ඩිජිටල් බර අධික වීම නිසා කාන්තාවන්ට තම කුටුම්බය තුළ සැඟවුණු වැඩ කොටසක් කිරීමට සිදුව ඇත්තේ ඇයි?

Author

Categories

Share

නිවසේ කටයුතු වෙනුවෙන් තාක්ෂණය භාවිතා කිරීමේදී, කාන්තාවන් පවුල සඳහා වන එදිනෙදා කටයුතු සඳහා මාර්ගගත ක්‍රම වැඩි වශයෙන් යොදා ගනිති. ඒ ඔස්සේ වැඩි ප්‍රමාණයක වැඩ කොටසක් ඔවුන් විසින් ඉටු කරනු ලබති.

“මගේ ජංගම දුරකතනයට එන පාසල් චැට් ගෲප් පණිවිඩයකින්, අද පාසලේ විශේෂ ඇඳුම් අඳින දවසක් බව මතක් කර දෙනවා. මම වහාම ක්‍රියාත්මක වී අපේ දරුවන්ට අඳින්න ඇඳුමක් විලාසිතාවක් තෝරන්න වෙහෙසෙනවා. මගේ සැමියාගෙන් ඒ වෙනුවෙන් උදව් ඉල්ලන්නවත් මට මතක් වෙන්නේ නැහැ”

මෙය බොහෝ පවුල්වලට සුලභ සිදුවීමකි. මෑත ඉතිහාසයේ මව්පිය භූමිකාවේදී පිරිමින් වඩාත් ක්‍රියාකාරී කාර්යභාරයක් ඉටු කළත්, නිවසේ කටයුතු සංවිධානය කිරීමේදී කාන්තාවෝ තවමත් වඩා වැඩි වැඩ කොටසක් ඉටු කරති.

විෂමලිංගික සබඳතාවලදී, පවුල් ජීවිතයේ එදිනෙදා කටයුතුවලට අවශ්‍ය සැලසුම් සහ සංවිධාන කටයුතු වැඩි ප්‍රමාණයක ‘සැඟවුණු ශ්‍රමයක්’ කාන්තාවන් විසින් ලබා දෙන බව දැන් තහවුරු වී තිබේ. එය සංජානන හා චිත්තවේගීය ශ්‍රමය අතින් ගත් කල සැළකිය යුතු මානසික බරක් ඇති කරයි. තාක්ෂණය විසින් මෙය උග්‍ර කිරීම නිසා කාන්තාවන් අධික ලෙස ඩිජිටල් වැඩ නිසා හෙම්බත් වන බව එතරම් කතාබහට ලක් නොවන කාරණකි.

“රැකියාව සහ පවුල් ජීවිතය යන දෙඅංශයෙන්ම ඩිජිටල් සන්නිවේදනයේ ද්විත්ව බරට කාන්තාවන් නිරාවරණය වීමේ වැඩි ඉඩක් තිබේ” – යැං හූ

තාක්ෂණය අපගේ ජීවිතයේ බොහෝ අංශ වඩාත් ඵලදායී කිරීමට පැහැදිලිවම අපට උපකාරී වේ. නමුත් ගෘහ කටයුතුවලදී, තාක්ෂණය කාන්තාවන්ගේ දැනටමත් කාර්යබහුල මානසික වැඩ බරට තවත් බරක් එකතු කරන බව පැහැදිලිය. යුරෝපීය සමාජ සමීක්ෂකයන් විසින්, රටවල් 29 ක, අවම වශයෙන් එක් දරුවෙකු සහ එක් ජීවත්ව සිටින මවක හෝ පියෙකු සිටින දෙමව්පියන් 6,600 ක් යොදාගෙන කළ සමීක්ෂණයක දත්ත, තාක්ෂණය විසින් කාන්තාවන්, විශේෂයෙන් මවුවරුන් මත ඇති මානසික බර උග්‍ර කරන බව පෙන්වා දී ඇත. රැකියාව සහ පවුල් ජීවිතය සම්බන්ධයෙන් ඩිජිටල් සන්නිවේදනය සම්බන්ධ ශ්‍රමයේ ස්ත්‍රී පුරුෂ භේදයක් ඇති බව පෙනී ගොස් තිබේ.

පර්යේෂණ කණ්ඩායම විසින්, සමීක්ෂණයට ප්‍රතිචාර දැක්වූවන් අතර තාක්ෂණික භාවිතය පිළිබඳව සොයා බැලූ හ. පිරිමින් රැකියාවේදී තාක්ෂණය වැඩිපුර භාවිතා කළ නමුත්, කාන්තාවන් රැකියාවේදී සහ නිවසේදී යන අංශ දෙකෙහිදීම තාක්ෂණය භාවිතා කළහ. “රැකියාව සහ පවුල් ජීවිතය යන දෙඅංශයෙන්ම ඩිජිටල් සන්නිවේදනයේ ද්විත්ව බරට කාන්තාවන් නිරාවරණය වීමේ වැඩි ඉඩක් තිබෙන බව අපි සොයා ගත්තා” යි, කැනඩාවේ බ්‍රිටිෂ් කොලොම්බියා විශ්ව විද්‍යාලයේ යූ කියැන් සමඟ මෙම අධ්‍යනය සිදු කළ, සමීක්ෂණයේ ප්‍රධාන කතෘ, එක්සත් රාජධානියේ ලැන්කැස්ටර් විශ්ව විද්‍යාලයේ යැං හූ පවසයි. නිවසේ සිට වැඩ කළ කාන්තාවන් ද මෙම ද්විත්ව බර වැඩි වශයෙන් අත්විඳ තිබේ.

COVID-19 වසංගතයෙන් පසු නිවසේ සිට වැඩ කිරීම වඩාත් සුලභ වීමත්, ඒ සමඟ අපේ දෛනික කටයුතු බොහොයක් අන්තර්ජාලය හරහා සිදු කිරීමත් සමඟ එය වඩාත් නරක අතට හැරී තිබේ. රැකියාවේදී සහ නිවසේදී යන දෙ අංශයෙන්ම ඉහළ ඩිජිටල් සන්නිවේදනයේ යෙදීමට ඇති ඉඩකඩ, පිරිමින්ට වඩා කාන්තාවන්ට 1.6 ගුණයකින් වැඩි බව පර්යේෂකයෝ සොයාගෙන ඇත.

මෙයින් අදහස් කරන්නේ කුමක්ද යන්න පිළිබඳ ප්‍රායෝගික උදාහරණ සොයා ගැනීම අපහසු නැත. මම සිටින මව්වරුන්ගේ අන්තර්ජාල කණ්ඩායම, පියවරුන්ගේ කණ්ඩායමට වඩා ක්‍රියාකාරී වන අතර සිය ගණනක් දෙනා එයට සහභාගී වී සිටිති. මවුවරුන් විසින් නොයෙක් සිදුවීම්, දරුවන්ගේ අසනීප සහ දෙමාපිය ගැටළු ගැන කතා බස් කරන්නේ මෙහිදීය. මෙම කණ්ඩායම ‘දෙමව්පියන්ගේ කණ්ඩායමක්’ ලෙස නම්කර තිබුණ ද, මට පෙනී යන අයුරින් එහි වඩාත්ම ක්‍රියාකාරිව සිටින්නේ කාන්තාවන් ය.

මා දන්නා එක් මවක් මට පැවසුවේ ඇය ඇගේ සහකරු සමඟ, පාසැල් චැට් කණ්ඩායම් ඇය සහ විද්‍යුත් තැපැල් ගනුදෙනු ඔහු ලෙස – මෙම ඩිජිටල් සන්නිවේදන වැඩ කොටස බෙදාගත් බවයි. නමුත් අවාසනාවකට මෙන් විද්‍යුත් තැපැල් ගනුදෙනු, ක්ෂණික චැට් කණ්ඩායම්වලට වඩා බොහෝ සෙයින් නිහඬය. නිවසට අවශ්‍ය සිල්ලර බඩු, ඇඳුම් පැළඳුම් සහ පාසල් උපකරණ ආදී සියල්ලම අන්තර්ජාලය ඔස්සේ මිලදී ගත හැකිවීම ද කාන්තාවන් වැඩි වැඩියෙන් වැඩ කිරීමට නැඹුරු කරවන ඩිජිටල් දිගුවකි.

බොහෝ යුවලවල් සමානාත්මතාවයට ඉඩ දීමට සූදානම් වූවත් ස්ත්‍රී – පුරුෂ ලක්ෂණ බොහෝ විට එයට බාධා පමුණුවයි. නිවසේ වැඩකටයුතුවල බර වඩා හොඳින් බෙදා ගැනීමට උත්සාහ කිරීමේදී, තාක්ෂණය ඉටු කරන කාර්යභාරය හඳුනා ගැනීම වැදගත් වන්නේ එබැවිනි. අපි විවේකය සඳහා මෙන්ම රැකියාව සඳහා අපගේ ඩිජිටල් උපාංග භාවිතා කිරීමට නැඹුරු වී සිටිමු. ඒ නිසාම පුද්ගලික භාවිතය සහ පවුලේ වැඩකටයුතු සඳහා වන භාවිතය ලෙස වෙන් වශයෙන් පෙන්වා දීම දුෂ්කර වී තිබේ. එනිසාම එයින් ශ්‍රමයට ලැබී ඇත්තේ අඩු පිළිගැනීමකි. මියගිය ස්ත්‍රීවාදී විද්වතෙකු වන ජොආන් ඇකර් ඉස්මතු කළ පරිදි, අසමානතාවයට අභියෝග කිරීමට නම් අප අදෘශ්‍යමාන දේ දෘශ්‍යමාන කළ යුතුය. ඔබට එය නොපෙනේ නම්, අපි ඒ ගැන දැනුවත් නොවනු ඇත.

කාන්තාවන් වැඩි වශයෙන් ඩිජිටල් වැඩ කිරීමට නැඹුරු වීමට තවත් දායක සාධකයක් වන්නේ, දරුවන්ට රැකවරණය සැපයීම ආදී දේ වෙනුවෙන් ඔවුන්ට පිරිමින්ට වඩා නම්‍යශීලිව වැඩ කිරීමේ අවශ්‍යතා ඇති වීමයි. මෙය “නම්‍යශීලි වීමේ අවාසියක්” නිරාවරණය කරයි. නම්‍යශීලිව වැඩ කිරීමේ ක්‍රම මගින් පිරිමින්ට වඩා ස්වභාවයෙන්ම ‘රැකබලා ගන්නන්’ වූ කාන්තාවන්ව සූරාකෑමකට බඳුන් වේ. නිවසේ සිට වැඩ කිරීම බොහෝ විට ඉදිරිපත් කරනු ලබන්නේ, පුද්ගලයන්ට, විශේෂයෙන් කාන්තාවන්ට පවුලේ වගකීම් ඉටු කරන අතරේම රැකියාවක් කිරීමේ මාර්ගයක් ලෙසට ය බව හූ පවසයි. නමුත් එම නම්‍යශීලි බව, අද බොහෝ දුරට ඩිජිටල් තාක්ෂණය ඔස්සේ විශාල වැඩ කොටසක් කෙරෙන ළමා රැකවරණයේ වැඩි ප්‍රමාණයක බර දැරීමට කාන්තාවන්ට සිදු වීමට හේතු වී තිබේ.

මෙහි අවාසනාවන්ත ප්‍රතිවිපාක ලෙස, කාන්තාවන් නිවසේදී වැඩි වශයෙන් කටයුතු කරන තරමට, ඔවුන්ගේ වෘත්තීය ජීවිතය සඳහා ඔවුන්ට ඇති මානසික නිදහස අඩු වීම, ස්ත්‍රී පුරුෂ වැටුප් පරතරය වර්ධනය වීම, ආතතිය වැඩි වීම සහ සම්බන්ධතාවල අතෘප්තිය ආදිය හඳුන්වා දිය හැකි ය.

එක්සත් රාජධානියේ ලන්ඩන් කිංග්ස් කොලේජ් හි සමාජ විද්යාඥයෙකු වන හීජුන්ග් චන්ග්, රැකියා ස්ථානයේ නම්‍යශීලීභාවය පිළිබඳව අධ්‍යයනය කරන අතර, නම්‍යශීලී ලෙස වැඩ කිරීම, නිවසේ වැඩ සහ ළමුන් රැක බලාගැනීම ආදී සියලු අංශවලින් කාන්තාවන්ට දැනෙන බර ත්‍රීව්‍ර කරන බව පවසයි. “නම්‍යශීලී ක්‍රමයට වෘත්තියේ නියලෙන හෝ නිවසේ සිට වැඩ කරන කාන්තාවන්, එසේ නොකරන කාන්තාවන්ට සාපේක්ෂව නිවසේ වැඩ සහ ළමා රැකවරණයට සම්බන්ධ වැඩි වැඩ ප්‍රමාණයක් කිරීමට නැඹුරු වේ. මන්ද ඔවුන්ට හැකි තරම් වැටුප් ලබන සහ නො ලබන පැය ගණනක්, තම දිනයේ වැඩ අතරට රිංගවා ගත හැකි බැවිනි.”

නිවසේ සිට වැඩ කරන කාන්තාවන්ට, වෘත්තියේ වගකීම් හැරුණුකොට නිවසේ වැඩ කටයුතුවල සහ ළමුන්ගේ කටයුතුවල පීඩනය ද දැනෙන බව ඇය සොයා ගත්තා ය. එහෙත් පියා ද නිවසේ සිටියත් ඔහුගේ භූමිකාව තැබෙන්නේ ඊට වඩා ගෞරවනීය තැනක ය. මෙය විෂමලිංගික ජෝඩුවල, පිරිමින් උපයන්නන් යන සම්මතයේ දිගු ඉතිහාසයට සම්බන්ධ වන අතර එහිදී පිරිමියෙකුගේ වැඩ ක්ෂේත්‍රය ඓතිහාසිකවම වඩාත් ආරක්ෂා කර තිබේ. කාන්තාවන් ඉහළ ආදායම් ලබන කළමනාකරණ තනතුරුවල සිටියත්, තවමත් එය එසේම පවතින බව චන්ග් පවසයි. එය එසේ සිදු වන්නේ පවුල් ජීවිතය සංවිධානය කිරීම සඳහා කාන්තාවන් වැඩි වශයෙන් සම්බන්ධ විය යුතු ය යන සමාජ සම්මතය නිසා ය.

ආර්තවහරණය පිළිබඳ මිථ්‍යාවන් හතක් !

සෑම දෙයක් ගැනම සිතීම, මව්වරුන්ව පසුගාමී කරවන්නේ ඇයි?

නිවෙස්වල කාන්තාවන් විසින් සිදු කරනු ලබන සැඟවුණු වැඩ, ‘මානසික බර’ ලෙස හැඳින්වේ. එය සංජානන හා චිත්තවේගීය ශ්‍රමයේ අන්තර් කොටසකි. අවශ්‍යතා හඳුනා ගැනීම, විකල්ප හඳුනා ගැනීම, පසුව කළ යුතු දේ තීරණය කිරීම සහ පසුව එහි ප්‍රතිපල අධීක්ෂණය කිරීම එයට ඇතුළත් වේ. මෙම වෙහෙසකර කටයුතුවලින් බොහොමයක් කාන්තාවන් විසින් සිදු කරනු ලබන බව සොයාගෙන ඇත. තවද, මෙම ශ්‍රමයේ තීරණ ගැනීමේ කොටස සඳහා පිරිමින් උදව් කිරීමට නැඹුරු වුවද, කාර්යයන් ඉටු වීම සඳහා කළ යුතු කාර්යයන් අදෘශ්‍යමාන ය. උදාහරණයක් ලෙස දරුවෙකු සෙල්ලම් කිරීම සඳහා මිතුරන් හමුවට ගෙන යාම සිදු කිරීමට නම්, පළමුව වෙනත් දෙමව්පියන් ඊට සම්බන්ධ කර ගැනීම සහ එය සැලසුම් කිරීම අවශ්‍ය වේ.

මෙම තාක්ෂණික බර නොපෙනී තිබියදීත්, ළමා රැකවරණය බෙදීමේ යම් ප්‍රගතියක් දැන් ඇති වී තිබේ. තවමත් කාන්තාවන්ට වඩා අඩු වුවද, මෙයට වසර 50 කට පෙර තත්ත්වයට සාපේක්ෂව පිරිමින් දැන් දරුවන් බලා ගැනීම ආදී දෙයට වැඩි දායකත්වයක් දක්වයි.

යුවලවල් සඳහා මෙම බර වඩාත් නිවැරදිව බෙදා ගැනීමට ක්‍රම කිහිපයක් තිබේ. යුවළක්, නිවසේ වැඩ හෝ ළමා රැකවරණයට අදාළ කර්තව්‍යයක් එක් අයෙකු සංවිධානය කිරීම සහ අනෙකා අවසන් කිරීම වෙනුවට, එක් අයෙකු විසින් ආරම්භයේ සිට අවසානය දක්වා සම්පූර්ණ කරන්නේ නම්, මානසික බර වඩාත් ප්‍රශස්ත ලෙස බෙදා ගැනීම පමණක් නොව වඩාත් දෘශ්‍යමාන වන බව ද සහතික කරනු ඇත. බොහෝ ගෘහස්ථ කාර්යයන්ට ඩිජිටල් අංගයක් ද තිබේ. මෙමගින් එම අංගය ද බෙදා ගැනෙනු ඇති බව අදහස් කෙර්.

යුවළකගෙන් එක් අයෙකු අන්තර්ජාලය හරහා සිල්ලර බඩු මිලදී ගන්නා අතර අනෙකා ඉවුම් පිහුම් කරන අවස්ථාවක් ගැන සිතන්න.එයින් මෙම කාර්යය බෙදා හදා ගන්නා බවක් දැනේ. සිල්ලර බඩු සහ අවශ්‍ය දේ මිලදී ගන්නා පුද්ගලයා, අවශ්‍ය වන්නේ මොනවාද යන්න පිළිබඳව අඛණ්ඩව අවධානයෙන් සිටියි. ආහාර පිසීම යනු ඉවුම් පිහුම් ක්‍රියාවලියේ භාගයක් පමණි.

කාන්තාවන් මත ඇති මානසික බර අඩු කිරීම සඳහා, රැකවරණයේ දෘශ්‍යමාන අංශ බෙදා ගැනීම පමණක් ප්‍රමාණවත් වන්නේ නැත. පවුල් ජීවිතය සඳහා ඩිජිටල් සන්නිවේදනයේ සියලු අංශ එකිනකා අතර බෙදීම චන්ග් නිර්දේශ කරයි. එය අතිරේක ක්‍රියාකාරකම් සඳහා ස්ථානයක් වෙන් කර ගැනීම හෝ සමාජ කණ්ඩායම් සමඟ සංනිවේදනය පවත්වා ගැනීම විය හැක. ඇය යෝජනා කරන්නේ නිවසේ සියලු සැලසුම් සහ ළමා රැකවරණය පිළිබඳ ඇති ගැටළු පිළිබඳව එක් එක් පුද්ගලයා කරන දේ ගැන විවෘත සංවාදයක් ඇති කර ගැනීම වැදගත් බවයි.

දරුවන් නොලැබීමට තීරණයකර ඇති ශ්‍රී ලාංකික කාන්තාවෝ

මා දන්නා එක් මවක් පවසන්නේ තම දින සැලසුම ඇගේ සහකරු සමඟ බෙදා ගැනීම මගින් ඔවුන් එකිනෙකාගේ සතිපතා වැඩ සැලසුම් පිළිබඳව දැනුම්වත් ව සිටින බවයි. තවත් දරුවන් දෙදෙනෙකු සිටින යුවළක්, එක් දරුවෙකු බැගින් දරුවන් දෙදෙනාගේ විෂය බාහිර වැඩකටයුතු සංවිධානය කිරීමේ වගකීම බෙදාගෙන ඇති අතර, ඒවා පිළිබඳව සොයා බැලීම, වෙන් කරවා ගැනීම සහ දරුවාව එම ස්ථානවලට ගෙන යාම ආදිය මෙයට ඇතුළත් වේ. මෙහි සාර්ථකත්වයට දිනපතා සංනිවේදනය අත්‍යවශ්‍ය බව ඇය පවසයි.

චන්ග්ට මේ සඳහා දීමට ඇති හොඳම උපදේශය වන්නේ, ළමුන් රැක බලාගැනීමේදී පියවරුන් තනිවම වැඩි වගකීමක් ගැනීමයි. වැටුප් සහිත මව්පිය නිවාඩු වැනි ප්‍රතිපත්ති මේ වෙනුවෙන් උපකාරී වනු ඇත. මේ අනුව ළමා රැකවරණයට ඩිජිටල් ක්‍රියාකාරීත්වය ද වැඩි වශයෙන් උපකාරී වනු ඇත. “එවිට ඔබට සමානව කටයුතු කිරීමේ ඉඩ ලැබෙනවා. සමාජයේ දී දරුවාගේ සහ නිවසේ වගකීම් ගත යුත්තේ කවුද යන්න දැන ගැනීම වදගත් වනවා.”

මෙය නූතන සමාජයේ තවත් විශාල ගැටලුවක් කෙරෙහි අවධානය යොමු කරයි. කාන්තාවන් වැඩ කරනු ඇතැයි අපි අපේක්ෂා කරන අතර බොහෝ පවුල් රැඳී පවතින්නේ ද්විත්ව ආදායම් මතය. එසේ වුවත්, කුඩා දරුවන් රැකබලා ගැනීම වැඩි වශයෙන් කාන්තාවන්ගේ වගකීමක් බව අපි විශ්වාස කරන්නෙමු.

මම මගේ පොත, ‘The Motherhood Complex’ හි ලියා ඇති පරිදි, දරුවන් බලා ගන්නා ආකාරය පිළිබඳව පියවරුන්ට වඩා තමන්ව විනිශ්චය කෙරෙන බව කාන්තාවන්ට සිතේ. ඒ නිසාම පවුලේ කටයුතු සංවිධානය කිරීමේ වගකීමේ වැඩි ප්‍රමාණයක් භාර ගත යුතු යැයි ඔවුන්ට හැඟේ. “මෙම ගැටළු වටා ඕනෑම ආකාරයක අර්ථවත් සාකච්ඡාවක් හෝ සාධනීය වෙනසක් ඇති කර ගැනීම සඳහා මෙවැනි උපකල්පන බිඳ දැමිය යුතුයි” යි චන්ග් පවසයි.

මෙය කළ හැකි දෙයකි. උදාහරණයක් ලෙසට ස්වීඩනය ගත හැකි අතර එහිදී ගෙවීම් සහිත දෙමව්පියන්ගේ නිවාඩු, ළමා රැකවරණ වැඩ වඩාත් සාධාරණ ලෙස බෙදා ගැනීමට හැකි ලෙස ලබා දී තිබේ.

මෙම සැඟවුණු තාක්ෂණික බර පිළිබඳව දැනුම්වත් බව ඇති කිරීමට හැකි එක් ක්‍රමයක් වන්නේ මෙම අමතර කාර්යයන් පිළිගැනීම සහ ආරම්භයේ සිටම එම වැඩ පැහැදිලිව බෙදා ගැනීමයි. මේවාට සරල විසඳුම් ලෙස දරුවන්ගේ කටයුතු සාකච්ඡා කෙරෙන චැට් කණ්ඩායම්වලට පියවරු ඇතුළත් කිරීම, සියලු සන්නිවේදන කටයුතු ද ඇතුළුව, සෙල්ලම් කිරීමේ අවස්ථා සංවිධානය කිරීමට ඔවුන් දිරිමත් කිරීම, පාසල් විද්‍යුත් තැපැල් පණිවිඩ, පාසල් ගෙදර වැඩ සහ පාසල් කණ්ඩායම් ක්‍රියා ආදියේ තාක්ෂණික බර බෙදා හදා ගැනීම ආදිය සිදු කළ හැකියි. අපි දෛනික ජීවිතයේ සෑම අංශයක්ම බෙදා ගන්නා තරමට, තාක්ෂණික බරෙහි මෙම කොටස ද බෙදී යනු ඇත.

*මෙලිසා හොගන්බූම් බීබීසී මාධ්‍යවේදිනියක වන අතර ‘The Motherhood Complex’ හි කතුවරියයි. ඇගේ නවතම කෘතිය Breadwinners, 2025 දී එළිදැක්වෙනු ඇත.

උපුටා ගැනීම: BBC සිංහල පුවත් සේවය

Author

Share