යුද්ධයේ අවසන් අදියරේදී ශ්‍රී ලංකා රජයේ ආරක්ෂක සේනාවලට යටත් වූ හෝ භාර වූ හෝ පසු අතුරුදහන් කරනු ලැබීමට ගොදුරු වූ
තම ඥාතීන්ගේ ඉරණම හෙලිකරගැනීමේ අරගලය යුක්තිය නොලබාම නමවැනි වසරට පා තබා තිබේ.
යුද පීඩිත උතුරු නැගෙනහිර දෙපළාතේ දිස්ත්‍රික්ක අටේම නියෝජනයක් සහිත දෙමළ මව්වරුන්ගේ පුරෝගාමිත්වයෙන් වීදි බට මෙම උද්ඝෝෂණ ව්‍යාපාරය මෑත ඉතිහාසයේ දකුණු ආසියාවේ දීර්ඝතම අරගලයක් ලෙස සැලකේ.
සිවිල් යුද්ධය 2009 මැයි මාසයේ ලේ වැකී අවසන් වූ දා සිට තම ස්වාමිපුරුෂයන්, දියණියන්, පුතුන්, සහෝදරයන් ඇතුළු නෑසියන් සොයමින් 2017 පෙබරවාරි 20 වැනි දින සිට මේ දක්වා දින 2922 ක් තිස්සේ අරගලයේ සිටි දෙමාපියන් අතුරින් අඩුම වශයෙන් 350 ක් මිය ගොසිනි.
වසර අටක් සම්පූර්ණ වී නමවැනි වසරට පා තබමින් යුද පීඩිත කිලිනොච්චියේ පැවති පාගමනේ දී බලහත්කාරයෙන් අතුරුදහන් කරන ලද්දවුන්ගේ ඥාතීන්ගේ සංගමයේ දෙමළ මව්වරුන් දේශීය වශයෙන් ඉටු නොවූ යුක්තිය සලසා ගැනීමට සරණ පතා සිටියේ ජාත්‍යන්තර බලවේග වලිනි.
දෙමළ අම්මාවරුන් සිය අරගලය ආරම්භ කළ අවුරුද්දේම ආණ්ඩුව විසින් පිහිටුවන ලද අතුරුදහන් වූ තැනැත්තන් පිළිබඳ කාර්යාලය (OMP) ඉකුත් වසර 9 තිස්සේම අතුරුදහන් එකම අයකුගේ ඉරණම හෙළි කිරීමට සමත් වී නැත.
2025 පෙබරවාරි 20 වැනි බදදා පෙරවරුවේ කිලිනොච්චියේ කන්දසාමි කෝවිලෙන් ආරම්භ වී ඩිපෝ හන්දිය දක්වා ගිනි දැල්වු හට්ටි හිස හා දෑත මත තබා සාමකාමි විරෝධතා පා ගමනින් දෙමළ මව්වරුන් ගමන් කර තිබුනේ කෝ, කෝ අපේ ඥාතීන් කෝ, ජාත්‍යන්තරය උත්තර කෝ, දියව්, දියව් යුක්තිය දියව් ආදී සටන් පාඨ කියමිනි. අපරාධ කරුවන් යුක්තිය ඉටු කරයිද ? යනුවෙන් සිංහල බසින් ලියන ලද සටන් පුවරුද ඔවුන් අත විය.

විරෝධතාවය අවසානයේ අම්පාර දිස්ත්‍රික්කයේ බලහත්කාරයෙන් අතුරුදහන් කළ අයගේ ඥාතීන්ගේ සංගමයේ සභාපති තම්බිරාසා සෙල්වරානි මාතාව මාධ්‍යවේදීන් හමුවේ කියා සිටියේ යුක්තිය සහ සත්‍ය සදහා වන සිය අරගලය කිසිසේත් අත් නොහරින බවයි.
“ශ්‍රී ලංකාවේ ජනාධිපතිවරුන්ගෙන් යුක්තිය ඉල්ලා සිටි අපි අද අද ජාත්‍යන්තරයෙන් යුක්තිය ඉල්ලා සිටිනවා. අපි අභ්‍යන්තර යාන්ත්‍රණ විශ්වාස කරන්නේ නැහැ. අපගේ ඥාතීන් 350කට අධික ප්‍රමාණයක් මිය ගිහිල්ලා තියනවා. නමුත් යුක්තිය සහ සත්‍ය සදහා වන අපේ අරගලය අඛණ්ඩව කරන බව අපි ලෝකයට පෙන්නනවා.”
බලහත්කාරයෙන් අතුරුදහන් කර සිටින සිය සමීපතමයන් වෙනුවෙන් යුක්තිය ඉටු කිරීමට එක්සත් ජාතීන්ගේ සංවිධානය ශ්‍රී ලංකා රජයට තවදුරටත් කාලය ලබා නොදිය යුතු බවත් ඇය එහිදී තවදුරටත් පැවසුවාය.
“එක්සත් ජාතීන්ගේ සංවිධානය ශ්‍රී ලංකා රජයට තව දුරටත් කාලය ලබා නොදිය යුතුයි. අපේ ප්‍රශ්නයට විසඳුමක් ලබා දෙන්න ඕනේ. විසඳුමක් ලැබෙන තුරු අපි අරගලය දිගටම කරනවා.”
අනුර කුමාර දිසානායකගේ ජනාධිපතිත්වයෙන් යුත් ජාතික ජන බලවේගයේ රජය බලයට පත් වී මාස තුනකට වඩා වැඩි කාලයක් ගත වී ඇති නමුත් සිය සමීපතමයන්ට යුක්තිය ඉටු කිරීම වෙනුවෙන් ඔවුන් කිසිදු සංඥාවක් නිකුත් කර නොතිබීම සම්බන්ධයෙන්ද යුද වින්දිත දෙමළ මව්වරුන් එහිදි චෝදනා කර තිබුනි.
ඉකුත් සතියේ ජිනීවා නුවර පැවති කාන්තාවන්ට එරෙහි වෙනස්කම් පෑම තුරන් කිරීම සඳහා වන එක්සත් ජාතීන්ගේ කමිටුව (CEDAW) ට කාන්තා හා ළමා කටයුතු ඇමැතිනි සරෝජා සාවිත්‍රි පෝල්රාජ් ප්‍රමුඛ ශ්‍රී ලංකා නියෝජිතවරියන් පිරිස අතුරුදහන් කරනු ලැබුවන් සොයා අරගල කරන දෙමළ මාතාවන්ට යුක්තිය සැලසීම සම්බන්ධයෙන් කිසිත් කී බවක් වාර්තා වී නැත.
ශ්‍රී ලංකාවේ රාජ්‍යය විසින් කරන ලද අපරාධ සම්බන්ධයෙන් වගකිවයුතු ඉහල පෙලේ නිලධාරීන් හා බලධාරීන් දණ්ඩ මුක්තිය භුක්ති විඳිමින්, වරදානද ලබමින් යහතින් ඉඳීමට ඉඩ සැලසීම ගැන රටේ දිගටම පැවති ආණ්ඩු ජාත්‍යන්තර වශයෙන් දෝෂ දර්ශනයට ලක්ව සිටී.
