක් සිටියා.”

    “ජේසුස් වහන්සේ සමග වැඩිපුර ම දුක් වින්දේ කාන්තාවන්. ඉතින්, ජේසුස් වහන්සේගේ ඉගැන්වීම් මේ සඳහා බාධාවක් වෙන්නේ නැහැ. ජේසුස් වහන්සේගේ දේවධර්මය මේ සඳහා බාධාවක් නොවේ. නමුත් පීතෘමූලික චින්තනයක් ඇති අය කාන්තාවන් පූජකවරුන් වීමට විරුද්ධ වෙනවා,” මහාචාර්ය භට්ටාචාර්ය පවසයි.

    ‘කාන්තාවන්ට පූජකවරුන් වීමට අවසර දිය යුතුයි’

     ‘ජේසුස් වහන්සේ කුරුසියේ ඇණ ගසන විට කාන්තාවන් සිටියා,’ යැයි ටී.ඒ. ලුසියා පවසයි

    හිටපු කන්‍යා සොහොයුරියක සහ දැන් නීතිඥවරියක වන ටී.ඒ. ලුසියා පවසන්නේ මෙය සිදුවන්නේ ආගම්, සමාජය තුළ වඩාත් සාම්ප්‍රදායික අදහස් අවශෝෂණය කර ගැනීම හේතුවෙන් බවයි.

    ටී.ඒ. ලුසියා පවසන්නේ ජේසුස් වහන්සේ පීඩිතයන් වෙනුවෙන් සටන් කළ බවත් ඒ සඳහා කුරුසියේ ඇණ ගසනු ලැබූ බවයි. කෙසේ වෙතත්, “සමහර ආගම්, විශේෂයෙන් රෝමානු කතෝලික ධර්මය, තවමත් ජේසුස් වහන්සේගේ නාමයෙන් කාන්තාවන් පිරිමින්ට වඩා පහත් ලෙස සලකනවා. කාන්තාවන්ට පූජකවරු වීමට අවසර දුන්නොත් පමණක් ඔවුන්ට පාප්වරුන් වෙන්න පුළුවන්.”

    ටී.ඒ. ලුසියා පවසන්නේ මෙම ආගම් කාන්තාවන්ට පූජකවරුන් වීමට ඉඩ නොදෙන බැවින් ඔවුන් සමාජයේ සාම්ප්‍රදායික අදහස් අනුගමනය කරන බවයි. ජේසුස් වහන්සේගේ ඉගැන්වීම් කාන්තාවන්ට සීමා කිරීම ගැන නොව සැමට නිදහස ගැන බව ඇය විශ්වාස කරයි.

    ජේසුස් වහන්සේගේ ගෝලයන් 12 දෙනා අතර කාන්තාවන් නොමැති වීම උන්වහන්සේ පූජකත්වය ප්‍රතික්ෂේප කිරීමට හේතුවක් ලෙස පැවසීම ටී.ඒ. ලුසියා ප්‍රතික්ෂේප කරයි.

    ටී.ඒ. ලුසියා පවසන්නේ, “ඔවුන් ජේසුස්ව අනුගමනය කරන බව කියා සිටිනවා, ඔවුන් ජේසුස් වහන්සේ මෙන් ඇඳ පැළඳ ගෙන සිටිනවා ද? ජේසුස් වහන්සේ පල්ලිය නිර්මාණය කළා ද නැත්නම් පූජකත්වය ස්ථාපනය කළා ද? ජේසුස් වහන්සේ සමග ගෝලයින් 12 දෙනෙක් පමණක් නොව 72 දෙනෙක් සිටියා. ඔවුන්ගෙන් බොහෝ දෙනෙක් කාන්තාවන්. යේසුස් වහන්සේ කුරුසියේ ඇණ ගසන විට පවා කාන්තාවන් එහි සිටියා. ඒ නිසා, ජේසුස් වහන්සේව නිදහසට කරුණක් ලෙස යොදා ගනිමින් කාන්තා අයිතිවාසිකම් ප්‍රතික්ෂේප කිරීම වැරදියි.”

    කාන්තාවන්ට පූජකයන් හෝ නායිකාවන් වීමට ඉඩ නොදෙන්නේ කතෝලික ආගම පමණක් ද? අනෙකුත් නිකායන්වල තත්ත්වය කුමක් ද?

    මෙයට ප්‍රතිචාර දක්වමින් මහාචාර්ය භට්ටාචාර්ය පවසන්නේ, “බොහෝ පුරාණ ක්‍රිස්තියානි නිකායන් කාන්තාවන් පූජකත්වයට සහ නායකත්ව භූමිකාවන්ට පිළිගන්නේ නැහැ. ඇන්ග්ලිකන් ක්‍රිස්තියානි ධර්මය තුළ සහ තවත් සමහර නිකායන්හි පූජකවරුන් සහ බිෂොප්වරුන් ලෙස කාන්තාවන් සිටිනවා.”

    දශකයකට පෙර ඔවුන් මෙම ප්‍රශ්නය මතු කළ විට, ඔවුන්ට දැඩි විරෝධයකට මුහුණ දීමට සිදු වූ බව ද ඔහු පවසයි.

    අද කතෝලික ආගම තුළ, කාන්තාවන්ට කන්‍යා සොහොයුරියන් ලෙස ස්වේච්ඡාවෙන් ඉදිරිපත් විය හැකි අතර, විශේෂයෙන් ප්‍රමාණවත් ගිහි මිෂනාරිවරුන් නොමැති තැන පූජකවරුන්ට උපකාර කිරීම සඳහා කණ්ඩායම් වශයෙන් වැඩ කළ හැකි බව භට්ටාචාර්ය පවසයි. සමහර ප්‍රජා උත්සවවලදී ඔවුන්ට “පුණ්‍යදායකත්වය” ලබා දිය හැකියි.

    (සටහන | මුරලිදරන් කාසි විශ්වනාදන්)
    බීබීසී දෙමළ සේවය

    උපුටා ගැනීම – BBC සිංහල සේවය

    LEAVE A REPLY

    Please enter your comment!
    Please enter your name here