ඔබත් ඇසිය යුතු ම හඬකි; ‘හරස් පාරෙන් ඇසුණ කටහඬක්’

    0
    22

    ”යුද්ධය යනු ලොව කොතැනක පැවතිය ද මිනිස් ජීවිත මතු නොව ඔවුන් දුක් මහන්සියෙන් සරි කරගත් දේපළ පවා විනාශයට පත් කරන ම්ලේච්ඡ ක්‍රියාදාමයකි.

    එපමණක් නොව, ඊට ගොදුරුවන මිනිස් ජීවිත: අතීත, වර්තමාන සහ අනාගත යන තුන්කල්හි ම දණ්ඩනයට බඳුන් වන ක්‍රියාදාමයකි. එබඳු තත්ත්වයක් යටතේ යුද්ධය පිළිකුල් කරන අය මෙන් ම යුද්ධය තම බැංකු ගිණුම් තර කරගන්නා පහසු මාර්ගයක් බවට පරිවර්තනය කරගන්නා පිරිසක් ද සිටිති.’’

    2025-04-13වන දින ලියුම්කරු මෙම හැඳින්වීම ලියුවේ වීරවිජය ගුණසේකර විසින් රචිත ”ත්‍රිකාල දණ්ඩන’’ ප්‍රබන්ධ කෘතිය පිළිබඳව The Leader TV ඉදිරිපත් කරන ”සරග’’ සාහිත්‍ය කලා වින්දනීය අඩහෝරාව වෙනුවෙන් කතුවරයා සමග කළ සම්මුඛ සාකච්ඡාවක් පිළිබඳ හැඳින්වීමේ දී ය. ඊට හේතුව වූයේ කතුවරයා අදාළ ප්‍රබන්ධයට පාදක කරගන්නේ තිස් වරක් පුරා ලංකාවේ පැවතුණ යුද්ධය යි.

    මේ ආකාරයට යුද්ධය පාදක කරගත් තවත් කෘති බොහොමයක් ලංකාවේ සිංහල සාහිත්‍යයේ මෙන් ම දෙමළ සහ ඉංග්‍රිසි සාහිත්‍යයේ ද ලියවුණි. ඒ ඇතැම් සාහිත්‍ය කෘති ලියූවේ කොළඹ සීතල කාමරවල සිට බව ද රහසක් නොවේ.

    එබඳු සාහිත්‍ය කෘති අතර යුද්ධයේ අත් දැකීම් පමණක් නොව යුද වින්දිතයින්ගේ ද අත්දැකීම් සියැසින් දුටු, දෙසවනින් ඇසූ, ශ්‍රී ලංකා ආරක්ෂක හමුදාවේ මෙන් ම L.T. T. E. සංවිධානයේ අත් දැකීම් ද මුද්‍රිත පාඨක ප්‍රජාව වෙත ඉදිරිපත් කළ මාධ්‍යවේදිනියක විසින් රචිත ප්‍රබන්ධ කෘතියක් ද කියවන්නට ලැබිණ.

    කෘතිය ”හරස් පාරෙන් ඇසුණ කටහඩක්’’ ය; කතුවරිය අනුරාධා නිල්මිණි ය.

    අනුරාධා නිල්මිණි

    කෘතියේ ප්‍රධාන කථකාව හෙවත් ආරාධනා රත්නායක එක් තැනෙක මෙලෙස සඳහන් කරන්නී ය.

    ”එක්වරම මගේ මනස තුළ සිතුවම් පටයක මෙන් චිත්‍රණය වන්නට වූයේ නිදහස ලැබීමෙන් පසු හා ඊට පෙර සිටත් මෙරට ආණ්ඩු කළ සහ ආණ්ඩු කඩමින් සෑදූ සිංහල – දම්ළ දේශපාලඥයන්ගේ මුහුණු පෙළකි. යාපනයේ ද්‍රවිඩ සංගමය වැනි දෙමළ ජනයා වෙනුවෙන් ම යැයි කියු දේශපාලන පක්ෂ නායකයන් මෙන් ම, වාසිය බලමින් උතුරේ ඡන්ද ඇපයට ගත් සිංහල දේශපාලන නායකයන් ද, සිංහල පමණක් රාජ්‍ය භාෂාව කරන බවට සපථ වෙමින් සිය ඡන්ද පදනම තර කරගත් එස්.ඩබ්ලිව්.ආර්.ඩී. බණ්ඩාරනායක ද ඒ මුහුණු අතර ප්‍රධාන විය. පසුව වාසිය ගැන සිතූ ඩී.එස්. සහ ඩඩ්ලි ද ඒ කතාවම පට්ට ගැසූයේ හිරිකිතයකින් තොරව නොවේ ද?’’

    පිටුව 80

    ප්‍රබන්ධ රචනාවක වුව ද මේ ප්‍රකාශය යථාර්ථය ම නොවන්නේ ද…? වෙනසකට පවතින්නේ අදාළ යථාර්ථය හුදු වාර්ථාවක් ලෙස ඉදිරිපත් නොකරමින් එය සාහිත්‍යමය ස්වරූපයකින් ඉදිරිපත් කිරීම ය.

    ලාංකීය යුද සාහිත්‍ය ප්‍රබන්ධ කළ බොහෝ ලේඛක ලේඛිකාවෝ සිය අනුභූති ලෙස භාවිත කළේ ඍජුව ම යුද්ධයට මුහුණ පෑ පාර්ශ්වවල අත්දැකීම් ය. නමුදු අනුරාධා සිය කෘතිය සඳහා පාදක කරගන්නී වෙනස් ම අනුභූතියකි; එහෙත් එය යුද සමය තුළ යුද්ධයට කිසිදු සම්බන්ධයක් නොමැති බොහෝ පිරිසක් අත් විඳි ඛේද ජනක සිදුවීමකි.

    කතුවරිය අදාළ අනුභූතිය සිය පරිකල්පනීය දක්ෂතාව සමග මුසු කර. යුද පසුබිමෙහි මෙතෙක් කිසිවකු ස්පර්ශ නොකළ (පුර්ණ වශයෙන්) මානයකට සිය දෘෂ්ටිය යොමු කරන්නී ය. ඒ සඳහා ඇතැම් තන්හි ඇගේ මාධ්‍ය ජීවිතයේ ලද අත්දැකිම් ද උපස්තම්භක කරගන්නී ය. එසේ වුව ද කතුවරිය කෘතියට එසේත් නොමැති නම් ප්‍රබන්ධයට මැදිහත් නොවීම විශේෂිත ය. මන්ද බොහෝ ලේඛක ලේඛිකාවන් තම අනුභූති ප්‍රබන්ධකරණයට නැගීමේ දී ඔහුගේ හෝ ඇයගේ මැදිහත්වීම ඍජුවම සිදු කරයි. එය පුහුණු පාඨක ප්‍රජාවට හොඳින් ම අවබෝධ කරගත හැකි ය. නමුදු අනුරාධා ඒ සියල්ල ඉතා සුක්ෂමව කළමනාකරණය කරගන්නට සමත් වන්නී ය. එය ලේඛකයකු හෝ ලේඛිකාවක ඉතා සැලකිලිමත් විය යුතු පාර්ශ්වයකි.

    ප්‍රබන්ධ රචනයක දී භාවිත කළ යුතු සාහිත තාක්ෂණික උපක්‍රම බොහෝ ය; එමගින් පාඨක ප්‍රජාව කෘතිය තුළ රඳවා තබාගැනිම ද පහසු නැත. එහෙත් අනුරාධා එම අභියෝගය ජයගෙන ඇති බව පැහැදිලි ය. ඒ, ඇය පාඨක ප්‍රජාව එක් වරෙක අතීතයේ ද තවත් වරෙක වර්තමායේ ද සැරිසරවමිනි. එමෙන් ම කෘතියේ ආඛ්‍යානය ද මාර්ග දෙකක ගමන් කරවමින් ඒ ඔස්සේ පාඨක ප්‍රජාව ද කැඳවාගෙන යන්නට ඇය සමත් වන්නී ය. ප්‍රබන්ධ රචනයක දී මේ දෙපාර්ශ්වය ම පාඨක ප්‍රජාව වෙහෙසට පත් නොකරමින් පවත්වාගෙන යෑම තරමක් අසිරු කාර්යයකි. නමුදු අනුරාධා, ඇගේ සාහිත භූමිකාවේ සංචාරය කර ලබාගත් පරිචය මෙම ප්‍රබන්ධය සඳහා මැනවින් උපස්තම්භක කරගෙන ඇත.

    කතුවරිය සංවේදි කතාන්දරයක් ද පවසන්නී ය; ඒ, මතුපිටිනි. යටි පෙළින් ඇය මතු කරන්නී යුද්ධයේ තවත් එක් ඛේදනිය පාර්ශ්වයකි. එහි දී කිසිදු ආකාරයකින් L. T. T. E. සංවිධානයට අබ මල් රේණුවකදු සහයෝගයක් නොදුන්, නමුදු මාධ්‍යවේදිනියක ලෙස ආරාධනා රත්නායක සහ ඇගේ සැමියා සිය යුතුකම් ඉටු කළ හේතුවෙන් ම සමාජ දෝෂ දර්ශනයට බඳුන් වන්නේ ය.

    කතුවරිය සංවේදි කතාන්දරයක් ද පවසන්නී ය; ඒ, මතුපිටිනි. යටි පෙළින් ඇය මතු කරන්නී යුද්ධයේ තවත් එක් ඛේදනිය පාර්ශ්වයකි. එහි දී කිසිදු ආකාරයකින් L. T. T. E. සංවිධානයට අබ මල් රේණුවකදු සහයෝගයක් නොදුන්, නමුදු මාධ්‍යවේදිනියක ලෙස ආරාධනා රත්නායක සහ ඇගේ සැමියා සිය යුතුකම් ඉටු කළ හේතුවෙන් ම සමාජ දෝෂ දර්ශනයට බඳුන් වන්නේ ය.

    එය කෙතරම් අවාසනාවන්ත ලෙස ඔවුන්ගේ ජීවිත කෙරෙහි බලපාන්නේ ද යන්න නිසියාකාරයෙන් අවබෝධ කර ගන්නට නම් ”හරස් පාරෙන් ඇසුණ කටහඬ”ට සවන් දිය යුතු ම ය; කියවිය යුතු ම ය. එය බාර වන්නේ ශ්‍රී ලාංකීය පාඨක ප්‍රජාව වෙත ය. එවිට මා ලිපිය ආරම්භයේ ම උපුටා දැක්වූ ”යුද්ධය යනු ලොව කොතැනක පැවතිය ද මිනිස් ජීවිත මතු නොව ඔවුන් දුක් මහන්සියෙන් සරි කරගත් දේපළ පවා විනාශයට පත් කරන ම්ලේච්ඡ ක්‍රියාදාමයකි. එපමණක් නොව, ඊට ගොදුරුවන මිනිස් ජීවිත: අතීත, වර්තමාන සහ අනාගත යන තුන්කල්හි ම දණ්ඩනයට බඳුන් වන ක්‍රියාදාමයකි. එබඳු තත්ත්වයක් යටතේ යුද්ධය පිළිකුල් කරන අය මෙන් ම යුද්ධය තම බැංකු ගිණුම් තර කරගන්නා පහසු මාර්ගයක් බවට පරිවර්තනය කරගන්නා පිරිසක් ද සිටිති.’’ යන ප්‍රකාශය මැනවින් සාක්ෂාත් කරගත හැකි ය.

    (සටහන | ජයසිරි අලවත්ත)

    LEAVE A REPLY

    Please enter your comment!
    Please enter your name here