වන්නි ගිය අගමැතිනි හමුවීමට ඉඩම් අහිමි අම්මාවරුන්ට අවසර නෑ

0
34

මහ මැතිවරණ ප්‍රචාරක කටයුතු අතරතුරදී වන්නියේ දෙමළ ජනයාගේ ඉල්ලීම් ලිඛිතවම සිය අතට ගත් අගමැතිනිය යළි බලයට පැමිණිමෙන් පසු සිය
භුමියට පැමිණි මොහොත් ඇය මුණ ගැසීමේ අවස්ථාව අහිමි කිරීම සම්බන්ධයෙන් යුද පීඩිත දෙමළ මව්වරුන්ගේ විරෝධය ප්‍රකාශයට පත්ව තිබේ.

මුලතිව්, මුහුදුබඩපත්තු ප්‍රාදේශිය සභා ශාලාවේ 2025 පෙබරවාරි 16 වැනිදා පැවැති මැතිවරණ ජය සමරන ජන හමුවකට අගමැතිනි හරිනි අමරසුරිය එක්ව සිටියාය.

සිය මුල් භුමිය යළි ලබාගැනීම සදහා වසර ගණනාවක් තිස්සේ අරගලයක යෙදී සිටින කේපාපුලව්හි විවේකානන්දන් ඉන්ද්‍රානි මාතාව නොවැම්බර් 16 වැනිදා මුලතිව් මාධ්‍ය සමාජයේ මාධ්‍ය හමුවක් පවත්වමින් චෝදනා කළේ, ධිවර අමාත්‍යවරයාගේ ආරාධනයෙන් අගමැතිවරිය හමුවීමට පැමිණියත් අගමැතිනියගේ ආරක්ෂක අංශයේ නිලධාරීන් එක් විනාඩියකට හෝ ඇය මුණ ගැසීමේ අවස්ථාව අහිමි කළ බවටයි.

“ධීවර ඇමැතිවරයා කිව්වා ඒකට එන්න හමුවෙන්න පුළුවන් කියලා. අවසර අරන් තමයි අපි ආවේ. මෙතනට ආවත් විනාඩියක්වත් කතා කරන්න බැරි උනා. අපි ලියුමක්වත් ගෙනාවේ නැහැ, මොකද එයා 2024 මැතිවරණ ප්‍රචාරක කටයුතු සඳහා පුදුකුඩිඉරිප්පු ප්‍රදේශයට ආපු වෙලාවේ පුදුකුඩිඉරිප්පු ප්‍රදේශයේ ජනතාව වන අපි එයාට ලියුමක් බාර දීලා තිබුනා. ඉතින් දිගින් දිගටම ලියුම් දීලා කිසිම ප්‍රයෝජනයක් නැති නිසා අපි කතා කරන්න ඕන කියන අදහසින් ආවේ. ඒත් විනාඩියක්වත් මුණ ගැහෙන්න දුන්නේ නෑ.”

සිය පාරම්පරික භුමිය යුද හමුදාව විසින් බලහත්කාරයෙන් අත්පත්කරගැනීම නිසා දශක එක හමාරකට ආසන්න කාලයක් රජය විසින් කැලයක් මැද පිහිටවු ගම්මානයක කොටුකොට සිටි මුලතිව් දිස්ත්‍රික්කයේ දෙමළ යුද පීඩිතයන් පිරිසක් සිය ඉඩම් වහා නිදහස් කරන්නැයි නව අගමැතිවරියගෙන් 2024 වසරේ නොවැම්බර් මාසයේදී ඉල්ලා තිබුනි.

ජීවත්වීමට සහ ජීවිකාව පවත්වාගෙන යාමට තමන්ගේම ඉඩම් අක්කර සිය ගණනක් නැවත ලබාගැනීම සඳහා වසර 15 කට අධික කාලයක් පුරාවට අරගලයේ යෙදී සිටින මුලතිව්, කේපාපුලව් වැසියන් අගමැතිනි ආචාර්ය හරිනි අමරසූරියගෙන් ලිඛිතවම එම ඉල්ලිම සිදු කර තිබුනේ මහ මැතිවරණ ප්‍රචාරක කටයුතු වෙනුවෙන් ඇය මුලතිව් වෙත පැමිණි අවස්ථාවේදීය.

දශක තුනක් පුරා උතුරේ දියත් වු කෘර සිවිල් යුද්ධය ලේ වැගිරීමකින් අවසන් වූ පසුවත්, ශ්‍රී ලංකා රජයේ ආරක්ෂක අංශ විසින් දෙමළ ජනයාගේ ඉඩම් බලහත්කාරයෙන් අත්පත්කරගැනීම නිසා සිය මුල් භුමිය අහිමි වී දරිද්‍රතාවයට පත්ව ඇති දෙමළ ජනතාව තවමත් සිය ඉඩම් ලබාගැනීමේ අරගලයේ නිරත වී සිටී.

මැතිවරණ ජය සමරන ජන හමුවකට 2025 පෙබරවාරි 16 වැනිදා අගමැතිනි හරිනි අමරසුරිය එක්වු අවස්ථාවේ ඇය හමුවීමට අවස්ථාව අහිමි කිරීම සම්බන්ධයෙන් අගමැතිනියගේ ආරක්ෂක අංශ නිලධාරීන්ට චෝදනා කළ විවේකානන්දන් ඉන්ද්‍රානි මාතාව තව දුරටත් සඳහන් කළේ අගමැතිනියගේ සම්බන්ධිකාරක ලෙස පත් කර ඇත්තේ ප්‍රදේශයේ ජනතාවගේ ඉඩම් ගැටළුව සම්බන්ධයෙන් කිසිත් නොදන්නා අයකු බවයි.

“සිවරූබන් කියලා කෙනෙක් අගමැතිනියගේ සම්බන්ධීකාරකවරයා ලෙස පත්කර තිබෙනවා. ඔහු සංවර්ධනය ගැන තමයි දිගටම කතා කරන්නේ. කේපාපුලවු ප්‍රශ්නයේ ඉතිහාසය ජාත්‍යන්තරය දක්වාම ගිහින් තියනවා. නමුත් දිස්ත්‍රික් සම්බන්ධිකාරක කේපාපුලවු ඉඩම් ප්‍රශ්නය ගැන හෝ ඉඩම් නිදහස් කර ගැනීම ගැනත් කිසි දෙයක් දන්නේ නැ. එයාව තමයි දිස්ත්‍රික් සම්බන්ධිකාරක විදිහට දාලා තියෙන්නේ. අපි එයාව හමුවෙන්න විනාඩියක් ඉල්ලුවා. ඒකත් හම්බඋනේ නැ. ඔයාලට යන්න බෑ කියලා අගමැතිනියගේ ආරක්ෂක අංශය අපිව තල්ලු කරා. ඒ නිසා අපිට තවත් රැවටෙන්න බෑ. ඉතින් මේ ඉතුරු අක්කර 59 ඉඩම් ටික ලබාගන්න ජනතාව වන අපිට ඉස්සර වගේ සටන් කරන්න වෙනවා.”

2009 වසරේ යුද්ධයේ අවසන් සමයේදී රජයේ යුද හමුදාව විසින් දෙමළ ජනයාගේ පාරම්පරික ඉඩම් විශාල වශයෙන් බලහත්කාරයෙන් අත්පත්කරගත් අතර දහස් සංඛ්‍යාත ජීවිත හා දේපල විනාශ කරමින් දියත් කළ යුද්ධය සදහා වත්මන් ජනපති නායකත්වය දරන ජනතා විමුක්ති පෙරමුණේ ද විශාල සහායක් හිමිවිය.

කේපාපුලව් ආදර්ශ ගම්මානයේ දෙමළ ජනතාව විසින් 2024 නොවැම්බර් 4 වැනිදා අගමැතිනියට ලියුමක් බාරදීමට කටයුතු කර තිබුනේ සිය ඉඩම් නීත්‍යානුකූලවම හැකි ඉක්මනින් ඔවුන්ට ආපසු ලබා ගැනීමේ අරමුණ ඇතිවයි.

රජයේ නිල අදහස පරිදි මෙම කේපාපුලවූ පවුල් ‘නැවත පදිංචි කර’ ඇත. කෙසේ නමුත්, යථාර්ථය වන්නේ ඔවුන් සිය ඉඩම්වලින් ඉවත් කර ඇති බවයි.

යුද අනාථයන් රඳවාගෙන සිටි මැණික් ෆාම් කඳවුරේ අවසානයට ඉතුරුවූ පවුල් සිය ගණනක ජනතාව 2012 ඔක්තෝබරයේ පදිංචි කරවන ලද්දේ මුලතිව් කැලය එලිකර පිහිටවූ ‘ආදර්ශ ගම්මානයක’ ය.

අනාථ වීමට පෙර ඔවුන් පාරම්පරිකව පදිංචි වී සිටියේ යුද්ධයේ වඩාත් බිහිසුණු ප්‍රහාර වලට ගොදුරු වී දස දහස් ගණනක් මරු දුටු මුල්ලිවයික්කාල් සහ ඊට යාබද ගම්මාන වලය.

හුරුපුරුදු ලෙස ‘ජාතික ආරක්ෂාව’ පිලිබඳ කරුණු දක්වමින්, හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ රජය විසින් 2012 වසරේදී සීනියාමෝට්ටෙයි හි පිහිටි කැලෑබද ඉඩමක් හෙළිපෙහෙළි කළේ බරපතල පරිසර ගැටළු ද ඇති කරමිනි. ප්‍රදේශයේ වැසියන්ට ජීවත් වීමට සහ ජීවිකාව කරගැනීමට ඔවුන්ගේ පාරම්පරික ඉඩම් නැවත ලබාදීම වෙනුවට එවකට රජය සිදු කළේ ඔවුන්ව බලෙන්ම නැවත පදිංචි කරවීමයි.

සැබෑම ඉඩම් හිමිකරුවන්ට යහපත් ජීවන තත්වයකට ඇති ඉඩ ප්‍රස්ථාව අහිමි කරමින් වනසතුන්ගේ සහ හමුදාවෙන් නිරන්තරයෙන් එල්ලවන තර්ජන මධ්‍යයේ ජීවත්වීමට සිදුවන එළිපෙහෙළි කළ කැලෑබද ප්‍රදේශයකට ඔවුන්ව පිටුවහල් කරමින්, හමුදාව විසින් මුලතිවු දිස්ත්‍රික්කයේ විශාල ප්‍රදේශයක් අත්පත්කරගෙන එහි කඳවුරු බැඳ ගොඩනැගිලි ඉදිකර තිබේ.

කේපාපුලව් හි මුල් වැසියන් මෙවැනි දුක්ඛිත තත්වයකට ඇදදැමීම සම්බන්ධයෙන් එක්සත් ජාතීන්ගේ සංවිධානයටද චෝදනා එල්ල වේ.

එකල එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ශ්‍රී ලංකා නේවාසික සම්බන්ධීකාරක වූයේ නැසීගිය ආචාර්ය සුබිනේයි නන්දි යි.

කේපාපුලව් යුද අනාථයන් අගමැතිනි ආචාර්ය හරිනි අමරසූරියගෙන් සවිස්තර ලිපියකින් දැනුම් දී තිබුනේ තමන්ගේ ඡන්ද අවශ්‍යනම් තමන්ගේ ඉඩම් නිදහස් කළ කරන ලෙසයි.

“පවුල් 55 කට අයත් ඉඩම් අක්කර 59.5 ක්, පුද්ගලයන් 3 දෙනෙකුට අයත් ඉඩම් අක්කර 11.5 ක්, පුද්ගලයන් 3 දෙනෙකුට අයත් ඉඩම් අක්කර 75 ක් (නිවාස 25 ක ව්‍යාපෘතියක්), පවුල් 104 කට අයත් ඉඩම් අක්කර 84.5 ක්, පුද්ගලයන් 6 දෙනකුට අයත් ඉඩම් අක්කර 86ක්, පවුල් 9 කට අයත් ඉඩම් අක්කර 25 ක්, සහ වසර 50 කට අධික කාලයක් පුරා ධීවර ප්‍රජාව ධීවර කටයුතුවල යෙදුනු වෙරළබඩ ඉඩම් හමුදාව විසින් අත්පත්කරගෙන ඇත,” යි එහි දැක්වේ.

පසුගිය වසරේ අගමැතිනියට යොමු කළ ලිපිය මගින් කේපාපුලවූ දෙමළ වැසියන් වැඩි දුරටත් අවධාරණය කර තිබුනේ තමන් දිගින් දිගටම දැඩි දරිද්‍රතාවයෙන් පෙලෙන අතර, නිසි වාසස්ථාන නොමැති තත්වයක් තුළ, ඔවුන්ට සෞඛ්‍ය සම්පන්න ආහාර හෝ පිරිසිදු ජලය ලබාගැනීමට ද නොහැකි බවයි.
කේපාපුලව් ප්‍රදේශයේ දෙමළ ජනතාව අත්විඳින දුෂ්කරතා එක්සත් ජාතීන්ගේ සංවිධානය ඇතුළු ජාත්‍යන්තර සංවිධාන විසින් මනා ලෙස ලේඛනගත කර ඇත.

සරණාගතයන් පිලිබඳ එක්සත් ජාතීන්ගේ සංවිධානය (UNHRC) විසින් 2012 වසරේ සැප්තැම්බර් 28 වැනිදා නිකුත් කළ වාර්තාවක් තුළ මෙම ජනතාව මුහුණපාන දුෂ්කරතා පිලිබඳව සාකච්ඡා කර තිබුනි.

“අප නැවත පදිංචි කිරීම පිළිබඳව ලෝකයට බොරුවක් කියමින් පවතී,” යි මැණික් ෆාම් කඳවුරෙන් පිටව යන යුද අනාථ දෙමළ කාන්තාවක වන අවුරුදු 43 ක් වයසැති සිවගුරු අන්ගරමුත්තු උඩලයකුමාරි IRIN මාධ්‍ය ආයතනයට පැවසුවේ බසයකට නගිමිනි. ඇය වැඩිදුරටත් පැවසූවේ ඇය ගමන් කරන්නේ කොහාටදැයි නිසි අවබෝධයක් නොතිබූ බවයි.

මෙම කණ්ඩායමට නැවතත් කේපාපුලවු ප්‍රදේශයේ පිහිටි සිය නිවෙස්වලට පැමිණීමට ඉඩ ලබා නොදුන්නේ ඔවුන්ගේ ඉඩම් හමුදාව අත්පත්කරගෙන සිටි බැවිනි. ඒ වෙනුවට ඔවුන් රජයට අයත් ඉඩම්වලට නැවත ස්ථානගත කරන ලදුව අදත් ගෙදර යාමට නොහැකිව සිටිති.

වසර 15 කට පසුවත්, කැලෑ මන්ඩියක ‘නැවත පදිංචි කර’ ඉන්නා ඔවුන්ගේ ජීවිතය ගෙවෙන්නේ දරිද්‍රතාවය සහ අනාරක්ෂිත බව මධ්‍යයේ යි.
“අප ජීවත් වන්නේ කියාගන්න බැරි තරමේ දුෂ්කරතා, කරදර, අපහසුතා, සහ ජීවිතයේ ගැටළු මධ්‍යයේ යි. අපට අපගේ ඉඩම් නැවත අවශ්‍ය යි. සුබසාධන කඳවුරු තුළ අප විදින්නේ දුක්ඛිත තත්වයක්. විකල්ප ඉඩම්, විකල්ප වාසස්ථාන, හෝ විකල්ප පැහැදිලිකිරීම් වලට ඉඩක් නැහැ යන අපගේ මතයේ අප දැඩි ලෙස සිටිනවා,” යැයි ඔවුන් සිය ලිපිය හරහා අගමැතිනියට දන්වා තිබුනි.

2012 වසරේ සැප්තැම්බර් මස 24 වැනිදා ඔවුන් සිය ඉඩම්වල පදිංචි කිරීම වෙනුවට බලෙන් ‘ආදර්ශ ගම්මානයේ’ නැවත පදිංචි කිරීම පිළිබඳව ද එවකට මුලතිවු හි දිසාපති ලෙස කටයුතු කළ වර්තමාන උතුරු පළාත් ආණ්ඩුකාර නාගලිංගම් වේදනායගම් චෝදනාවට ලක්ව සිටී.

“අපේම ඉඩම්වල අප ජීවත්වන්නේ සරණාගතයන් ලෙසයි. කෙසේ නමුත්, හමුදා මූලස්ථානය යැයි නම් කර ඇති අපගේ ඉඩම්වල හමුදාව බොහෝ සතුටින් ජීවත් වේ. මෙය දුෂිත ක්‍රියාවක්ද, නැත්ද? කෙසේ නමුත්, පරණ හමුදා මූලස්ථානය තවමත් හමුදා පාලනය යටතේ මුලතිවු හි ඇත. අපගේ උපන් බිම හමුදා මූලස්ථානයක් බවට පත්වූයේ කවදාද? මිනිසුන්ගේ වාසස්ථාන මධ්‍යයේ හමුදා ආරක්ෂක මූලස්ථානයක් පිහිටුවන්නේ කෙසේද,” යි අගමැතිනියට යොමු කළ ලිපිය හරහා ඔවුන් ප්‍රශ්න කර ඇත.

දෙමළ ජනතාවට අයත්, ‘නීතිවිරෝධී ලෙස අත්පත්කරගත්’ ඉඩම්වල හමුදාව දැවැන්ත ගොඩනැගිලි ඉදි කර ඇති අතර, එම ඉඩම් නියම අයිතිකරුවන්ට ලබානොදීමට හේතුවක් ලෙස එය දක්වයි.

දෙමළ ජනතාව නැවත පදිංචි කළ බව පවසමින් පසුගිය කාලයේදී පත් වූ ආණ්ඩු ජාත්‍යන්තර ප්‍රජාව රැවටීමට ලක්කළ බව දෙමළ ජනතාව චෝදනා කරන අතර, නිසි වැසිකිලි පහසුකම් වැනි මූලික යටිතල පහසුකම් මෙන්ම ජාත්‍යන්තර සංවිධාන විසින් මූලික අයිතියක් ලෙස වර්ගීකරණය කර ඇති පානීය ජලයද එම වාසස්ථානවල නොමැති බවට ඔවුන් චෝදනා කරයි.

දෙමළ ජනතා නියෝජිතයන්ට අනුව, උතුරු සහ නැගෙනහිර ප්‍රදේශවල සාම්ප්‍රදායික දෙමළ නිජභූමියේ අක්කර දහස් ගණනක් ආරක්ෂක අංශ යටතේ පවතී.

යාපනය දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ 2025 ජනවාරි 31 පැවැති දිස්ත්‍රික් සම්බන්ධිකරණ කමිටු රැස්වීමට සහභාගී වු ජනාධිපති අනුර කුමාර දිසානායකට යාපනය දිස්ත්‍රික් ලේකම් මර්දලිංගම් ප්‍රදීපන් දැනුම් දී තිබුනේ යාපනය දිස්ත්‍රික්කයේ පමණක් පෞද්ගලික ඉඩම් අක්කර 1673 ක ත්‍රිවිධ හමුදාව තවමත් වාඩි ලා සිටින බවයි.

“මේ ප්‍රජාතන්ත්‍රවාදී රාජ්‍යයක යුක්තියද?” යනුවෙන් 2024 නොවැම්බර් 4 වැනිදා ඡන්ද ප්‍රචාරයේ පැමිණි ආචාර්ය හරිනි අමරසුරියට බාර දුන් ලිපියෙන් කේපාපුලවු දෙමළ ජනතාව තව දුරටත් ප්‍රශ්න කර තිබුනි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here